දෙදහස්අට වසර අග භාගය ලංකාවේ යුද්ධය තීව්‍රවම පැවැති සමයයි. අවසන් මොහොතේ කුමක් සිදුවේද යන්න ගැන සියලුදෙනා දෑස් දල්වා සිටියහ. ලංකාවේ තත්ත්වය ගැන මෙන්ම ජාත්‍යන්තර බලපෑම කොතැනකින් කෙළවරවේද යන්න ගැන කිසිවෙකුටත් අදහසක් තිබුණේ නැත.

අසල්වැසි ඉන්දියාවේ තීරණය කුමක්ද? එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සම්බන්ධ ගැඹුරු ඉතිහාසය පිරික්සන ඇතමෙක් ඒ ගැන විමසිලිමත් වූහ. ඒ එල්.ටී.ටී.ඊ.යේ ආරම්භය ගැන සිහිපත් කරමිනි. තවකෙක් ඒ කිසිදු දැනුමකින් තොරව වුවද ගුවනින් පරිප්පු දැමූ කතා කඩපිල් ළඟ සිහිපත් කළහ. දිනය 2008 නොවැම්බර් 26 දාය. ලෂ්කාර් ඉටායිබා ත්‍රස්තවාදීන් දස දෙනෙක් මුම්බායි නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රහාර වැලක් ඇරඹූහ.

අසල්වැසි ඉන්දියාව මුම්බායි ප්‍රහාරයේ අඳුරු වලාවෙන් වැසී යන්නට වූයේය. ලොව පුරා ප්‍රවෘත්ති නාළිකා එදින පටන් මුම්බායි ප්‍රහාරයට මුල් තැනක් දෙන්නට විය. 26-11 ත්‍රස්ත ප්‍රහාරය ලොව ප්‍රචලිත වූයේ එදින පටන්ය.  ලෂ්කාර් ඉටායිබා ත්‍රස්තවාදීන් නොවැම්බර් 26 වැනිදා පටන් දින හතරක් පුරාවට මුම්බායි නගරය හරහා ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කළේය.

2008 නොවැම්බර් 26 වැනිදා වන විට ලංකාවේ වඩා ප්‍රචලිතව පැවැතියේ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ හදවත යැයි හැඟවූ කිලිනොච්චි කොටි මූලස්ථානය ඉලක්ක කරගනිමින් ඇරඹි හමුදා ප්‍රහාර මාලාවයි. නොවැම්බර් 23 වැනිදා ඇරඹි  එම මෙහෙයුම කිලිනොච්චි කොටි බළකොටුවට තුන් පැත්තකින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් මත ක්‍රියාත්මක විය.

කොටි ත්‍රස්ත නායකයන් විනාශ කිරීමට මුලතිව් ඔඩ්ඩුසුඩාන්හි රහසිගත මෙහෙයුමක නිරතව සිටි යුද හමුදා විශේෂ බළකායේ ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ රට වෙනුවෙන් දිවි පිදුවේද ලෂ්කාර් ඉ ටායිබා ත්‍රස්තයින් ඉන්දියාවේ මුම්බායි ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ 2008 නොවැම්බර් 26 වැනිදාමය.

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ත්‍රස්ත බියෙන් නැවත මුළු ලොවම වෙලා ගත්තේය. ඒ නිසා මතවාදී වශයෙන් ත්‍රස්තවාදය ලොවින් තුරන් කළ යුතුයැයි නිවේදන නිකුත්වන්නට විය. අපේ රටේ නොවුණත් මුම්බායි ප්‍රහාරයත් එකල ලංකාවේ තිබූ ත්‍රස්ත බියත් මොහොතකට හෝ සිහිපත් කරන්නට සිත් වූයේ මුම්බායි ටාජ් පැලස් හෝටලය නිසාය. එදා ලෂ්කාර් ඉ ටායිබා ත්‍රස්තයින්ගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ ටාජ් පැලස් හෝටලයයි. ලොව පුරා මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය යැයි විමසිලිමත් වන ඕනෑම අයෙක්ට පහසුවෙන්ම දැක ගැනීමට ඇත්තේ ටාජ් පැලස් හෝටලයේ මහල්වලින් එළියට විසිවන ගිනි පුපුරු සහ දුම් රොටුය.

ලොවට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන මර්මස්ථානය වූ ටාජ් පැලස් හෝටලයේ දින තුනක් නවාතැන් ගැනීමට පසුගියදා මට අවස්ථාව ලැබිණි. විදෙස් පුවත් සේවාවල දර්ශන ඔස්සේ 2008 දි මුම්බායි ප්‍රහාරය පිළිබඳව මෙරට සිට දෑස් දැල්වූ මට ඇස්පනාපිට දකින ටාජ් පැලස් හෝටලයේ අත්දැකීම සුවිශේෂි එකකි.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය රජය එක්ව මෙරට තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් ඉන්දියානු සංචාරයට එක්කරගෙන තිබුණේ 21 සියවසේ ඉන්දියානු ආර්ථිකයේ සුවිශේෂී වෙනස්කම් පිළිබඳව දැනුවත් කිරීම සඳහාය. එම සංචාරය අරම්භ වූයේ මුම්බායි නගරයෙනි. නමුත් මම අපි නවාතැන් ගත් හෝටලයෙන්ම එම චාරිකාවේ  වැදගත්කම ලියා තැබිය යුතුයැයි සිතුවෙමි.

මුම්බායි සිවාජි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වූ අපි එදින දහවල් වන විට ටාජ් පැලස් හෝටලයට ළඟා වුණෙමු. අපගේ සියලු ගමන් මලු ටාජ් පැලස් හෝටලයට ඇතුළුවීමට පෙරම පරීක්ෂාවට ලක් කෙරිණි.

කුඩා ජංගම දුරකථනයට පවා එම ආරක්ෂක කවුළුවලින් බේරී යාමට නොහැකි විය. එකිනෙකාට නමස්තෙ යැයි කියන ගමන්ම ආරක්ෂකයෝ උකුසු ඇස් යොදමින් හෝටලයට එන අමුත්තන්ගේ ඇඟපසඟ විශේෂිත ආරක්ෂක පරීක්ෂා කිරීමකට ලක් කළහ. මෙම පරීක්ෂා කිරීම පුදුමය දනවන සුළු වූයේ වෙන කිසිවක් නිසා නොව මිනිස් බෝම්බ සමග ලොව ප්‍රබලම ත්‍රස්තවාදීන් අප යැයි කියා ගත් කොටි ත්‍රස්තවාදීන් මෙල්ල කළ ලංකාවේ අදත් මෙවැනි තත්ත්වයක් දක්නට නොමැති වීම නිසාය.

හෝටලයට ඇතුළු වන තැනම සිටි පිළිගැනීමේ නිලධාරිනියන් අපව පිළිගත්තේ තුල්සි මාල පලඳවමිනි. සුරූපි උතුරු ඉන්දියානු තරුණියන් ගෙලෙහි මාල දැමීමත්,  මාල දමා හෝටල්වලට පිළිගැනීමේ අත්දැකීම් නුහුරු මා ඇතුළු මිතුරන් මඳ වේලාවක් යන විට පරීක්ෂා කිරීම් අමතකව කතා කරන්නට වූයේ එම අලුත් අත්දැකීම ගැනය.

1618 කාමරයේ යතුර ගෙන ඊට ඇතුළු වූ මා හෝටලය ගැන විපරම් ඇසින් බලන්නට වූයේ එතැන් සිටය. ටාජ් පැලස්. මේ මම ඉන්නෙ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ හෝටලයේ කාමරයක. ලැප්ටොප් පරිගණකය දිග හැරගත් මම එදින මුලින්ම කළේ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය ගැන අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා බැලීමය.

2008 එල්ල වූ මුම්බායි ප්‍රහාරයට ලබන 26 වැනිදාට දස වසරකි. එම ප්‍රහාරයට දස වසරක් ගවෛන මොහොතේ ටාජ් පැලස් හෝටලයේ කාමරයක සිට ඒ සම්බන්ධ අතීත ආවර්ජනයක යෙදීමට ලැබිම මෙරට යුද සමයේ යුද වාර්තාකරුවකුව සිටි මා හට තවත් ජීවිත අත්දැකීමක් එක් කළේය. මුම්බායි ප්‍රහාරයේ ප්‍රබලම ඉලක්කය වූයේ ටාජ් පැලස් හෝටලය වුවත් සිවාජි ගුවන් තොටුපළ,  නරිමාන් හවුස්,  රේල් ටර්මිනස්,  ඔබරොයි හෝටලය,  ලියො‍පොල්ඩ් කැෆේ,  කැමා හෝස්පිටටල්,  ඇතුළු ස්ථාන කිහිපයකින්ම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට ලෂ්කාර් ඉ ටායිබා ත්‍රස්තයෝ ක්‍රියා කළහ.

යාවත්කාලීන වූ ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව මුම්බායි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 174කි. තවත් 304 දෙනෙක් ඉන් තුවාල ලැබූහ. මියගිය අය අතර බහුතරය ඉන්දියානුවන්ය. ඒ 137 දෙනෙකි. ඇමෙරිකාව,  ඊශ්‍රායල,  ජර්මනිය,  ඕස්ට්‍රේලියාව,  කැනඩාව, ප්‍රංශය, නෙදර්ලන්තය, ජපානය, ජෝර්දානය, මලයාසියාව, මුරුසි දිවයින, මෙක්සිකෝව, සිංගප්පුරුව, තායිලන්තය, ඉතාලිය සහ එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක විදේශිකයෝ මෙම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ.

රාත්‍රි ආහාරය ගැනීමෙන් පසු ටාජ් පැලස් හෝටලය ඉදිරිපසින් ඇති මුහුදු තීරයට යා වූ මාර්ගයේ පා ගමනින් යාමට සිත් වූයෙමි. එසේ ඇවිද යන ගමනේදී මොහොතක් ටාජ් පැලස් හෝටලය ඉදිරිපිට නැවතී ඒ දෙස බැලීමට සිත් වූයෙන් නැවැතුණෙමි. එදා මෙන් බියකරු වූ අත්දැකීමක් නැවත එනු ඇතැයි සේයාවක් හෝ නැති වුවද තවමත් ටාජ් පැලස් හෝටලයේ එක් අන්තයක් අතිශය ආරක්ෂාකාරී ලෙස විශේෂ අමුත්තන් සඳහා පමණක් වෙන්වී ඇති සැටියකි. ඉන් තවත් ඉදිරියට ඇවිද යන විට හමුවන්නේ තවත් මතකයකි.

ඒ මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන්ගෙන් ජීවග්‍රහයෙන් අල්ලා ගත් එකම ත්‍රස්ත සාමාජිකයා අල්ලා ගත් මතකයයි. ලෂ්කාර් ඉ ටායිබා ත්‍රස්තයින් අතරින් අජ්මාල් කසාබ් ත්‍රස්තයා ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට මුල් වූයේ ටුකරම් ගෝපාල් ඔම්බ්ලිය. ඔහු මුම්බායි ‍පොලිසියේ උප ‍පොලිස් පරීක්ෂවරයෙකි.

මා අසල සිටි ආචාර්ය රාජු පතොද්කාර්ගෙන් මම ඒ ගැන විමසුවෙමි. අජ්මාල් කසාබ් වෙඩි තබමින් මේ පාර දිගේ ඉදිරියට ඇවිත් තිබෙනවා. කලක් ඉන්දීය යුද හමුදාවේ සේවය කර තිබූ ටුකරම් ගෝපාල් නිලධාරියා ඔහුව බදාගෙන් ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට මුල් වී තිබෙනවා. ත්‍රස්තවාදියාගේ වෙඩි තැබිමෙන් ටුකරම් ගෝපාල් ‍පොලිස් නිලධාරියා මිය ගියා. මේ තමයි එදා ත්‍රස්තවාදියා අල්ල ගත්ත තැන මෙන්ම ටුකරම් ගෝපාල් රට වෙනුවෙන් දිවි පිදු තැන යැයි ආචාර්ය රාජු පතොද්කාර් පැවසීය.

මුම්බායි ටාජ් පැලස් හෝටලයේ සිට සිවාජි ගුවන් තොටුපළ දෙසට ගමන් කරන ඕනෑම අයෙක්ට එම ස්ථානය හමුවන අතර එම ස්ථානය හඳුනා ගැනීමට ටුකරම් ගෝපාල් වෙනුවෙන් නිර්මාණය කළ පිළිරුවක්ද ඒ අසල තනා තිබේ.
ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක්ද හිමි ආචාර්ය රාජු පතොද්කාර් මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ අමිහිරි අත්දැකීම් යළි යළිත් සිහිපත් කිරීමට අකමැති ගානය. නමුත් ගෙවී ගිය දින හතරක ප්‍රහාර කාලය තුළ තමන්ටද මෙම ප්‍රදේශයට ඒමට නොහැකි වූ බව ආචාර්ය රාජු පතොද්කාර් කීවේය.

නැවත හෝටලයට පැමිණි මා නින්දට යාමට පෙර මුම්බායි ප්‍රහාරය ගැන හෝටලයේ සේවකයන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටියේය. නමුත් ඒ ගැන කිසිවක් කතා කිරීමට ඔවුන් අකමැතිය. නමුත් හෝටලයේ සියලු දෙනා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව පැහැදිලි කාරණා කිහිපයක් ඇස් පනාපිට දකින්නට ඇත. තමන්ගේ කාමරයට යාමට අවශ්‍ය විදුලි සෝපානය ලබා ගැනීමට වුවද කාමරයේ විද්‍යුත් යතුර අවශ්‍යමය. අනපේක්ෂිතව හෝටලයේ ආගන්තුක ස්ථානයකට ගියද ඔබ කුමන කාමර අංකයේ සිටින්නේදැයි විමසීම ඊට අල්ප මාත්‍ර උදාහරණයන්ය.

පසුදා ඉරිදා දිනයක් වූයෙන් උදෑසනම දොරට තට්ටු කර ලබා දුන් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ මුල පිටුවට මගේ නෙත ගියේ නිරායාසයෙනි. එහි මුල් පිටුවේ දෙවැනි උප ශීර්ෂය වූයේ මුම්බායි ප්‍රහාරය සම්බන්ධයෙනි. එම පුවතට පදනම වැටී තිබුණේ ඉන්දීය ජාතික ආරක්ෂක බළමුළුව ව්ඉට් නිකුත් කළ අලුත්ම සංඛ්‍යා දත්තයන්ය.

එම පුවත අවසන් වන්නේ මුම්බායි ප්‍රහාරය වූ දිනයේ ජාතික ආරක්ෂක බළමුළුවේ කොමාන්ඩො සෙබළුන් දිල්ලියේ සිට පැමිණීමට ගත වූ කාලයයි. 26 වැනිදා රාත්‍රි 9.20ට ත්‍රස්තවාදීන්ගේ පළමු වෙඩිමුරය නිකුත් වේලාවේ පටන් දිල්ලියෙන් උදව් ඉල්ලා ඇත්තේ 27 වැනිදා පාන්දර 1ටය. කොමන්ඩො සෙබළු දිල්ලියෙන් පිටත්ව ඇත්තේ පාන්දර 3ටය. පාන්දර 6 වනවිට දිල්ලියට පැමිණි එම සෙබළු ටාජ් මහල් හෝටලය අසල සිට පළමු ත්‍රස්ත ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත්තේ උදෑසන 9.20ටය.

ඒ අනුව පැය 12ක කාලයක් කොමාන්ඩො සෙබළු පැමිණීමට ගතවීමත් ඒ කාලය තුළ මියගිය ජීවිත බේරාගැනීමට නොහැකිවීමත් යන කරුණු ගැන ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් මේ වන විට අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පිළිබඳ මේ වන විට හා හෝවක් නැතත්,  ඕනෑම වේලාවක එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටීමේ වැදගත්කමද මුම්බායිහි පවත්නා ආරක්ෂක ක්‍රමවේදය ගැනද මොහොතකට හෝ අවධානයෙන් පසුවීම මෙරට ආරක්ෂක අංශවලට වුවද හිතකර තත්ත්වයකි. අදාළ කාල ගණනයන් ලංකාවට වුවද ඕනෑම මොහොතක වැදගත්ය.
මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් මොහොතකට ඈත්වෙමින් මුම්බායි නගරයේ සැරසැරීමේ අවස්ථාව පසුදා උදාවූයේය. ප්‍රහාර මතකයන් ඈත් කරමින්  ආචාර්ය රාජු පතොද්කාර් මට මුම්බායිහි සුවිශේෂ පුද්ගලයන් කිහිප දෙනකුගේ නිවාස පෙන්වූයේ මගේ මතකයන් ඒ ගැන යොමු කරමිනි.

අර තියෙන්නෙ ලතා මංග‍ෂේකාර්ගේ,  ආශා බොස්ලෙගෙ නිවස. තව ‍පොඩඩකින් මම පෙන්වන්නම් මුකේෂ් අම්බානිගෙ ගෙදර. අම්බානි කිව්වම මුළු ලෝකෙම දන්නවානේ. රිලයන්ස් ගෲෆ් එක අද ලෝකයේ සමාගම් 500කට වැඩි ගණනක හිමිකම් කියනවා. යැයි ආචාර්ය රාජු පතොද්කාර් කීවේය. මොහොතක් ගතවීමට පෙර ඔහු මට අර තියෙන්නෙ අර අර යැයි අම්බානිගේ නිවස පෙන්නුවේය.

මේකට නිවසක් කිව්වොත් අපි ඉන්න ගෙවල්වලට මොකද්ද කියන නම යැයි මම ආචාර්ය රාජුගෙන් විමසුවේය. ඔහුගේ කම්මුල් පිම්බි සිනාව උතුරා යන්නට විය. තවත් මොහොතකින් ලෝක උරුම එලිපන්ටා කේව් (ගල් ගුහාවක පිහිටි පුරාණ ශිව දේවස්ථානයක්) නැරඹීමට මුහුදු ගමනක යෙදෙන්නට නියමිත විය. මා ඇතුළු මාධ්‍ය කණ්ඩායම විශාල බෝට්ටුවක නැගී කිලෝමීටර් දහයක් ඈතින් පිහිටි එළිපන්ටා කේව් දක්වා ගමන් ඇරඹීමු. මුහුදට ගොස් මුම්බායි නගරය දෙස බැලූ විට දෑස පෙනෙන තෙක් මානය පුරාවට පෙනෙන්නේ ගොඩනැගිලි තීරයකි.

මේ ගොඩනැගිලිවල කියාපාන ව්‍යාපාරික ලෝකය පළල්ය. අම්බානිගේ මුම්බායි ඉන්දියන්ස් නම් ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට අමුතුවෙන් මතක් කළ යුතු නැත. මුම්බායි ගිය විට නම් ඉන්දියාවේ පළලටත් වඩා මුම්බායිවල ව්‍යාපාරික ශක්තිය පළලදැයි සිතෙන තරමට එය ආර්ථික මර්මස්ථානයකි. අනෙක් අතට ආරක්ෂාව අතින් වැදගත් ස්ථානයකි. ඛනිජ තෙල් නිෂ්පාදනය සහ පිරිපහදුව මෙන්ම ඉන්දීය න්‍යෂ්ටික බලාගාර පිහිටි භූමියකි.

කොළඹ ඇවිත් බොම්බේ ස්වීට් කනවාට වඩා හොඳ නැද්ද මෙහෙදීම ස්වීට් කාලා ගියාම යැයි මම මගේ මිතුරකුගෙන් ඇසුවෙමි.

ඇයි ඒ ? ඔහු මගෙන් ඇසුවේය.
නෑ ඉතිං එහේ ගිහිං බොම්බේ ස්වීට් කන්නෙ ඇයි. අපි ඉන්නෙ බොම්බෙ නේ. යැයි කියමින් ටාජ් පැලස් හෝටලයේ මුම්බායිවලට ආවේණික රස කැවිලිවල මම රස බැලුවෙමි.

රමේෂ් වරල්ලෙගම
ඉන්දියාවේ මුම්බායි නුවර සංචාරයකින් පසු

Untitled-2 Untitled-3