පිටරටින් පලතුරු ආනයනය කිරීම සඳහා වසරකට රුපියල් කෝටි ගණනක් වැයකරන්නේය. ඉන් වැඩිම ප්‍රමාණයක් වැය කරන්නේ ඇපල්, මිදි සහ දොඩම් වර්ග ආනයනය කිරීම සඳහාය. අපේ රටේ අඹ, පැ‍පොල්, පේර, දොඩම් ආදී ‍පෝෂ්‍යදායි පලතුරු වර්ග තිබුණත් වෙළෙන්දන් මෙන්ම පාරිභෝගිකයන්ද මුල්තැන දී ඇත්තේ පිටරටින් ආනයනය කරන ඇපල්, දොඩම් ආදියටය. තෙත් කලාපයට පමණක් සීමාවී තිබූ මිදි වගාව අද වෙද්දී යාපනය ඇතුළු ප්‍රදේශ රැසකට ව්‍යාප්තව ඇත්තේය. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කරන ලද අත්හදාබැලීම්වලින් ලැබුණු සාර්ථක ප්‍රතිඵල නිසාවෙනි. යාපනයේ දම්පැහැති මිදි ඵලදාව ගනිද්දී, රටේ දකුණු ප්‍රදේශයෙන් කොළ පැහැති මිදි ඵලදාවක් ලැබෙන්නේය. ගුණාත්මක තත්ත්වයෙන් යුතු වස විසෙන් තොර ඇපල් ගෙඩියක, පෙයාර්ස් ගෙඩියක රස විඳීමට නම් නුවරඑළියට යා යුතුය. නමුත්, දැන් ඒ තත්ත්වයද වෙනස් වී තිබේ. සීත දේශගුණයට හැදුණු ඇපල්, පෙයාර්ස් අතරමැදි වියළි කලාපය තුළද ප්‍රවර්ධනය කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ අත්හදා බැලීම්ද මේ වෙද්දී සාර්ථක වී තිබේ. හෙට අනිද්දා වෙද්දී ගෙවත්තෙන් පැ‍පොල් ගෙඩියක් ලබා ගන්නා මෙන් ගෙවත්තේ වැවූ ඇපල් ගෙඩියක, පෙයාර්ස් ගෙඩියක රස විඳීමට ඔබට අවස්ථාව උදාවනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කුණ්ඩසා‍ලේ ප්‍රදේශයේය. අක්කර 40 ක භූමි ප්‍රදේශයක් පුරා මෙම මධ්‍යස්ථානයේ භූමිය විහිදී තිබේ. අද වනවිට මෙම භූමි ප්‍රදේශයෙන් අක්කර තිහකම දැකිය හැකි වන්නේ විවිධ පලතුරු වර්ගය. පලතුරු වර්ග 200 කට ආසන්න ප්‍රමාණයක් සහ ප්‍රභේද දහසකට (1000) වැඩි ප්‍රමාණයක් මෙම මධ්‍යස්ථාන භූමියේ ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉතිහාසය වසර සියයකට වඩා අධිකයි. ඒ ආරම්භයේ සිට පර්යේෂණ මට්ටමින් සොයා ගත්ත පලතුරු ප්‍රභේද රැසක් තිබෙනවා. ඒ ප්‍රභේද දැන් ලංකාව පුරාම විසිරිලා තිබෙන්නේ. දෙපාර්තමේන්තුව මෙම පලතුරු ප්‍රභේදයන් එක් ස්ථානයකට ඒකරාශී කරන්නට සහ වගා කරන්නට තීරණය මීට වසර කීපයකට ඉහතදී තීරණය කළා. ඊට සුදුසු භූමිය ලෙස තෝරාගනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික්කයට අයත්, මහවැලි ගඟට ආසන්නව පිහිටා තිබෙන කුණ්ඩසා‍ලේ ප්‍රදේශයයි. ඒ අනුව අවුරුදු හයකට පෙර ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබුවා. යැයි එම මධ්‍යස්ථානයයේ  ගොවි‍පොළ කළමනාකරු එච්.එම්. සෙනෙවිරත්න බණ්ඩා මහතා පවසයි.

මෙම මධ්‍යස්ථාන භූමියේදී පර්යේෂණ මට්ටිමින් සොයාගත් පලතුරු වර්ග වගේම ඌන පලතුරු වර්ග එනම් භාවිතයෙන් ඉවතට යන පලතුරු වර්ග රැසක්ද වගාකර ඇත. මධ්‍යස්ථාන භූමියේ සකසා තිබෙන ජලාශ දෙකක් සකසා ඇති අතර, මහවැලි ගඟෙන් සහ ජලාශවලින් පලතුරු වගාවන්ට ජලය සපයා ගැනේ.

මට ලොකුම ගැටලුවක් වෙලා තිබුණේ පෙයාර්ස් සහ ඇපල් යන වර්ග දෙක වගා කිරීම සම්බන්ධව. මම කළ ඒ උත්සාහය ඇත්තටම සාර්ථක වුණා. ඒ නිසා මට වියළි හා තෙත් කලාපයේ අනෙක් භෝග වගා කිරීම එතරම් ගැටලුවක් නොවේ යැයි මම හිතනවා. ඇපල් සහ පෙයාර්ස් වගාව සඳහා බණ්ඩාරවෙල සහ රහංගල තිබෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානවලින් බද්ධ කරන ලද පැළ ලබා ගත්තා. යැයි සෙනෙවිරත්න බණ්ඩා මහතා කීවේය.

ඇපල් සහ පෙයාර්ස් වගා කිරීම සඳහා වළ සකසා ගන්නා ආකාරය සෙනෙවිරත්න බණ්ඩා මහතා විස්තර කළේ මෙලෙසිනි.

මම අත්හදා බැලීමෙන් ලබාගත් දෙයක් තමයි පැළයක් සිටුවීමේදී අපි සකස් කරන වළේ ප්‍රමාණය මදි පැළයක් සිටුවන්න. ඒ නිසා අපි අත්හදා බැලීම් කීපයක් සිදුකළා. අපි සාමාන්‍යයෙන් වළක් සැකසීමේදී දිග අඩි තුනක්, පළල අඩි තුනක් සහ ගැඹුර අඩි තුනක් විය යුතුයි. එය සාමාන්‍යයෙන් ‍පොල් වළක ප්‍රමාණය වාගේ. මෙම වළට කාබනික ‍පොහොර, මතුපිට පස් සහ වැලි යෙදිය යුතුයි. නමුත් අපි වැලි යෙදීමේදී කල්පනාකාරී විය යුතුයි. පසේ වැලි ගතිය වැඩි නම් වළට යොදන වැලි ප්‍රමාණය අඩු කළාට කමක් නෑ. පසේ මැටි ගතිය වැඩි නම් යොදන වැලි ප්‍රමාණය වැඩිකළ යුතුයි. මතුපිට පස්, වැලි සහ කොම්‍පෝස්ට් යෙදිය යුත්තේ 1ඃ1ඃ1 මිශ්‍රණයටයි. ඊට අමතරව එක වළකට රසායනික ‍පොහොර ග්‍රෑම් සියය බැගින් යෙදිය හැකියි. පස් සමග රසායනික ‍පොහොර කලවම් කරනවා නම් හොඳයි. පැළය රෝපණය කළ යුත්තේ පස් පුරවා සතියක පමණ කාලයකට පසුවයි. හේතුව පැළය සිටුවීමට පස ස්ථාවර විය යුතුයි. පස් පුරවපු ගමන් පැළය සිටුවුවහොත් පැළය පහළට බහිනවා. වතුර පිරිලා පැළය නරක් වෙන්න පුළුවන්. ඒ නිසා පස තදවනතුරු සතියක් විතර වතුර දාලා පසුව පැළය සිටුවිය යුතුයි.

පලතුරු වර්ග ගොඩාක් කලින් පූදිනවා. ගොඩාක් ‍පෝෂණය ලබාදෙනවා නම් ඉතා හොඳ මූල පද්ධතියක් ඇතිවෙනවා. ඒ මූල පද්ධතිය අනුව ශාකයේ වර්ධනය ඉක්මන් වෙනවා. එය ඵලදාවටත් හොඳ රුකුලක් වෙනවා. පැළය රෝපණය කර සතියකට පසු පැළයේ පත්‍රවලට දියර ‍පොහොර ඉසිය යුතුයි. නයිට්‍රිජන් සහිත දියර ‍පොහොර ඉසින්නේ ශාකයේ වර්ධනය සඳහායි. මල් පිපෙන කාලය වනතුරු දියර ‍පොහොර ඉසිනවා නම් හොඳයි. මල් පිපීම හටගැනීමෙන් පසු ‍පොටෑෂ් අඩංගු දියර ‍පොහොර ඉසිය යුතුයි. නයිට්‍රිජන් අඩංගු දියර ‍පොහොර එක සතියක් සහ ‍පොටෑෂ් අඩංගු දියර ‍පොහොර එක සතියක් යොදනවා නම් හොඳයි. ඒ වගේ මාරුවෙන් මාරුවට දියර ‍පොහොර ඉසිය යුතුයි. මාසයකට වරක් මූල පද්ධතිය සඳහා ‍පොහොර ඉතා සුළු ප්‍රමාණයක් යොදන්න ඕනේ. භෝගය අනුව ‍පොහොර වර්ගය වෙනස් වෙනවා. නිසි ක්‍රමවේද අනුගමනය කරනවා නම් සාර්ථක වගාවක් ඉක්මනින් ඇතිවෙනවා. යැයි සෙනෙවිරත්න මහතා පවසන්නේය.

මෙලෙස සිටුවන ලද ඇපල් සහ පෙයාර්ස් පැළවලින් අවුරුදු එක හමාරකින් පමණ ඇපල් පෙයාර්ස් ඵලදාව ලබාගෙන ඇත.

වසරකට එක්වරක් පමණක් ඇපල් පෙයාර්ස් ඵලදාව ලැබුණද, මෙම මධ්‍යස්ථානයේ තිබෙන ඇපල් සහ පෙයාර්ස් පැළවලින් වසර පුරාම ඵලදාව ලැබෙන ලක්ෂණ පෙන්නුම් කර ඇත.

අපි පර්යේෂණ තවමත් කරගෙන යනවා. පෙයාර්ස් සහ ඇපල් එකේ තව විශේෂයක් තිබෙනවා. එහි ඉක්මනින් ඉක්මනින් මල් පිපෙනවා. අවුරුද්ද පුරාම ඵලදාව ලැබෙන ලක්ෂණ පෙන්නුම් කරන්නේ. අපි කරන සාත්තුව අනුවයි එවැනි තත්ත්වයන් ඇතිවෙන්නේ කියලා අපි සිතනවා. යැයි සෙනෙවිරත්න බණ්ඩා මහතා පවසන්නේය.

ගොවි‍පොළ කළමනාකරු එච්.එම්.සෙනෙවිරත්න බණ්ඩා මහතා පවසන පරිදි වියළි කලාපයේ ඇපල් සහ පෙයාර්ස් වගාව කිරීම සම්බන්ධව අත්හදා බැලීමක් සිදුකරන්නේ නම් එය වැදගත් බවය.

වියළි කලාපයේ ඇපල් පෙයාර්ස් හදන්න පුළුවන්ද කියලා අත්හදා බැලීමක් කෙරෙන්න ඕනේ. මමත් මෙතන කරන්නේ අත්හදා බැලීමක්. කුණ්ඩසා‍ලේ ප්‍රදේශයේ ඇතැම් කාලවල තිබෙන්නේ මහියංගණයේ තිබෙන දේශගුණ තත්ත්වයයි. ඒ තත්ත්වය උඩ මම හිතනවා වියළි කලාපයේ ඇපල් පෙයාර්ස් හදන්න පුළුවන් වෙයි කියලා. යැයි සෙනෙවිරත්න මහතා කියන්නේය.

පලතුරු වගාව සම්බන්ධව අධ්‍යයනය කරන්නන්ට මෙම මධ්‍යස්ථානය ඉතා හොඳ තෝතැන්නක් ලෙස හඳුන්වා දිය හැකිය. කෘෂිකර්ම විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්, ගොවීන්, විවිධ සංවිධානවල සාමාජිකයින්, වෛද්‍යවරුන් මෙම පිරිස අතර සිටිති. මෙම ආයතනය අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙසද හඳුන්වාදිය හැකිය.

අපි පලතුරු සකසා තිබෙන භූමිය ඉතා දර්ශනීය ලෙස සකසා තිබෙනවා. එක භෝගයකින් පැළ තුන හතරක් සිටුවීමට බලා‍පොරොත්තු වෙනවා. ගොවීන් වගේම ආයතනය බැලීමට එන පුද්ගලයින් ඔවුන් ළඟ තිබෙන විශේෂ පලතුරු පැළ වර්ග අපට ගෙනැවිත් භාරදෙනවා. ඌන පලතුරු ලෙස හඳුන්වන මාදං, හිඹුටු, හොර, පලු, බකුඹ, ඇඹුල් පේර ආදියද වගාකර තිබෙනවා. අඹ වර්ග රැසක්, පේර, දොඩං, නාරං, ජම්බු, කොස් වර්ග රැසක් තිබෙනවා. මේ ආයතනයේ භූමිය හරි විදිහට බලන්න නම් දවසක් යනවා. කණ්ඩායමක් ලෙස ඔවුන් ආවොත් පලතුරු සම්බන්ධව හැඳින්වීමක් කරනවා.ඒ එන පුද්ගලයාට පලතුරු සම්බන්ධව හොඳ දැනීමක් ලබාදෙනවා. අනිවාර්යයෙන්ම මෙතැනින් පිටවෙලා යන්නේ පලතුරු ගසක් සිටුවීමේ අරමුණින්. යැයි සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com

Untitled-5 Untitled-6