සිංහල චිත්‍රපට කර්මාන්තය ආරම්භ කළේ ද්‍රවිඩ ජාතිකයන් විසිනි. ඉන් වසර 27 කට පසු ලාංකික මුස්ලිම් ජාතිකයකු වූ සුබයිර් මාකීන් විසින් “හදවත් නැත්තෝ” නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ ය.

ඒ. ජේ. ද සොයිසාගේ කතාවක් අනුව පුණ්‍යා බුලත්සිංහල දෙබස් ලියූ අතර තිර නාටකය ලීවේද  සුබයිර් මාකීන් ය.
පුණ්‍යා බුලත්සිංහල විසින් සිනමාවට අලුත් නළුවන් දෙදෙනකු හඳුන්වා දුන්නේය. ඒ විල්සන් කරුණාරත්න සහ නිහාල් සිල්වාය. විල්සන් කරුණාරත්න මේ වන විට විල්සන් කරු නමැති දක්ෂ සටන් නළුවෙකි.

විකට චරිතවලට කොටු වී සිටි දොන් සිරිසේන පළමුවරට වෙනස් විදියේ චරිතයක් (ගණිකා නිවාසයක අයිතිකරුවකු ලෙස) රඟපෑවේය. ඔහුගේ විකට ස්වරූපය වෙනස් කරමින් ගණිකා නිවසක අයිතිකරු ලෙසින් වෙස් ගැන්වීම උදෙසා වේෂ නිරූපණ ශිල්පියා ඔහුගේ මුහුණට ලොකු නාසයක් දැමූ අතර මුහුණට අසික්ෂිත පෙනුමක් දී තිබුණි.

සිංහල සිනමාවේ දක්ෂතම නළු නිළියන් වූ ඩොමී ජයවර්ධන, රොබින් ප්‍රනාන්දු, ඔස්වල්ඩ් ජයසිංහ, නෙල්සන් කරුණාගම, නීටා ප්‍රනාන්දු, ශාන්ති ‍ලේඛා, ලිලියන් එදිරිසිංහ, දෙනවක හාමිනේ රඟපෑ අතර හඳුන්වා දුන් නළුවන් වූයේ විල්සන් කරුණාරත්න සහ නිහාල් සිල්වාය.

මැණිකා ධනවත් නිවසක මෙහෙකාරියකි. එම නිවස අයිතිකාරියගේ පුතා වික්‍රම පිටරටක සිට පැමිණ සිටියදී දිනක්  මව නිවසේ නැති අතරේ මැණිකාව දූෂණය කරයි. ඔහුගේ මව මැණිකාව ගෙදරින් පන්නා දමයි. පාරේ යන ඇයව සයිමන් නමැත්තකු ගෙදරට කැඳවාගෙන ගොස් ගණිකා වෘත්තියෙහි යොදවයි. නගර ශෝබනියක් වූ ඇයට විලිසොන් නමැති වරායේ සේවය කරන කම්කරුවකු මුණගැසෙයි. ඇගේ කතාව අසන ඔහු ඇය විවාහ කරගෙන වෙනත් ප්‍රදේශයකට යයි.

මේ ගැන කිපෙන ගණිකා නිවාසය අයිතිකරුගේ බිරිඳ තම සැමියාට ඇය කෙලෙස හෝ සොයාගෙන එන ලෙස දන්වයි. සයිමන් තම සගයන්ට මේ බැව් දන්වයි. සගයන් ඔවුන් සොයා යද්දී අතරමගදී විලිසොන් හමුවෙයි. ඔවුහු ඔහුට පහර දී මරා දමයි.

මැණිකා ජීවනෝපාය සඳහා සිඟමනට වැටෙයි. පාරක් පාරක් ගානේ ඇවිදිමින් සිටි ඇය කොළඹට ද එයි. සයිමන් ඇයව දැක ලුහුබඳියි. ඇය දුම්රියකට පැන මිය යන අදහසින් දුම්රිය මාර්ගයේ දුවද්දී බුදුරුවක් දකියි. මියයන ච්ෙතනාව අතහැර දමා බුදුසරණ පතන ඇය දසසිල් මාතාවක් වෙයි.

හදවත්නැති මිනිසුන් තේමා කරගෙන ඒ. ජේ. ද සොයිසා කතාව ලියා ඇති අතර සාමාන්‍යයෙන් වරාය කම්කරුවන් සිත්පිත් නැති දඩබ්බර අය ලෙස සලකතත් මෙහි විලිසොන් නමැති කම්කරු හිත උණුවෙන සාමාන්‍ය පෙළේ හොඳ කම්කරුවෙක් ලෙස හඳුන්වා දෙයි. මැණිකාගේ ජීවිත කතාව ඇසීමෙන් ඇයව විවාහ කර ගත්තේ එබැවිනි.

මෙයට සමාන චිත්‍රපට දෙකක් ඒ වන විට තිරගතව තිබිණි. ඒ “මොකද වුණේ” සහ “හත් දින්නත් තරු”ය. එහෙත් මෙම චිත්‍රපටය නැරඹූ සංඛ්‍යාව වැඩි වූ අතර කොළඹ ගාමිණී සිනමාහ‍ලේ පමණක් දින 56 ක් තිරගත විය.

(මේ වන විට ගාමිණී සිනමාහල නැත)
බොහෝමයක් චිත්‍රපටවල වාණිජමය පැත්ත බලා අමිහිරි වේගවත් සංගීතය ඇතුළත් කර තිබුණද “හදවත් නැත්තෝ” ඉන් බැහැරව ඇතැයිද අනවශ්‍ය කොටස් අඩුකර කතාව ගලා යාමට සැලැස්සවීම “අගේ කළ යුතු” බවත් විචාරකයන් පවසා තිබිණ.

චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්ලවත්තේ සැපයර් සිනමාහ‍ලේ පැවැත් වූයේ “‍පොලිස් සුබසාධක සංගමයට ආධාර පිණිසය” එසේම චිත්‍රපටයේ නිෂ්පාදක, අධ්‍යක්ෂ ඇතුළු නළු නිළියන් සියලු දෙනා එම දර්ශනය නැරඹුවේ ප්‍රවේශපත්‍ර රැගෙන වීමත් විශේෂිත ආදර්ශමත් ක්‍රියාවක් විය.

මෙහි නිෂ්පාදක ස්ටැන්ලි ජයසූරියගේ ඇරයුම මත රුක්මණී දේවිය පසුබිම් ගායනා කළාය. සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් පෙරේරා, ටෝනි හසන් සහ මොහොමඩ් සජිත් සෙසු පසුබිම් ගායන ගායිකාවන් විය. මොහොමඩ් සාලි සමග ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතය සැපයීමත් විශේෂත්වයක් විය.

කොළඹ වරායට කිට්ටුව ඇති යෝක් වීදියේ කාර්ගිල්ස් ගෙඩනැගිල්‍ලේ දී රාත්‍රීකාලයේ දී වැඩිපුර දර්ශන රූගත කළේ ඩෙනල්ඩ් කරුණාරත්නගේ කැමරාවෙනි.ගණිකා නිවාසයේ අයිතිකරුගේ ගෝලයා ලෙස මෙහි දෙබස් ලියූ පුණ්‍යා බුලත්සිංහල කිහිලිකරුවක ආධාරයෙන් ආබාධිත පුද්ගලයෙක් ලෙසින් මැවූ චරිතය විශිෂ්ටය.

මැරයා ගමට යන අතරමග රබර් වත්තක දී විලිසොන් හමු වී දෙදෙනා අතර ඇතිවන සටනින් පිහියෙන් ඇන විලිසොන් මරා දමන දර්ශනය මාවනැල්‍ලේ රබර් වත්තකදී කැමරාගත කර තිබූ අතර එහි ඩොනල්ඩ් කරුණාරත්න විසින් ආලෝකය පාලනය කරමින් සහ කැමරාගත කර තිබූ අයුරු කදිම යැයිද එම දර්ශනය නැරඹූ ප්‍රේක්ෂකයන් කම්පාවට පත් වූ අන්දම තමන් දන්නේ යැයි වරක් පුවත්පත් සාකච්ඡාවකදී විලිසොන් චරිතය රඟපෑ රොබින් ප්‍රනාන්දු පවසා තිබිණ.

ඔස්කා මෙන්දිස්