‍පොලිසිය අහිංසකයින් අල්ලා නැති මත්කුඩු දමා කූඩුකරන්නට දක්ෂය. නැති වැරදි පෙන්වා රියැදුරන්ට දඩ ගසති. ‍පොලිසිය නීතිය නවන්නේ තමන්ට ඇවැසි ආකාරයටය. එසේ බොරැල්ල ‍පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් නීතිය නවමින් ‍පොලිසියේම නිලධාරියකුට වැඩක් දෙන්නට ගොස් දැන් අතේ පත්තු වී හමාරය.

එම ‍පොලිස් නිලධාරියා ‍පොලිස් ස්ථානාධිපති ධුරයද දැරූවෙකි. නිකම්ම නිකම් ‍පොලිස් නිලධාරියෙක්ද නොවේ. ‍පොලිස් පරීක්ෂකවරයෙකි. ‍පොලිස් පරීක්ෂකවරයාට බොරැල්ල ‍පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පටලවන්නේ රථවාහන අනතුරක් කළ බවට වූ නඩුවකි. අධිකරණයේදීම දැන් අනාවරණය වී ඇති අකාරයට අනුව එය හිතා මතා ‍පොලිසිය විසින් ගොනුකළ ව්‍යාජ නඩුකි. එවන් නඩුවක් බොරැල්ල ‍පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ගොනුකර ඇතැයි පසුගිය සතියේ කොළඹ රථවාහන අධිකරණයෙන් ඇසෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවකින් ගැලවෙන්නට බොරැල්ල ‍පොලිසිය එම නඩුව ගොනුකර ඇති බවය. බොරැල්ල ‍පොලිසියට එරෙහිව එම මූලික අයිතිවාසිකම් නඩුව ගොනුකර ඇත්තේද එම ‍පොලිස් පරීක්ෂකවරයාමය. එම ‍පොලිස් පරීක්ෂකවරයාව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා විසින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නේ බොරැල්ල ‍පොලිසිය විසින් සාධාරණ සැකයෙන් තොරව චෝදනා ඔප්පු කර නොමැති බව සඳහන් කරමිනි.

මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මරදාන ‍පොලිස් නිවාසවල පදිංචි ‍පොලිස් පරීක්ෂක ගීගන කංකානම්ලාගේ එරික් ලූෂන් බණ්ඩාර අලහකෝන් නමැති නිලධාරියාය.

2013 මැයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී අංක 255-2465 දරන වෑන් රථයේ රියැදුරුව සිටිමින්, අංක ඩබ්ලිව්.පී.කේ.ආර්. 4263 දරන මෝටර් රථය හප්පා එම රථයට අනතුරක් සිදුකොට අලාභහානි සිදු කළ බවට සහ එම අවස්ථාවේදී නොසැලකිලිමත් අන්දමින් රිය ධාවනය, බිමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, අනතුරක් වාර්තා නොකිරීම, අනතුරක් වළක්වා නොගැනීම, ආදායම් බලපත්‍රය නොමැතිව රිය ධාවනය කිරීම, රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය යන චෝදනා 07ක් යටතේ මෙම විත්තිකාර ‍පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව බොරැල්ල ‍පොලිසිය විසින් නඩු පවරා තිබුණේ මෝටර් රථ ප්‍රවාහන පනත යටතේය.

2013 වර්ෂයේ අධිකරණය හමුවේ බොරැල්ල ‍පොලිසිය ගොනු කළ අදාළ නඩුවේ තීන්දුව අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් ප්‍රකාශයට පත්කරන්නේ ඉකුත් 01 වෙනිදාය. මෙහිදී බොරැල්ල ‍පොලිසියේ රථවාහන අංශයේ එවකට සිටි ‍පොලිස් සථානාධිපති ‍පොලිස් පරීක්ෂක අලුත්ගෙදර වික්‍රමසිංහ බණ්ඩාර, උප ‍පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මුදියන්සේලාගේ ප්‍රීති විරාජ් චන්දන බණ්ඩාර තෙන්නකෝන් සහ ‍පොලිස් සැරයන් මහ ‍ලේකම් මුදියන්සේලාගේ සුනිල් විජේබණ්ඩාර යන නිලධාරීන්ට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම, කූට ‍ලේඛන සකස් කිරීම යන කරුණු හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාර රුපියල් 75,000 වන්දි මුදලක් විත්තිකාර ‍පොලිස් පරීක්ෂකවරයාට ගෙවන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කිරීම විශේෂත්වයකි. මුදල නොගෙවන්නේ නම්  මාස 06ක ලිහිල් සිරදඬුවමක්ද නියම කළේය.

මෙම නඩුවේ විශේෂත්වයක් වන්නේ විත්තිකාර අලහකොන්  වෘත්තියෙන් ‍පොලිස් පරීක්ෂකවරයකු වුවත් ඔහු කිසිදු නීතිඥ සහායක් නොමැතිව අදාළ නඩුකරය සඳහා ඔහුම පෙනී සිටීමය.

අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා සිය තීන්දුවේ මෙසේ  සඳහන් කර තිබේ.

අදාළ සිද්ධියෙන් මාස 02කට පමණ පසුව මෙම රථවාහන නඩුව පවරා තිබෙනවා. අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව විත්තිකරුට පහරදීමක් සිදුව ඇති බව පෙනී යනවා. විත්ති පාර්ශ්වය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ අනුව විත්තියේ ස්ථාවරය වනුයේ එම මූලික අයිතිවාසිකම් නඩුකරයෙන් ගැලවීම සඳහා මෙම නඩුකරය රථවාහන අධිකරණය හමුවේ පවරා, එම තොරතුරු ඇතුළත් කිරීමට ‍පොලිස් තොරතුරු සටහන් ‍පොත වෙනස් කර ඇති බවයි.

මෙම නඩුවේ ඉදිරිපත් වූ එක් සාක්ෂිකරුවකු හැර, අන් සියලුම සාක්ෂිකරුවන් ‍පොලිස් නිලධාරීන් වේ. එම සාක්ෂිකරුවන් අතරින් විශේෂයෙන් විමර්ශන නිලධාරියා, අත්අඩංගුවට පත් නිලධාරියා සහ ‍පොලිස් පරීක්ෂක බණ්ඩාර යන නිලධාරීන්ගේ සටහන් වෙනස් කර ඇති බවට පැහැදිලි වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුවල සඳහන් කර ඇත්තේ අධිකරණය ‍පොලිසියේ නිල මුද්‍රාවකින් නොවිය යුතු බවයි. ඒ අනුව සැමවිටම අධිකරණය විසින් අධිකරණමය මනසකින් යුක්තව කටයුතු කළ යුතු බවට දන්වා ඇත.

මෙම රථවාහන නඩුකරය නිරීක්ෂණය කිරීමේදී විත්තිකාර අලහකෝන් නමැති අයට බලවත් අගතිදායක තත්ත්වයක් සිදුව ඇති බවට පෙනී යයි. එය මන්ද යත් ඔහු අත්අඩංගුවට පත් වේලාවක් සඳහන් නොවීමත්, අත්අඩංගුවට ගත් නිලධාරියා වෙනත් නිලධාරියකු බවට වෙනත් නඩුවකදී කරුණු ඉදිරිපත්ව තිබිමත්, බිමත්කම පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයාට ඉදිරිපත් කර ඇති වේලාව සහ ඔහු ඉදිරිපත් කිරීමට ‍පොලිස් ස්ථානයෙන් රැගෙන ගිය වේලාවන් පැහැදිලිව පරස්පර වීම මගින් අදාළ තොරතුරු සටහන් හා දළ සැලැස්ම වෙනස් කර තිබිමත්, පැහැරගෙන යනු ලැබූ බව කියන ‍පොලිස් නිලධාරියකු එම අවස්ථාවේදී වාහනය තුළ නොසිටි බවට පැමිණිල්‍ලේ සාක්ෂි විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් යන සියලු කරුණු සලකා බැලීමේදී අදාළ නඩුකරය ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරයෙන් ගැලවීම සදහා ආරක්ෂණයක් වශයෙන් ගොනුකර ඇත්තේද යන සැකය මතුවෙයි.

විත්තිකාර ‍පොලිස් පරීක්ෂක ලූෂන් බණ්ඩාර අලහකෝන් නමැති අය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නේ මේ ඵයල්ල සැලකිල්ලට ගෙන බව විනිසුරුවරයා සිය තීන්දුවේ පැහැදිලිවම සටහන්කර තිබිමද විශේෂිතය.
‍පොලිසිය ‍පොලිස් නිලධාරියෙක්ට මේ ආකාරයේ සලකන්නේ නම් සාමාන්‍ය සිවිල් පුරවැසියන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මොන කතාදැයි මේ අනුව පැහැදිලිය.

ඉෂාර රත්නකාර