මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව පල්ලමේදී දර්ශනය වන බත‍ලේගල කන්ද අපූර්වතම සුන්දරත්වයක් මවන්නේය. එනමුත් බත‍ලේගල කන්ද ආසන්නව දිවි ගෙවන ගැමියන්ගේ ජීවිත නම් බත‍ලේගල කන්ද තරම් සුන්දර නොවන්නේ ඔවුන් දැඩි ආර්ථික ගැටලුවලින් මිරිකී සිටින නිසාවෙනි. කොපමණ දුක් කම්කටොළු මැද වූවද බත‍ලේගල කන්දේ වෙසෙන දස හැවිරිදි දරුවකු නව නිපැයුම් රැසක් සිදුකර ලොව දිනන්නට වෙර දරන්නේ කාහටත් ආදර්ශයක් දෙමිනි.

අරණායක, මැරහේන, වත්තේගෙදර, ගල්අතර පදිංචි දුමින්ද සංජීව කුමාර කොස්වත්ත නමැති දස හැවිරිදි මෙම සිසුවා අධ්‍යාපනය ලබන්නේ මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් වත්තේගෙදර ප්‍රාථමික විදුහ‍ලේ පස්වන ශේ්‍රණියේය. දුමින්ද මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයටද පෙනී සිටියේය. කොපමණ ආර්ථික බාධා පැවතියත් දුමින්ද මේ වසරේදී නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වන ලද සහසක් නිපැයුම් තරගාවලියේදී සමස්ත ලංකා මට්ටමේ තරගයෙන් ලෝකඩ පදක්කමක්ද ලබා ගත්තේය. ඒ පදක්කම හිමිවූයේ ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අඳින යන්ත්‍රයටය. මෙම නව නිපැයුමට අමතරව දුමින්ද සිසුවා විසින් තවත් නව නිර්මාණ තුනක් සිදුකර තිබේ. සූර්ය කෝෂ භාවිතයෙන් සකස් කළ ජංගම දුරකථන චාජරය, බසයක බ්රේක් ලයිට් ආධාරයෙන් සකස් කළ දුරස්ථ පාලකයෙන් ක්‍රියා කරන මාර්ග සංඥා පද්ධතිය සහ තණකොළ කපන යන්ත්‍රය එම නව නිර්මාණයන්ය.

දුමින්ද සිසුවාගේ පියා කේ.ආර්. චමින්ද බණ්ඩාර කොස්වත්ත මහතාය. ඔහු වෘත්තියෙන් වෑල්ඩින් වැඩ සහ වයරින් වැඩ කරන අයෙකි. මව චාමලී සන්ධ්‍යා මහත්මියයි. දුමින්ද සිසුවාට වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු සහ බාල සහෝදරියක් සිටී. වැඩිමහල් සොහොයුරිය 12 වන වසරේ අධ්‍යාපනය ලබන්නීය. දෙවන වැඩිමහල් සොහොයුරිය නවය වසරේ අධ්‍යාපනය හදාරන්නීය. උස්සාපිටිය සිරිසඳ විදුහ‍ලේ ඔවුන් දෙදෙනා අධ්‍යාපනය ලබන්නීය. ඔවුන් පදිංචිව සිටින ගම්මානය පිහිටා ඇත්තේ බත‍ලේගල කන්දේය. නාය යාමට ලක්වූ සාමසර කන්ද පිහිටලා ඇත්තේ දුමින්ද සිසුවාගේ නිවස පිහිටි බත‍ලේගල කන්ද ආසන්නයේය.

දුමින්ද සිසුවා කිසිදු අමතර පන්තියකට සහභාගි නොවී මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 145 ක්ද ලබා ගත්තේය.

අපිට පුතාව ශිෂ්‍යත්ව අමතර පන්තිවලට යවන්න බැරිවුණා. පන්ති ගාස්තු ගෙවාගන්න ආර්ථික ශක්තියක් නොතිබුණු නිසයි පන්ති යැව්වේ නැත්තේ. ඒ වගේම පන්ති තියෙන්නේ මාවනැල්ල ටවුමේ. ගෙදර ඉඳන් ටවුමට යන්න පැයක විතර වෙලාවක් යනවා. බස් එක ගාවට යන්නත් ගෙදර ඉඳන් විනාඩි තිහක් තිස්පහක් විතර යනවා. මේ නිසා ඉතින් අපිට දරුවා පන්ති යවන්න බැරිවුණා. පන්ති නොගිහිනුත් පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 145 ක් ගත්තා. ඒ ගැන අපිට සතුටුයි. පුතා පන්ති ගියා නම් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙන්න තිබුණා. පුතා එක වසරේ ඉඳලා මේ දක්වාම වාර දෙකක් හැර අනෙක් හැම වාරයකදීම පන්තියේ පළමුවැනියා. යැයි දුමින්දගේ මව වන චාමලී සන්ධ්‍යා කීවාය.
දුමින්ද සිසුවාගේ නැගණියට වයස අවුරුදු පහයි මාස හතරකි. ඇය ඇවිදීමේ අපහසුතාවයෙන් පෙලෙන්නීය.

දුවට උපතින් ස්නායු ආබාධයක් නිසා ‍පොඩි දුවට ඇවිදලා යන්න අමාරුයි. කරපු පරීක්ෂණවලින් දොස්තර මහත්තුරු කිව්වේ ඉපදෙන වෙලාවේ මොළයට ඔක්සිජන් සැපයුම අඩුවෙලා මොළේ ස්නායු මියගිහින් කියලා. දුව වචන කෑලි කෑලි කතා කරනවා. කියන දේ තේරෙනවා. ඇවිදින්න අමාරුයි. යැයි දුමින්දගේ මව කීවේ හැඬුම්බරවය.

සිය නැගණියගේ කටයුතුවලට සහ නිවසේ කටයුතුවලටද දුමින්ද සිසුවා උදව් කරන්නේය. නිවසේ කටයුතු, පාස‍ලේ පාඩම් කටයුතු අතරතුර ඔහු නව නිර්මාණ කටයුතු සඳහාද වෙලාව වෙන්කර ගන්නේය.

දුරස්ථ පාලකයෙන් ක්‍රියා කරන මාර්ග සංඥා පද්ධතිය සැකසූ ආකාරය පිළිබඳව කුඩා දුමින්ද සංජීව සිසුවා අප සමග විස්තර කළේ මෙලෙසිනි.

මේ නිර්මාණ කරන්න මට කවුරුත් කියලා දුන්නේ නෑ. මම හිතලා කරන්නේ. මම නිර්මාණ කරන්න ආසයි. බස්වල පිටිපස්සේ සිග්නල් ලයිට් බේ්‍රක් ලයිට් තියෙන කොටසක් අරගෙන පිළිවෙළට රතු, කහ සහ කොළ විදිහට සකස් කළා. ඒ ලයිට් තුනට ස්විච් තුනක් සවිකළා. ඒවාට බල්බ්වල වයර් සවිකළා. අර වයර් ටිකට බැටරිය ඇමිනුවා.

සෙල්ලම් කාර් එකේ මෝටර් දෙකක් තියෙනවානේ. මෝටර් දෙක සම්බන්ධ වෙලා තියෙන බෝඩ් එකට ලයිට් සම්බන්ධ කළා. එතකොට රිමෝට් එකෙන් අපිට ඕන ලයිට් එක පත්තු කරන්න විතරයි තියෙන්නේ. දුමින්ද සිය නිර්මාණය ගැන විස්තර කළේ එලෙසිනි.

දුමින්දගේ අනාගත සිහිනය විද්‍යාඥයෙකු වීමය. දුමින්දගේ කටයුතුවලට කවුරුන් හෝ අත දෙන්නේ නම් දුමින්දට සිය සිහිනය කරා යාමට අපහසුවක් නොවන්නේය.

පුතා ‍පොඩි කාලයේ සිටම එක එක කෑලි අරගෙන විවිධ නිර්මාණ කරනවා. චිත්‍ර අඳින යන්ත්‍රයක් එයා හැදුවේ පුතා හතර වසරේ අධ්‍යාපනය ලබද්දී. සෙල්ලම් කාර් එකක මෝටරේ අරගෙන ඒකට වයරුයි, බැට්රි කෑල්ලකුයි, පෑනකුයි සම්බන්ධ කරලා මේ නිර්මාණය කළේ. ඊට පස්සේ තරගවලට ඉදිරිපත් වුණා. කලාප තරග පළාත් තරගවලින් එයාගේ නිර්මාණ තේරුණා. ජංගම දුරකථන චාජරයක්, වල්කපන මැෂිමක් සහ මාර්ග සංඥා පද්ධතියකුත් පුතා හැදුවා.

ඉස්කෝ‍ලේ විභාගයටත් නිර්මාණ කරන්න කියලා කියනවානේ. එතකොට තමා මාර්ග සංඥා පද්ධතිය හැදුවේ ඉස්කෝ‍ලේ පාඩමකට. එයාගේ අත්තා ළඟ වල් කපන මැෂිමක් තියෙනවා දැකලා තමයි පුතා වල්කපන මැෂිමක් හැදුවේ. පුතා ගෙදර ඉද්දී මොනවා හරි දෙයක් හදනවා. බවුත් එක අරගෙන පාස්සනවා. සර්කිට් කෑලි අරගෙන එක එක ඒවා හදනවා. යැයිද දුමින්දගේ මව සිය පුතුගේ හැකියාවන් පිළිබඳව එලෙස විස්තර කළාය.

දුමින්ද සංජීව කුමාර සිසුවා නිර්මාණය කළ සූර්ය කෝෂ භාවිතයෙන් සකස් කළ ජංගම දුරකථන චාජරය පිළිබඳවද ඔහුගේ මව මෙලෙස කීවාය.

පුතාගේ තාත්තා කොහෙන්දෝ සූර්ය කෝෂයක් ගෙනැත් තිබ්බා. පුතා ඒක අරගෙන නිකම් වයර් දෙකක් සම්බන්ධ කළා. අපේ ගෙදර ‍පොඩි ෆෝන් එකක් තිබුණා. ඒ වෙලාවේ ‍පෝන් එකේ බැට්රිය බැහැලා තිබුණේ. අර වයර් දෙක බැටරියට සම්බන්ධ කරලා අව්වේ තිබ්බා. එතකොට සූර්ය කෝෂයේ රත්වීමත් එක්ක බැටරිය චාර්ජ් වුණා. යැයිද ඇය පැවසුවාය.

සිය පුතුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කවුරුන් හෝ උදව් කරන්නේ නම් එය මහගු උපකාරයක් බව දුමින්දගේ දෙමාපියන් කියා සිටියි.

පුතාගේ නිර්මාණවලට අවශ්‍ය දේවල්වලට දැනට අපිට ‍පොඩි මුදලක් වැය වෙන්නේ. ඉස්සරහට තමයි අවශ්‍ය වෙන්නේ. දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා කාටහරි උපකාර කරන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි. පුතා වෙන ඉස්කෝලෙකට දැම්මොත් ඉස්කෝ‍ලේ වියදම් යනවා. පන්ති වියදම් යනවා. නව නිර්මාණ හදද්දී වියදම් යනවා. යැයි දුමින්දගේ මව අප සමග කියා සිටියේ බලා‍පොරොත්තුවක් ඇතිවය.

සාලිය කුමාර ගුණසේකර