මෙයට වසරකට  පෙර එක්තරා අසාමාන්‍ය වස්තුවක් විශ්වයෙහි ඈත තැනක සිට පාවී අවුත් අපගේ සූර්ය ග්‍රහ මණ්ඩලයට ඇතුල් විය. එය පෑන්-ස්ටාර්ස් (Pan- STARRS) නමැති දුරෙක්ෂය හරහා මුල්වරට දුටුවේ හවායි හිහලියාකලා අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ කටයුතු කළ රොබට්වෙරික් නමැති තාරකා විද්‍යාඥයා යි. මෙම වස්තුව එකවරම කාගේත් අවධානයක් දිනාගන්නා එකක් වූයේ එහි සුවිශේෂී හැඩය හේතුවෙනි. එයහරියට විද්‍යා ප්‍රබන්ධවල අප දැක පුරුදු පිටසක්වල යානයක පෙනුමට සමාන විය. ඒ නිසා මේ කුමක්ද යන්න සම්බන්ධයෙන් විශාල කුතුහලයක් ඇති විය.

‘ඔවුමුවාමුවා’ (Oumuamua) යන නමින් විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලැබූ මෙම අපූරු වස්තුව සම්බන්ධයෙන් ඔවුන් සොයාගත් තවත් විශේෂ කාරණයක් තිබිණි. එනම් මෙය අප ජීවත් වන සූර්ය ග්‍රහ මණ්ඩලයෙන් පිටත වෙනත් ග්‍රහ මණ්ඩලයක සිට මෙහි පැමිණි වස්තුවක් බවයි. මේ ආකාරයෙන් වෙනත් ග්‍රහ මණ්ඩලයක සිට පැමිණි වස්තුවක් අපගේ ග්‍රහ මණ්ඩලයට ඇතුල් වනු නිරීක්ෂණය කළ පළමු වතාව මෙය බව ද සඳහන් කෙරිණි. එම නිසා ‘ඔවුමුවාමුවා’ ආකාශ වස්තුව ඉතා විශේෂ වස්තුවක් ලෙස හඳුනාගනු ලැබිණි. මෙය මීටර 400 ක (අඩි 1,300 ක) පමණ දිගින් යුතු බවද නිරීක්ෂණය කරන ලද අතර එය දුඹුරු පැහැයටහුරු රතු පැහැයෙන් යුතු වස්තුවකි.

කෙසේ වෙතත්, මෙම අබිරහස් ආකාශ වස්තුව සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට විද්‍යාඥයින් හනි හනික සූදානම් වුව ද ඔවුන්ට ඒ සඳහා ලොකු අවස්ථාවක් ලැබුණේ නැත. මන්ද යත් එය අධික වේගයකින් සූර්ය ග්‍රහ මණ්ඩලය හරහා ඇදී යමින් එහි අනෙක් කෙලවරින් පිට වී යාම නිසාය. මෙහි අධික වේගය ද විද්‍යාඥයින් මවිතයට පත් කළ කාරණයකි. එය පැයට කි.මී. 112,000 ක (පැයට සැතපුම් 70,000 ක) පමණ වේගයකි. කෙසේ හෝ වේවා, මෙම වස්තුව කුමක් විය හැකිද යන්න සම්බන්ධයෙන් ඇති වූ කුතුහලය සහ වාද විවාද තවමත් අවසන්ව නැති බව පෙනේ.

මේ සම්බන්ධයෙන් විවිධමත සහ න්‍යායන් ඉදිරිපත් වෙමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. මුලින්ම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මතයක් වූයේ මෙය වල්ගා තරුවක් වියහැකි බවයි. නමුත් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේ දී විද්‍යාඥයින්ට දැක ගත හැකි වූයේ වල්ගා තරුවක තිබිය යුතු ඇතැම් ප්‍රධාන ලක්ෂණ මෙහි දකින්නට නොමැති බවය. වල්ගා තරුවක දක්නට ලැබෙන වල්ගයක් වැනි කොටසක් මෙහි දක්නට නැතිවීම එක් නිදසුනකි. එවර විද්‍යාඥයින් කල්පනා කළේ මෙයපිටසක්වලින් ආ ග්‍රහකයක් (චඵබඥපධඪඤ)වියහැකි බවයි. නමුත් මතෛක් අප දන්නා කිසිම ග්‍රහකයක් මේ තරම් වේගයෙන් ගමන් කරන්නේ නැත.

මෙවැනි කාරණා නිසා ‘ඔවුමුවාමුවා’  සත්‍ය වශයෙන්ම කවර වර්ගයකට අයත් ආකාශ වස්තුවක් ද යන්න ගැන තවමත් නිශ්චිත නිගමනයකට ඒමට විද්‍යාඥයින්ට නොහැකි වී ඇති බවක් පෙනේ. මේ වනවිට මෙම ආගන්තුක වස්තුව අප සූර්ය ග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ඇදී ගොස් ඇති අතර එය නැවත කිසි දිනෙක අපට දැක ගත නොහැකි වනු ඇති බව විශ්වාස කෙරේ. ඒ නිසා ඒ පිළිබඳ නැවත පර්යේෂණ කිරීමටද තාරකා විද්‍යාඥයින්ට අවස්ථාවක් නොලැබෙනු ඇත.
Untitled-9
මෙම වස්තුව කුමක් විය හැකි ද යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මත සහ න්‍යායන් අතර කාගේත් කුතුහලය ඇවිස්සූ මතයක් වූයේ මෙය වෙනත් ග්‍රහ මණ්ඩලයක ජීවත් වන දියුණු ජීවින් පිරිසක් විසින් එවන ලදයානයක් වීමට ද පිළිවන් ය යන්නයි. මෙම මතය නිසා ‘ඔවුමුවාමුවා’ ආකාශ වස්තුවෙන් යම් රේඩියෝ තරංග ආදිය නිකුත් වෙනවාද යන්න ගැන පවා විද්‍යාඥයෝ මුල් දිනවල සොයා බලන්නට පටන් ගත්හ. නමුත් එවැනි තරංග නිකුත් වන බවක් සොයා ගන්නට හැකි වූයේ නැත. කෙසේ නමුත් ‘තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවඩ් ස්මිත්සෝනියන් කේන්ද්‍රය’ නමින් හැඳින්වෙන ආයතනයට සම්බන්ධ තාරකා විද්‍යාඥයින් දෙපළක් දැන් නැවතත් මෙම’ පිටසක්වල යානා’ කතාව කරළියට ගෙන එන්නට කටයුතු කරඇත. මෙම ආයතනය සුප්‍රකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආයතනයකි. පිටසක්වල යානා කතාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මෙහි ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් දෙදෙනකු වන ෂ්මුවෙල් බියලි සහ ඒබ්‍රහම් ලොයබේ යන දෙදෙනා විසිනි. ඔවුන් පවසා ඇත්තේ ‘ඔවුමුවාමුවා’ වස්තුව ඇතැම් විට, පෘථිවිය ආසන්නයේ තොරතුරු සොයනු පිණිස පිටසක්වල දියුණු ජීවින් කොටසක් විසින් එවන ලද යානයක් ද විය හැකි බවයි. සමහර විට එය එවැනි යානයකින් කැඩී ආ කොටසක් වන්නට ද පිළිවන් බව ඔවුන්ගේ තවත් මතයකි. ඔවුමුවාමුවා වස්තුවෙහි දක්නට ලැබෙන ආසාමාන්‍ය ලක්ෂණ පැහැදිලි කළ හැක්කේ මෙවැනි න්‍යායක් තුළින් බව ද ඔවුහු පෙන්වා දෙති.

ඔවුන් ගේ මෙමඅදහස ප්‍රධාන වශයෙන්ම පදනම් ව ඇත්තේ මෙම වස්තුවෙහි ගමන් රටාව සම්බන්ධයෙන් ඇති අසාමාන්‍යතාවක් මත ය. සාමාන්‍යයෙන් සූර්ය ග්‍රහ මණ්ඩලයේ සැරිසරන වස්තූන් ගමන් කරන්නේ සූර්යයාගේ සහ වෙනත් ග්‍රහලෝක ආදියෙහි ගුරුත්වාකර්ෂණ බලයෙහි බලපෑම නිසාය. නමුත් ‘ඔවුමුවාමුවා’ වස්තුව වෙනත් කිසියම්අබිරහස් බලයකින් ශක්තිය ලබමින් ගමන් කරනආකාරයක් විද්‍යාඥයින්ට නිරීක්ෂණය කළ හැකිවිය. එවැනි සැකයක් ඇති වූයේ මෙම වස්තුවඑහි වේගය කමෛන් වැඩි කරගනිමින් සූර්ය ග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කරනආකාරයක් ද නිරීක්ෂණය කළ හෙයිනි. එය තරමක අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකේ. යම් වස්තුවක් සූර්යයාගේ සිට ඉවතට ගමන් කිරීමේ දී සිදුවන්නේ වේගය අඩු වීමයි.  මේ ආකාරයෙන් මෙහි වේගය වැඩිවන්නේ මන්ද යන්න බොහෝ විද්‍යාඥයින් තුළ ගැටලුවක් ඇති කළ කාරණයක් විය. ඉහත කී බියලි සහ ලොයබේ දෙදෙනා දැන් එයට පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේඑය සූර්යයාගෙන් නිකුත් වන විකිරණවලින් තල්ලුවක් ලබා ගනිමින් වේගය වැඩි කරගන්නවා විය හැකි බවයි. සමහර විට පිටසක්වල යානයක් නොව  ස්වාභාවික වස්තුවක් වුව ද ඒ ආකාරයෙන් හැසිරියහැකි බව මේ විද්‍යාඥයෝ බැහැර නොකරති. නමුත් එවැනි ආකාරයෙන් හැසිරෙන ස්වාභාවික වස්තුවක් මතෛක් කාලයකට අප සූර්ය ග්‍රහ මණ්ඩලයෙන් සොයාගෙන නැත. මේ නිසා, යම් හෙයකින් මෙය ස්වාභාවික වස්තුවක්ම වුව ද එවැන්නක් සොයා ගැනීමට හැකිවීම පවා විශේෂ කාරණයක් ලෙස මෙම විද්‍යාඥයෝ පෙන්වා දෙති. මන්ද යත් මේ ආකාරයෙන් සූර්යයාගේ විකිරණවලින් තල්ලුවක් ලබා ගෙන ගමන් කිරීමට එයට හැකියාව ලැබුණේ කෙසේද යන්න අප තවමත් නොදන්නා විශ්වයේ අලුත්ම රහසක් බැවිනි. එය ඈත අඳුරු විශ්වයේ සිදුවෙමින්  ඇති අප නොදන්නා  යම් ක්‍රියාවලියක් ගැන ඉඟියක් සපයන්නක් වියහැකි බව මෙම මතය ඉදිරිපත් කරන විද්‍යාඥයින් දෙදෙනාගේ අදහසයි.

මෙම අදහසට අමතරව ඔවුන් මතු කරන තවත් අදහසක් වන්නේ මෙය සූර්යයාගේ විකිරණවලින් තල්ලුවක් ලබා ගැනීමේ අලුත් තාක්ෂණයක් භාවිතා කරමින් ගමන් කරනයානයක් ද විය හැකිය යන්නයි. මේ ආකාරයෙන් සූර්ය විකිරණවලින් තල්ලුවක් ලබාගනිමින් ග්‍රහලෝක සහ තාරකා අතර යානා ගමන් කරවීම පෘථිවියේ විද්‍යාඥයින් ද සලකා බලමින් සිටින කාරණයකි. නමුත් බියලි සහ ලොයබේ පවසන්නේ යම් ජීවීන් කොට්ඨාසයක් අපට කලින් දැනටමත් එම තාක්ෂණය සොයාගෙන තිබෙන්නට ඉඩ ඇති බවයි. ඔවුමුවාමුවා යනු එම තාක්ෂණය භාවිත කරමින් සූර්ය ග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළ යානයක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකි බව මේ දෙදෙනාගේ අදහසයි. සමහර විට පෘථිවිය ඇතුළු අප සූර්ය ග්‍රහ මණ්ඩලය පිළිබඳ තොරතුරු සෙවීම මෙම යානයේ කාර්ය භාරය වන්නට ඇති බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති. (ඔවුමුවාමුවා යන හවායි වදනේ තේරුම ‘පණිවිඩකාරයා’ යන්නයි)

නිහාල් පීරිස්
Untitled-8