පුංචිම අඩියේ සිට මහා පරිමාණ ව්‍යාපාරික ලෝකය දක්වා ගමන්ගත් ව්‍යාපාරිකයන් පිළිබඳව ඔබට හඳුන්වා දෙන රිවිර Billion Word විශේෂාංගය සමග මෙවර එක්වන්නේ Calico enterprises ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත් ගුණසේකර මහතායි.

පුංචි කා‍ලේ යමක්කමක් තේරෙනකොට ගෙදර පරිසරය මොන වගේද?
මගේ ගම හපුත‍ලේ. කන්ද උඩරට සුන්දර ප්‍රදේශයක්. මගේ තාත්තා ගාමිණී ගුණසේකර වෙළෙඳ ව්‍යාපාරිකයෙක් සහ හොඳ ‍ලේඛකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. පුවත්පත් ලිපි සහ විවිධ‍පොත් රචනා කළා. අම්මා ගෘහණියක්. පවු‍ලේ අක්කයි, මමයි, නංගියි තුන්දෙනයි. අපි හපුත‍ලේ තමයි ජීවත් වුණේ සහ ළමා කාලය ගෙවුණේ.

සුන්දර ළමාවිය වගේම ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනය ගැන කතා කළොත්?
ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ. උසස් පෙළ හැදෑරුවේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන්. පාසල් කා‍ලේ බොහොම ලස්සන කාලයක්. ජීවිතේ බරපතළක් තේරුණේ නැහැ. ගෙදරින් හැම දෙයක්ම සැපයූවා. ක්‍රීඩාවලට හුඟක් යොමුවුණා. ජවන හා පිටිය තරග හැම එකකටම වගේ සහභාගි වුණා. ක්‍රිකට් ගැහුවා.
ආසාවෙන්ම කරපු දේ Cadeting ඒ වගේම අධ්‍යාපනයටත් දක්ෂ වුණා කිව්වොත් හරි.

උසස් පෙළ සමත්වෙලා සමාජෙට පය තියන තැන ජීවිතේ දැනෙන්නේ කොහොමද?
උසස් පෙළ සමත් නමුත් කැම්පස් යන්න බැහැ. ඒ නිසා රැකියාවකට යොමුවුණා. මැලිබන් බිස්කට් ආයතනයේ බදුල්ල Sales Rep කෙනෙක් විදිහට තමයි මගේ මුල්ම රැකියාව වුණේ. ඔය කියන්නේ 1989දී වගේ. මට මතක විදියට මගේ මුල්ම පඩිය රුපියල් 800ක් විතර වුණා. දීමනා ටිකකුත් ලැබුණා. ඒ කා‍ලේ හැටියට ඒක ලොකු පඩියක්. අවුරුදු තුනක් මම එතැන වැඩ කළා.

පාසල් කා‍ලේ හැම දෙයක්ම ගෙදරින් ලැබුණා. රැකියාවක මුල් කා‍ලේ කොහොමද තනියම ජීවිතයට මුහුණ දෙන්නේ?
1988දී මගේ අම්මා නැතිවුණා. ඊට පස්සේ යම් යම් දුෂ්කරතා මැද්දේ ජීවිතේ ගෙන යන්න වුණා. පවු‍ලේ හැමෝම තම තමන්ගේ ජීවිතේ හොයාගෙන යන කා‍ලේ. තනියම ජීවිතේට මුහුණ දෙන්න ඉගෙන ගන්න වුණා. ඒ වුණාට ඒ අවුරුදු තුන දුෂ්කරතා රැසක් මැද ගෙවුණා. 1989 වසර අග භාගයේදි මගේ මිතුරෙක්ගේ ආරාධනාවක් අනුව මම
කොළඹට එනවා.

හපුත‍ලේ වගේ ගමක ඉඳලා කොළඹට ආපුවහම මුහුණ දෙන අභියෝග මොනවාද?
මම කොළඹ එන්නේ මගේ මිතුරා සමග ඔහුගේ බිස්නස් එකට සම්බන්ධ වෙන්නයි. ඔය කා‍ලේ ලංකාවේ ෂොපින් බෑග් හොඳටම විකිණෙන කා‍ලේ. මේ සමාගමේ කළේ ෂොපින් බෑග් ව්‍යාපාරයයි. ඒත් එහි වැඩ කරන පිළිවෙළ සහ ඒ යන ක්‍රමය මගේ අදහස්වලට ගැළපුණේ නැහැ. ඒ නිසා මාස තුනක්වත් ඒ ආයතනයේ හිටියේ නැහැ. ඒ වගේම ඒ තැන මට මාව තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ලබාදුන්නා කිව්වොත් හරි. ඔය කා‍ලේ මමම තේරුම් ගත්තා මට අවශ්‍ය ක්‍රමය මොකක්ද කියන එක. එතැනදි තමයි මම මගේම බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා හිතන්නේ.

මුලින්ම ව්‍යාපාරික ලෝකයට පය තබන්නේ කොහොමද?
1990 ජුනි මාසේ දහවැනිදා මම Calico trading කියන කම්පැනි එක පටන් ගත්තා. Calico කියන ව්‍යාපාරය පටන් ගන්නකොට අතේ තිබුණේ රුපියල් 500යි. ඒ වෙලාවෙ මට තව මිතුරෙක් උදව් කළා. එතැනින් තමයි මගේ ජීවිතේ කර්කශම කාලය උදාවෙන්නේ.

Calico Trading ව්‍යාපාරයෙන් කළේ apparel accessories තොග අරගෙන garment factory වලට විකුණන එකයි. ඔය කා‍ලේ ලංකාවේ ගාමන්ට් ව්‍යාපාරය ඉතාම සරුවට කෙරෙන කාලයක්.

ඇයි මෙහෙම ඇඟලුම් ව්‍යාපාරයේ අංශයකට යොමුවෙන්න හිතුවේ?
කොළඹට ඇවිල්ලා අවුරුද්දක් විතර ගතවුණා. ෂොපින් බෑග් ව්‍යාපාරයත් කරගෙන ගියාට දියුණුවක් පෙනුණේ නැහැ. ලංකාවේ ඒ වෙනකොට හොඳම ව්‍යාපාරික අංශය වුණේ apparel industry එකයි. ඒ ව්‍යාපාරය තුළ ඕන තරම් බිස්නස් තියෙනවා කියන දේත් opportunities ගැනත් මම මුල සිටම දැක්කා. ලංකාවේ ඔය වෙනකොට garment factoryes 274ක් තිබුණා. මේ ෆීල්ඩ් එකේ ලොකු බිස්නස් එකක් කරගෙන යන්න පුළුවන් කියන දේ මම තේරුම් ගත්තා.  Calico Trading සමාගමෙන් මුලින්ම කළේ ඇඳුම් අසුරන ‍පොලිතීන් බෑග් ගාමන්ට්වලට Supply කරපු එකයි. ඊට පස්සේ hangers වගේ දේවල් ටික ටික බිස්නස් එකට එකතු වුණා.

ඔය කා‍ලේ ජීවිතේ මුහුණදෙන අභියෝග ගැන කතා කළොත්?
ඉතාම දුෂ්කරයි. වාහනයක් තිබුණේ නැහැ. බස් එකේ ගිහින් පයින් ගිහින් ලංකාවේ හැම garment Factory එකක්ම visit කළා. සමහර වෙලාවට garment Factory ඉස්සරහ පැය ගණන් හිටගෙන ඉඳලා තමයි ඇතුළට යන්නේ. හැම garment එකකටම trading company එකක් තියෙනවා. 1992දී මම තවත් සහකරුවෙක් එක්ක එකතුවෙලා manufacturing පටන් ගත්තා. garment accessories ඒ කියන්නේ කලිසම්වල ගැට ගහන ඉණට දාන නූල, ජැකට්වල ඉණේ තියෙන නූල සහ විවිධ code අපි manufacturer කරන්න පටන් ගත්තා.

garment field එකේ මේ code එකට හිඩැසක් තිබෙන බව ඔබ හඳුන ගන්නේ කොහොමද?
වසර කිහිපයක් garment field එකේ business කරනකොට මට තේරුණා මේ ෆීල්ඩ් එකේ මේ වගේ code supply කිරීමේ හිඩැසක් තියෙනවා කියලා. හජිරින් රෂීෆ් කියන්නේ එදා ඉඳලා අද වෙනකම් ඉන්න මගේ Partner. එයයි මමයි තමයි මුලින්ම calico enterprise ආයතනය පටන් ගන්නේ. ඔය කා‍ලේ අතේ ඉතුරු කරපු සල්ලිවලින් රුපියල් 17100කට මෝටර් සයිකලයක් ගත්තා. මගේ අක්කා ඔය කා‍ලේ කොළඹ ගෙයක් කුලියට අරගෙන පදිංචිවෙලා හිටියා. මම අක්කත් එක්ක නැවතිලා හිටියේ. සල්ලි ටිකක් එකතු කරගන්න ගොඩක් දුක් විඳින්න වුණා. තරුණයෙක් විදිහට පෞද්ගලිකව කිසිම ආසාවක් ඉටුකර ගන්න පුළුවන් වුණේ නැහැ. මට තිබුණ ලොකුම ඉලක්කය බිස්නස් එක develop කරන එකයි. අමතර වියදම් සියල්ල කපා හැරියා. බඩගින්නේ ඉන්න පුළුවන් හැම අවස්ථාවකම බඩගින්නේ ඉඳලා ඒ සල්ලිත් ඉතුරු කළා.

calico enterprise ආයතනය මුලින්ම පටන් ගන්න විදිහ ගැන කිව්වොත්?
අතේ තිබුණ සල්ලියි, සහායක  මිතුරාගේ අතේ තිබුණ සල්ලියි දාලා මැෂින් දහයක් ගෙන්නුවා. 1992දී තමයි ෆැක්ටරි එක පටන් ගත්තේ. මැෂින් ටික ගෙනාවට පස්සේ අතේ ප්‍රාග්ධනයක් විදිහට කීයක්වත් තිබුණේ නැහැ. ගල්කිස්සේ තමයි මුල්ම ෆැක්ටරි එක පටන් ගත්තේ. සේවකයෝ තුන්දෙනෙක් වැඩ කළා. මාස හයක් හතක් යනකොට සේවකයෝ පස්දෙනෙක් වුණා. තවත් පාට්නර්ලා දෙන්නෙක් අපට මේ වෙලාවේ උදව් කළත් මාස කිහිපයකදී ඔවුන් අයින් වුණා.

ව්‍යාපාරය develop වෙන විදිහ ගැන කිව්වොත්?
මුල ඉඳලම ආයතනයේ විනය කියන දේ පිළිබඳව මම වැඩිපුර අවධානය යොමු කළා. ලැබෙන ඕඩර්වලට වෙලාවට බඩු දුන්නා. ඒ වගේම නිෂ්පාදනවල ගුණාත්මක භාවය හොඳින් පවත්වාගෙන ගියා. ‍පොඩි අඩුවක්වත් වෙන්න දුන්නේ නැහැ. අද මම මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඒ ගුණාංගය නිසා කියන දේ මම තරයේ විශ්වාස කරනවා. මුලින්ම යාර තුන්සියයේ හාරසීයේ ‍පොඩි ඕඩර් ලැබුණා. 1994දී තමයි හරියටම ලොකු ඕඩරයක් අපිට ලැබෙන්නේ. විරාජ් පංචාල් මහතාගේ garment washing program එකක තමයි මුල්ම විශාල ඕඩරය අපට ලැබෙන්නේ.

එතැනින් විවෘත වන මහා පරිමාණ ව්‍යාපාරික ලෝකය ජයගන්න මොන වගේ කැපකිරීමක්ද කරන්නේ?
මේ ගතවුණු කාලය පුරාම ලොකු කැපකිරීමක් මම කළා. ඕඩර් හම්බවුණත් නැතත්  customers visiting දිගටම කරගෙන ගියා. සාම්පල් පෙන්නනවා. ඇණවුම ලැබුණත් නැතත් ලංකාවෙ හැම ගාමන්ට් එකක්ම දිගටම visit කළා. මුල්ම ඕඩරේ ඉඳලම ෆීල්ඩ් එකේ වැඩක් දුන්නොත් ෂුවර් කියන තැනට අපි ඇවිල්ලා තිබුණා. මම විශ්වාස කරන විදිහට ලංකාවේ apparel field එකේ suppliers ලාට නැති දේ තමයි commitment කියන එක. අපි ඒ වෙනකොට calico කියන්නේ commitment company එකක් කියන දේ market එකේ buildup කරලා තිබුණා.

එතැනින් එහාට ව්‍යාපාරය පුළුල් වෙන්නේ කොහොමද?
එදා ඉඳලා මැෂින් දහය මැෂින් 20 වුණා. ටික ටික ව්‍යාපාරය පුළුල් වුණා. calico නාමය ලංකාව පුරා ව්‍යාප්ත වෙනකොට අපි ජාත්‍යන්තර මාර්කට් එක පිළිබඳව අවධානය යොමු කළා. ලෝකේ ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනවල Marketing පටන් ගත්තා. මුලින්ම Body Glove කියන ජාත්‍යන්තර සමාගමට අපේ නිෂ්පාදන අලෙවි කළා. දැන් ලෝකේ රටවල් 17කට අපේ නිෂ්පාදන යවනවා. වියට්නාමය, ඊජිප්තුව, තුර්කිය, කොරියාව ඒ රටවල් අතරින් ප්‍රමුඛයි.

මේ වෙනකොට adidas, Nike, reebok, colombia වගේ සමාගම් රැසකට අපේ නිෂ්පාදන යවනවා. දැන් වෙනකොට ජධඤඥ වලට අමතරව design tape වර්ග ඇතුළු සියලුම ඇඟලුම් උපාංගවලට අවශ්‍ය අමතර උපාංග අපි නිෂ්පාදනය කරනවා. දැන් ප්‍රධානම කර්මාන්තශාලාව දූනගහ ප්‍රදේශයේ තිබෙනවා. දෙවැනි කර්මාන්තශාලාව මෑතකදී කටුනායක ප්‍රදේශයේ විවෘත කළා. දැන් අපේ යටතේ වැඩ කරන සේවකයන් සංඛ්‍යාව 500කට වැඩියි.

ව්‍යාපාරික ලෝකයේ ඉදිරි සැලසුම් මොනවාද?
ඉදිරියටත් ජාත්‍යන්තර සමාගම් සමග ගනුදෙනු වර්ධනය කරගැනීම කරගෙන යනවා. ඊට අමතරව calico සන්නාමය වෙනුවෙන් මම මහන්සි වෙනවා. Bro Code කිව්වොත් calico කියන තත්ත්වයට ලෝකේ පුරාම අපේ සන්නාමය ප්‍රචලිත කළ යුතුයි. දැනටත් මම ඒ වැඩ කොටස ඉටු කරමින් ඉන්නවා.

මේ හැම දෙයක්ම අතරේ පෞද්ගලික ජීවිතේ ගලා යන්නේ කොහොමද?
1995දී මම විවාහ වුණා. මගේ බිරිඳ ගයානි ගුණසේකර. මට අවුරුදු 20ක පුතෙක් ඉන්නවා. දිනාල් ගුණසේකර. ඔහු මේ වෙනකොට උපාධිය හදාරන ගමන් මගේ ව්‍යාපාරවලට සම්බන්ධවෙලා ඉන්නවා. පුතා සහ බිරිඳ එකතුවෙලා ගම්පහ දිස්ත්‍රික්කයේ ලොකුම gim එක කරගෙන යනවා. ඒක ironhide fitness center නමින් වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යනවා. එහි එක වරකට පුද්ගලයන් 150කට පමණ ශාරීරික යෝග්‍යතාවල නිරත වෙන්න පුළුවන්.

බොහෝ කැපකිරීම් මැද ඉදිරියට ආ ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යාපාරික ලෝකයට පාතබන නවකයන්ට ලබාදෙන උපදෙස කුමක්ද?
අලුතින් හිතන්න ඕන. ව්‍යාපාරිකයන් හැමවිටම සාමාන්‍ය පුද්ගලයන් හිතනවාට වඩා වෙනස් විදිහට හිතන චරිත විය යුතුයි. අපේ සීමාවෙන් පිටත සිට සීමාව දිහා බලාගෙන වැඩ කළ යුතුයි. ලංකාවේ ව්‍යාපාරික ලෝකයට පා තබන අලුතින් හිතන අලුත් දෙයක් පටන් ගන්න ඕනම කෙනකුට අත දෙන්න මම ලෑස්තියි.
නෙරංජලා වික‍්‍රමසිංහ
neranjalatw@gmail.com

df