මේ සටහන් තබන්නට යන කතාව මීට වසර 06 කට පෙර මෙරට අමත්‍යවරයකුට මුහුණ දෙන්නට සිදුවුණු භයානක තාක්‍ෂණික සංසිද්ධියකි. ඊට සිවිල් පුරවැසියෙක්ද මෑත කාලයේ මුහුණ දුන්නේය. එ් ගැන වගකිව යුතු සියලූම බලධාරීන්වත් රාජ්‍ය ආයතනත් අදාළ සිවිල් පුරවැසියා දැනුවත් කළද එ් සියල්ල මේ වන විටත් පත්ව ඇත්තේ බීරි අලින්ට වීනා වැයීමක් මෙනි.

වත්මන් කරුණු ගොනු කිරීමට පෙර මීට හේතුවූ අතීත සිද්ධීන් සිහිපත් කිරීමට කැමැත්තෙමු. වසර ගණනකට පෙර මෙය සිදුවී තිබුණේ එකල නිවාස හා ඉදිකිරීම් කටයුතු භාරව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයාට ය. සිද්ධිය එකල අමාත්‍යවරයකුව සිටි මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් කිහිප වාරයක් විමල් ඇමැතිවරයාට දුරකථනයෙන් අමතා අසැබි වචනයෙන් බැන වැදීමකි. මේ නිසාම අමාත්‍යවරුන් දෙදෙනා අතර හටගත්තේ ආරවුලකි. සිදුවී තිබුණේ වෙනත් පාර්ශ්වයක් විසින් තාක්ෂණය යොදාගනිමින් මර්වින් අමාත්‍යවරයාගේ අංකය සහ හඬ කෘත‍්‍රිම ලෙස යොදාගනිමින් මේ ආරවුල ඇතිකිරීමයි. නමුත් වරදකරු කවුදැයි සොයාගැනීමට රහස් පොලිස් නිලධාරින්ට පවා හැකිව තිබුණේ නැත. එ් එම තාක්ෂණය එතරම් සූක්ෂ්ම ලෙස ප‍්‍රයෝග කළ හැකි එකක් නිසා ය. නමුත් මේ පිළිබඳ එකල රහස් පොලිසිය විසින් බලය ලත් රජයේ ආයතනය වන විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දී තිබුණි. එහෙත් බරපතළ අර්බුද මතුකළ හැකි මෙන්ම මූල්‍යමය වංචාවලට පවා යොදාගන්නා මෙම තාක්ෂණයෙන් ජනතාව ගලවා ගැනීමේ කිසිදු ක‍්‍රමවේදයක් එම ආයතනයෙන් හෝ රජයට අනුබද්ධ වෙනත් ආයතනවලින් මේ දක්වා බිහිවූයේ නැත.

පසුගිය අගෝස්තු මාසයේ දී මේ අර්බුදය සිදුවූයේ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතාට ය. කුරුඳුවත්ත පොලිසියේ රථවාහන ස්ථානාධිපති සුසන්ත ඉන්දික කුමාර මහතාට චිරන්ත මහතාගේ ජංගම දුරකථන අංකයෙන් අමතා මරණ තර්ජනය කළේ යැයි ස්ථානාධිපතිවරයා පැමිණිල්ලක් කර තිබුණි. මේ පැමිණිල්ල කර තිබුණේ චිරන්ත මහතා ස්ථානාධිපතිවරයා හා පොලිස් රථවාහන අංශයේ ඇතැම් නිලධාරීන්ගේ අක‍්‍රමිකතා පිළිබඳ ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන බවට සමාජ ජාල තුළ සටහනක් මුදාහැරීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් මෙම පැමිණිල්ල විභාග කිරීමේ දී ද අනාවරණය වූයේ මීට වසර 6කට පෙර සිදුවූ දෙය යළිත් සිදුවී ඇති බවය. එනම් ඉහත තාක්ෂණය යොදාගෙන ය. එම තාක්ෂණය වැරදි ලෙස සමාජය තුළ තවදුරටත් පැතිරීම වැළැක්වීමට ඊට යොදාගන්නා නම අපි භාවිත කිරීමෙන් වැළකී සිටිමු. කෙසේවෙතත් චිරන්ත මහතාගේ දුරකථනයෙන් එවැනි ඇමැතුමක් ගෙන නොමැති බවට තහවුරු වීමෙන් පසුව ස්ථානාධිපතිවරයාට කෙසේ හෝ ස්ථාන මාරුවක් ද ලැබී තිබුණි. නමුත් ඊට අදාළ නඩුවක් අධිකරණය හමුවේ තවමත් විභාග වෙමින් පවතී.

නිකරුණේ තම දුරකථන අංකයෙන් කිසියම් පාර්ශ්වයක් විසින් තාක්ෂණය යොදාගෙන අයුතු ලෙස භාවිත කිරිම පිළිබඳ දුක්ගැනවිල්ල චිරන්ත මහතා විදුලි සංදේශ නියාමන කොමිසමට කියන්නට ගිය විට ඔවුන් කලේ ඔහු රස්තියාදු කිරීමය.

විවිධ වේලාවලදී එලෙස ගිය විට සාකච්ඡුා කිරීමට කිසිම නිලධාරියෙක් නොමැතිව චිරන්ත මහතාට සිදුවූයේ හිස් අතින් යළි එ්මටය. ජනතාවට මෙමගින් සිදුවිය හැකි අනේක විධ අනිටු විපාක වැළැක්වීම සඳහා ජනතාව ඉන් මුදවා ගැනීමට අප ද විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විමසීමට ගිය අවස්ථාවේදී අපට ලැබුණේ ද ඉතාම ඍණාත්මක පිළිතුරකි. එ් තබා රටේ අමාත්‍යවරයකුට සිදුවූ දේ පිළිබඳ දැනීමක්වත් එ් සඳහා ගත් කි‍්‍රයාමාර්ගයක් පිළිබඳ පැවසීමටවත් දෙයක් නැති විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ජනතාවට සෙතක් වේ යැයි කිසිසේස්ත්ම සිතීම පවා ඵලක් නැත්තකි. නමුත් මෙම සිද්ධිය වනවිට විෂය භාර අමාත්‍යවරයාව සිටි හරින් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කළේ එවැනි තාක්ෂණයක් පවතින බවත් එමගින් එස්.එම්.එස් හෙවත් කෙටි පණිවුඩ පවා යැවිය හැකි බවයි. එම තාක්ෂණය භාවිතයේ බරපතළ අහිතකර අවස්ථා පිළිබඳ අමාත්‍යවරයා පිළිගෙන තිබුණි.
asdf
කෙසේ වෙතත් මේ සිද්ධියට මුහුණ දුන් චිරන්ත අමරසිංහ මහතා වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකි. වෙබ් අඩවි නිර්මාණ හා පරිගණක ජාලගතකරණ යන විෂයයන් ද ඔහුගේ වෘත්තියට අදාළය. ඉහත සිද්ධියෙන් බැට කෑ චිරන්ත අමරසිංහ මහතා රජයේ ආයතනවලින් හැකි සෑම අයුරකින්ම ඉල්ලා තිබුණේ නොදැනුවත්කම නිසා ජනතාව මෙම තාක්ෂණයට හසුවී වංචනික කි‍්‍රයාවලට හසුනොවන ආකාරයේ, අඩුම තරමේ දැනුවත් කිරීමේ ක‍්‍රමවේදයක් සකසන ලෙස ය. තමන්ට වූ දෙය අනුනට නොවිය යුතු බවටත්, තමාට මෙන් මේ නිසා අධිකරණය හමුවට යාමට සිදුවන අවස්ථාවලින් වැළකීමට හැකියාවක් ඇතිකර දෙන ලෙසත් ය. මේ පිළිබඳ කිසිදු ආයතනයක පිහිටක් නොවූ තැන චිරන්ත අමරසිංහ මහතා කළේ මාස එකහමාරක පමණ සිට මේ සඳහා විසඳුමක් තමාගේ දැනුම භාවිත කරමින් අත්හදා බැලීම ය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස වෙනත් පාර්ශ්වයක් විසින් වෙනත් අයකුගේ දුරකතන අංකය වෙනස් කොට ඇමැතුම් ලබාගැනීමේ තාක්ෂණයට එරෙහිව ‘දුරකථන ඇමතුම් සහතික ලෙස හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක්’ හඳුන්වා දීමට චිරන්ත අමරසිංහ මහතාට හැකිවි තිබේ. එ් පිළිබඳ ඔහු අප වෙත පැවසුවේ මෙලෙසය.

”මේ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියවත්, විදුලි සංදේශ නියාමන කොමිසමවත් වෙනත් රජයට අනුබද්ධ ආයතනයක් හෝ විසඳුමක් ලබා නොදීම නිසා වගේම මාගේ පැමිණිලිවලට හෝ යහපත් ප‍්‍රතිචාර නොදැක්වීම නිසා මම තීරණය කළා ජංගම දුරකථන සඳහා ඇප් එකක් (භාවිත මෘදුකාංගයක්) හදන්න. මම දුරකථන මෘදුකාංග ඉංජිනේරුවෙක් නෙවෙයි. නමුත් මගේ පරිගණක මෘදුකාංග දැනුම භාවිත කරලා මම මේක හැදුවා. මේක ඉහත තාක්ෂණයට එරෙහිව සටන් කරන ඇප් එකක් වශයෙන් කි‍්‍රයාකරන්නක්.

වෙනත් අයකු විසින් අපගේ දුරකතන අංකයක් භාවිත කොට අයථා ලෙස ඇමැතුම් ලබාගන්නා තාක්ෂණයේ දුර්වලතාවක් තිබෙනවා. එමගින් ඇමතුමක් ගත හැකි වුණත් ඇමතුම ලබන්නා ආපසු ඇමැතුමක් ලබාගත් විට ඇමැතුම යන්නේ නිවැරැුදි පුද්ගලයාටයි. මා හඳුන්වා දුන් ඇප් එක ඔබගේ ජංගම දුරකථනයට බාගත කර තිබුණොත් ඇමැතුමක් ලැබෙන විට එ් ලැබෙන්නේ සැබෑ අංකයෙන් ද නැතිනම් ඉහත තාක්ෂණයෙන් කෘත‍්‍රිම ලෙස ද යන්න නිවැරැදිව හඳුනාගෙන ඔබට එස්එම්එස් එවනවා. සැබෑ හිමිකරු නම් එ් අංකය Verified Call ලෙස එස්එම්එස් එකක් ලැබෙනවා. එ් වගේම වෙනත් අයකු විසින් අපගේ අංකය භාවිත කර මෙම තාක්ෂණයෙන් ඇමැතුමක් ලබාගන්නවා යැයි සිතමු. එවිට අපිට එස්එම්එස් එකක් එනවා ඔබගේ අංකය භාවිත කරමින් මේ අංකයට ඇමැතුමක් ලැබෙන බව. එ් ආකාර දෙක වගේම මෙහි තවත් වාසියක් වන්නේ මෙය කෙටි පණිවුඩ සේවාවකින් සිදුවන නිසා තාක්ෂණය තුළ පුද්ගලිකත්වයට වඩාත් හිතකර වීමත්, එම කෙටි පණිවුඩ ක‍්‍රමය කිසියම් අයකුට නීතිමය කටයුතු සඳහා සාක්ෂි ලෙස භාවිත කිරීමේ හැකියාවයි. එමෙන්ම මෙය සිදුවන්නේ අන්තර්ජාල භාවිතයකින් තොරව නිසා ඬේටා සඳහා පිරිවැයක් දරන්නට වෙන්නේ නෑ. www.ceylonma.org/cvs/ යන වෙබ් අඩවිය ඔස්සේ මෙම ජංගම දුරකථන ඇප් එක නොමිලේ බාගත කළ හැකියි.

දැනට මෙමගින් වියදමක් ලෙස කෙනකුට දැරීමට සිදුවන්නේ එස්එම්එස් එක්ක ස්වයංක‍්‍රීයව ඇප් එක මගින් යැවීමේදි වැය වන කෙටි පණිවුඩයකට අදාළ ගාස්තුව පමණයි. ඇප් භාවිතයේදී පෞද්ගලික තොරතුරු ලබාගැනීම් සම්බන්ධ දේවලින් පවා මෙම ඇප් එක මුළුමනින්ම ආරක්ෂිතයි. එය ද තමාට අවශ්‍ය අංක පමණක් හඳුනා ගැනීමට හැකි වන අයුරින් ඇප් එකෙහි යෙදවුම් සකස් කළ හැකියි. මාපියන්ට දරුවන්ගේ හා දරුවන්ට මාපිය පවුලේ අයගේ අංක පමණක්, තමාට සමීප අයගේ අංක පමණක් ආදි වශයෙන් අංක ප‍්‍රමාණය වෙනස් කළ හැකියි. ඇතැම් අවස්ථාවල පවුලේ අයකු මෙන් කතාකොට මූල්‍ය වංචා, දූෂණ කි‍්‍රයා ආදී සිද්ධිත් මෙම තාක්ෂණයෙන් කර ඇති අවස්ථා අපිට දැනගන්නට ලැබෙනවා. තරුණයන් ගැහැනු ළමුන්ගේ ෆෝන්වලට ඔවුන්ගේ මාපියන් ලෙස කතාකරන අවස්ථා මට අසන්නට ලැබුණා. එවැනි වංචාවලින් වැළකෙන්න පවුලේ අංයගේ අංක මෙහි යෙදීමෙන් හැකියාව තිබෙනවා. මෙම ඇප් එක දෙආකාරයකින් සකස් කර තිබෙනවා. මොබයිල් ෆෝන්, ටැබ් ආදියෙහි ඇන්ඩ්‍රොයිඞ් 5.0 සිට 8.1 දක්වා පැරණි මෙහෙයුම් පද්ධතීන් (Android OS) වෙත භාවිත කළ හැකි සහ 5.0 සිට 4.0 දක්වා වන නවීන ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධති වෙත සරිලන ආකාරයෙන්. එ් නිසා පැරණි ස්මාර්ට් සන්නිවේදන උපාංග වෙත වුණත් මේක භාවිත කරන්න පුළුවන්. තවදුරටත් මෙහි සංස්කරණ කටයුතු සිදුවෙමින් තිබෙන නිසා දැනට මෙම ඇප් එක බාගත කරගත හැක්කේ මෙම වෙබ් අඩවිය ඔස්සේ පමණයි. ඉදිරියේදී එය Play Store වෙත හා වෙනත් iOS මෙහෙයුම් පද්ධති සඳහාත් මෙය හඳුන්වා දෙන්න කටයුතු කරනවා.” යැයි පරිගණක මෘදුකාංග ඉංජිනේරු චිරන්ත අමරසිංහ මහතා පැවැසීය.

මෙම තාක්ෂණය වැඩිදියුණු කරමින් ජනතාවට මෙවැනි වංචනික කි‍්‍රයාවලින් ජනතාවට වැළකීමට අවශ්‍ය සහය දෙන ලෙස දැනට රජය හා අනුබද්ධව කටයුතු කරන තාක්ෂණ ආයතන දෙකක් වෙත තමන් දැනුම් දුන් බව ද චිරන්ත මහතා පැවැසීය. මේ සඳහා තමාට රජයේ සහය ලැබෙන්නේ නම් මෙහි මෙම ඇප් එක කෙටි පණිවුඩයක් යැවීමකින් තොරව ඇතුළාන්ත ක‍්‍රමවේදයක් මගින් හඳුනා ගැනීමේ, වැඩිදියුණු කරන ලද ඇප් එකක් හඳුන්වාදීමට හැකි බවත් එ් සඳහා දුරකතන සේවා සමාගම් සමඟ සම්බන්ධ විය යුතු බවත් චිරන්ත අමරසිංහ මහතා පැවැසීය. තමාට වූ අසාධාරණය වෙනුවෙන් තමා වෙනුවෙන් නැගී සිටීමට මෙන්ම මෙය ජනතාවගේ ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට භාවිත කළ හැකි පරිදි සමාජ මෙහෙවරක් ලෙස තමන් හඳුන්වා දුන් බවද චිරන්ත අමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. හැකි නම් මෙම තාක්ෂණය තවදුරටත් වැඩිදියුණු කොට හෝ කුමන හෝ රජයේ, රජයට අනුබද්ධ ආයතනයක් ජනතාවට වංචනික අකටයුතුකම්වලින් ආරක්ෂා වීමේ ක‍්‍රමවේදය හඳුන්වා දෙන ලෙස හෙතෙම රජයෙන් ඉල්ලීමක් කරයි.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි