උදුම්බරා කියන්නේ කැපවීම ආත්ම ශක්තිය වගේම අභියෝග ජයගත හැකි දක්ෂ නව යොවුන් තරුණියක්. උදුම්බරා චිත්‍රපටයේ උදුම්බරා චරිතයෙන් ඔබට සමීප ඇය  නමින් නදීශානි. මේ ඇගේ කුළුඳුල් සිනමාගමනයයි. ඒ නිසාම මේ ඉඩ ඇයට වෙන් කළා.

*  නදීශානිට වඩා උදුම්බරා ජනප්‍රියයි නේද?
ඔව්. ඇත්තට හොඳයි. ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ.

* නදීශානි කොහොමද උදුම්බරා වෙන්නේ?
ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරන වෙලාවක සුසන්තිකා ජයසිංහ මිස් මට ඇවිත් කිව්වා මෙහෙට ඉන්දියන් අධ්‍යක්ෂවරයෙක් ඇවිත් ඉන්නවා ක්‍රීඩා චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඔයා කැමතිද කියලා.  මම එකපාරම කැමති වුණේ නැහැ. අම්මගෙන් තාත්තගෙන් අහල කියන්නම් කියලා.

* ඔවුන්ගෙන් අවසරය ලැබෙනවද නදීශාට උදුම්බරා වෙන්න?
නැහැ. ඒ දෙන්න කිව්වේ ඔයා කැමති නම් කරන්න කියලා.

* මෙවැනි චිත්‍රපටයකට මුලින්ම කතා කරද්දි චකිතයක් දැනුණේ නැද්ද?
මට ‍පොඩි අමුත්තක් දැනුණා. මොකද මගේ ක්ෂේත්‍රය වෙනස් නිසා. නමුත් මට හිතුණා මට කරන්න පුළුවන් කියලා. ඒකයි මම මේ චරිතය භාරගත්තේ. මම ‍පොඩි කා‍ලේ රංගනයට සම්බන්ධ නොවුණත් අවුරුදු උත්සවවලදී විකට ඇඳුම් තරගවලට ඉදිරිපත්වෙලා තියෙනවා.

* මුලින්ම කැමරාව ඉස්සරහට යද්දි දැනුණු හැඟීම මොන වගේද?
අමුතුයි. මමත් ක්‍රීඩා කරන නිසා ලොකු විශේෂයක් දැනුණේ නැහැ. හැමෝම මට ගොඩක් උදව් කළා.

* නදීශානියි උදුම්බරා අතරයි සමානකම් තියෙනවද?
ඔව්. අභියෝග භාරගැනීම, කැප කිරීම වගේ දේවල් තියෙනවා. නමුත් උදුම්බරාගේ ජීවිතය එයාට අම්මයි තාත්තයි එයාගේ තැනට උදව් කරන්නෙ නැහැ. නමුත් මට අම්මයි තාත්තයි ගොඩක් උදව් කරනවා.

* පුංචි කා‍ලේ රංගනයට කැමැත්තක් තිබුණේ නැද්ද?
එහෙම නැහැ. ‍පොඩි ‍පොඩි දේවල්වලට සහභාගි වුණත් රංගනයට ලොකු කැමැත්තක් මගේ තිබුණේ නැහැ.

* දැන් රංගනයට දිගටම සම්බන්ධ වෙනවද?
එකකට කතා කළා. ඒත් තවම භාරගන්නවද නැද්ද කියලා හිතලා නැහැ. පිටපත හොඳ නම් භාරගන්නවා.

* ගෙදරින් කැමතිද ඔබ දිගටම රංගනයේ යෙදෙනවට?
හොඳ දෙයක් කරන්න කියලයි අම්මයි තාත්තයි නිතරම කියන්නේ.

* චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර නදීශානිට ලැබුණේ මොන වගේ සහායක්ද?
ගොඩක්ම ලොකු සහායක් ලැබුණා. විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි සර් මේ වෙලාවේ මතක් කරනවා. මොකද සර්ගෙයි, මගෙයි තමයි ගොඩක් රූගත කිරීම් තිබුණේ. ඒ හැම වෙලාවකම මට ගොඩක් උපදෙස් දීලා ගොඩක් උදව් කළා. ඒ වගේම විශේෂයෙන් ජයනි සේනානායක, සරත් කොතලාවල. ජනක කුඹුකගේ මට ගොඩක්ම උදව් කළා.

* ඔබ රංගනයට පිවිසෙන්නේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින්. ඒ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක්ම සතුටුයි. මේ අවස්ථාව හැමෝටම ලැබෙන්නෙ නැහැ. මට මේ චරිතය ලැබෙන්නේ චිත්‍රපටය ක්‍රීඩාවට සම්බන්ධ නිසයි.

* ඔබත් ධාවන ශූරියක් නේද?
ඔව්. මම කෙටි දුර ධාවන ශූරියක්. ඒ අංශයෙන් මම දක්ෂතා පෙන්වලා තියෙනවා.

* ඔබ රිදී තිරයේ දකිද්දි දෙමව්පියන්ගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
ගොඩක්ම සතුටුයි. අම්මා මාත් එක්ක ෂූටින්වලට ආවට ඒ අය දැකලා නැහැ මම රඟපානවා.

* නදීශානි අනාගතයේ මොන ක්ෂේත්‍රයෙන්ද ඉස්සරහට යන්න බලා‍පොරොත්තු වෙන්නේ?
රංගනයටත් මම කැමතියි. දැන් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. මම ගොඩක්ම කැමති ව්‍යාපාර පැත්තට. ඒ නිසා මානව සම්පත් කළමනාකරණය පැත්තෙන් ඉස්සරහට යන්න බලා‍පොරොත්තු වෙනවා.

* නදීශානි විලාසිතාවලට තියෙන කැමැත්ත මොන වගේද?
‍පොඩි කා‍ලේ ඉඳන්ම මම කැමතියි ලස්සනට පිරිසිදුව ඉන්නට. ක්‍රීඩාංගණයේ අඳින ඇඳුම් වගේ ඒවාට ගැළපෙන්න සපත්තු මාරු කරනවා.

* රූපය ගැන දක්වන උනන්දුව මොන වගේද?
ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ගොඩක්ම අව්වේ තමයි ඉන්නේ. පිරිසිදුව ඉන්න තමයි නිතරම උත්සාහ කරන්නේ.

තිළිණි කරුණාරත්න

29872683_1809010925787038_1923968267035856193_o 43677227_352122022192941_810859168008241152_n