පුංචි තිරයේ වගේම වේදිකාවෙත් අමතක නොවන ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ගාමිණී හෙට්ටිආරච්චි කියන්නේ. සරල චරිතයේ සිට අතිශය ගැඹුරු චරිත පරාසයන්ද ස්පර්ශ කරන ඔහු නිරන්තරයෙන් රූපවාහිනී තිරය හරහා ඔබට මට මුණගැහෙන සොඳුරු කලාකරුවෙක්. රංගන ජීවිතේ විවිධ චරිතවලට පණ දෙන ඔහු සැබෑ ජීවිතේ මේ ගෙවන්නේ ආදරණීය සීයෙකුගේ භූමිකාව. මේ දිග හැරෙන්නේ රිවිසරසිය ඔහු සමඟ කෙරුණු පිළිසඳරකි.

මොනවද අලුත් තොරතුරු?
අපේ දූ නිසා ආයෙම මම දැන් සීයා කෙනෙක් වෙලා. මේ දවස් නම් ගවෛන්නේ ඒ සතුටත් එක්ක.

මොනවද මේ දවස්වල කෙරෙන නිර්මාණ කටයුතු එහෙම?
අපේ ආදරේ, සිල්ලර සමනල්ලු, සිඳු කියන ටෙලි නාට්‍යවල රූගත කිරීම් සිද්ධ වෙනවා. ඊට අමතරව ශ්‍රී වික්‍රම නමින් නුර්තියක් වේදිකාවට නැගිලා තියෙනවා. මේ දේවල් තමයි නිර්මාණ කටයුතු විදියට සිද්ධ වෙන්නේ.

දැන් වේදිකාව ටිකක් මගහැරිලා වගේ?
වේදිකාවට ගොඩවෙන කාලය නම් ටිකක් අඩුවෙලා තියෙන්නේ. ටෙලි නාට්‍යවලට ගතවෙන කාලයත් එක්ක වේදිකාව වෙනුවෙන් වෙන් වෙන්න කාලය හරස් වීමක් වෙලා තියෙනවා. නමුත් හොඳ වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබුණොත් මගහරින්නෙත් නෑ.

පුංචි තිරයටයි, වේදිකාවටයි සාපේක්ෂව සිනමාව තුළ ඔබව දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්?
ඔව්. මමත් ඒක පිළිගන්නවා. වේදිකා සහ ටෙලි නාට්‍ය ගත්තම අවම වශයෙන් 75-80ක්වත් මම සම්බන්ධ වෙලා ඇති. නමුත් සිනමා නිර්මාණ ඊට සාපේක්ෂව ගණනින් අඩුයි. මගේ රැකියාවත් ඇතැම් විට ඒකට හේතුවක් වෙන්න ඇති. නමුත් චිත්‍රපටත් යම් ප්‍රමාණයකට මම සම්බන්ධ වුණා.

වර්තමාන නිර්මාණ ගැන ඔබ තුළ තියෙන්නෙත් විවේචනයක්ද?
එහෙම විවේචනය කරන එකම සාධාරණ නෑ. මොකද එදත් නිර්මාණ ගැන විවේචන තිබුණා. හොඳ සහ නරක දේ හැම කාලෙටම ‍පොදුයි. අනිත් දේ තමයි හැම දේම වෙනස් වන ලෝකෙ කලාව විතරක් වෙනස් නොවී තියෙන්නෙත් නෑ. ගුණාත්මකව නිර්මාණවල තත්ත්වය පහළ මට්ටමක නම් අද තියෙන්නේ, ඒ පිටුපස නොකියූ සංකීර්ණ ගැටලුත් රාශියක් අනිවාර්යයෙන්ම ඇති.

එදා ඔබ ආපු කාලයයි අද තත්ත්වයයි ගැන මොකද හිතෙන්නේ?
ඒ වෙනස අපිට දැනෙනවා. මොකද එදා අපි ආවේ යශෝරාවය, දඩබිම, දූ දරුවෝ වැනි නිර්මාණ එක්ක. ඒවා සමාජය තුළ කතිකාවක් ගොඩනගපු නිර්මාණ. එදා විනෝදාස්වාදයම විතරක් ‍නෙවෙයි මිනිසුන්ව ආනන්දයෙන් ප්‍රඥාවට අරන් යාමයි නිර්මාණයක අරමුණ වුණේ. අදත් එහෙම නිර්මාණ නැතුවම ‍නෙවෙයි. නමුත් බහුතරය සරල විනෝදය විතරයි අරමුණු කරලා තියෙන්නේ.

කොච්චර කාලයක් වෙනවද ඔබේ කලා දිවියට?
මම හිතන්නේ අවුරුදු හතළිහකට විතර කිට්ටුයි.

ඒ කාලය තුළ ඔබට ලැබුණු චරිත ගැන ඔබ තෘප්තිමත්ද?
1970 ගණන්වල පාසල් කාලෙදිමයි මම රංගනයට එකතු වෙන්නේ. ධම්ම ජාගොඩගේ ‘වෙස්මුහුණු’ හරහා තමයි මුලින්ම මම ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙන්නේ. ඉතින් මට මේ දක්වාම විවිධ චරිත තුළ මගේ රංගන පරාසය විහිදවන්න අවස්ථාව ලැබුණා. නමුත් මම හිතනවා ඇතැම් චරිත මට ගිලිහුණා. මීට වඩා යමක් කරන්න තිබුණා කියන හැඟීම මට තියෙනවා.

ඔබත් එක්ක ක්ෂේත්‍රයට පිවිසි සමකාලීනයන් ගැන මතක් කළොත්?
දීපානි සිල්වා, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, එඩ්වඩ් ජයකොඩි, පරාක්‍රම නිරිඇල්ල යන පිරිස් ඒ කා‍ලේ මගේ සමකාලීනයෝ හැටියට මතක් කරන්න පුළුවන්. අද වෙනකොට ඉතින් එදා ආපු සෑහෙන පිරිසක් ජීවතුන් අතර නම් නැහැ.

වෙනත් රැකියාවක නියැළෙමින් රඟපාන එක පහසු දෙයක්ද?
ඒක ඇත්තටම අපහසු කාර්යයක්. ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ තාක්ෂණික නිලධාරියෙක් හැටියටයි මම සේවය කළේ. ඉතින් ඒ වගකීමත් එක්ක ගත කරපු කාලය හරිම කාර්ය බහුලයි.

රැකියාවේ අත්දැකීම් රඟපෑමට යොදාගත් අවස්ථාත් ඇති නේද?
ඔව්. රැකියා ස්ථානයේ මා යටතේ සේවය කළ පිරිසක් හිටියා. ඔවුන් මානව සබඳතා පවත්වන ආකාරය, මිනිස්සු එක්ක ගනුදෙනු කරන ආකාරය, ආදරය කරන හැටි, කරුණාව දක්වන හැටි ඒ වගේම යම් යම් අකටයුතුකම්.. කියන මේ හැම දෙයක්ම මම විවිධාකාරයෙන් දකිනවා. ඉතින් කලාව තුළ ආදරණීය චරිත, කපටි චරිත මා තුළින් ගොඩනැගෙනකොට ඒ අත්දැකීම් අනිවාර්යයෙන්ම මට හේතුවක් වුණා.

දුවත් රඟපාන්න එන්න අහනකොට බයක් එහෙම හිතුණෙ නැද්ද?
එහෙම බයක් හිතුණේ නැහැ. මොකද කලාව කියන්නේ හරි සුන්දර තැනක්. අසාධාරණකම් සහ වැරදි නැතුවාම ‍නෙවෙයි. නමුත් තමන් හරියට ඉන්නවා නම් ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ නිසාම දුවට විරුද්ධ වෙන්න තරම් මට හේතුවක් තිබුණේ නැහැ.

කලා පවුලක්නෙ ඔබට තියෙන්නේ. නිදහස් වෙලාව පවු‍ලේ අයත් එක්ක කොහොමද ගත වෙන්නේ?
බිරිඳත් නාට්‍ය කලාවට සම්බන්ධ කෙනෙක්. ඇය නාට්‍ය කලාව පිළිබඳ ගුරුවරියක්. ඒ වගේම අපේ පුතත් වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂණය කරන කෙනෙක්. ඉතින් දූයි මායි කොහොමත් කලාවට සම්බන්ධයි. නිදහස් වෙලාවටත් කලාව ගැන අපි කතාබහ කරනවා. ඒ වගේම විනෝද වෙන්නත් ඒ කාලය වෙන්කර ගන්නවා.

මුනුපුරත් දවසක රඟපානවා දකින එකද සීයගේ හීනේ?
ඇත්තටම ඔව්. හැබැයි මෙහෙමයි. දරුවෝ තුළ තියෙන්නේ විවිධ ප්‍රතිභාවන්. ඒ හරහා ඔවුන්, ඔවුන්ට සුදුසු ක්ෂේත්‍රය මොකක්ද කියලා තෝරා ගනීවි. නමුත් යම් ප්‍රමාණයකට ඔවුනුත් කලාවට යොමු වෙනවා දකින්න මම කැමතියි. ඒ වගේම ඒ යොමුවීම ඔවුන්ටත් ජීවිතේ සැහැල්ලුවෙන් විඳින්න හේතුවක් බවට පත්වේවි.

නිර්මාණකරණයට යොමු වෙන්න අදහසක් නැද්ද ඔබට?
බොහෝ දේවල් නම් කරන්න හිතාගෙන ඉන්නවා. නමුත් ආර්ථිකය කියන දේ ඒ හැම තැනදිම හරස් වෙනවා. ඉස්සර වගේ ‍ලේසි නෑ අද කා‍ලේ යමක් කරනවා කියන එක. මුදල මතමයි අද සියල්ල තීරණය වෙලා තියෙන්නේ. නිර්මාණය පස්සට ගිහින් මුදල ඉස්සරහට ආපු යුගයකනේ අපි අද ඉන්නේ.

ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු?
දාස්පෙති නමින් නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයකටම රංගනයෙන් සම්බන්ධ වුණා. ඉදිරියේදී ඒ නිර්මාණත් දැකගන්න අවස්ථාව ලැබේවි.

නදුනි ආරියවංශ

sdf