ආලෝකා උදපාදි චිත්‍රපටය යළිත් සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව්. ඇත්තටම ඒ ගැන සතුටක් තියෙන්නේ. මෙවර අපට සම්මාන හයක් ලැබුණා. හොඳම සටන් අධ්‍යක්ෂණය, හොඳම අංග රචනය, ජනප්‍රියම චිත්‍රපට ගීතය, නැගී එන නළුවා, හොඳම පරිගණක දෘශ්‍ය ප්‍රයෝග, හොඳම කලා අධ්‍යක්ෂණය යනාදී අංශ ගණනාවක්ම සම්මානයට ලක්වුණා.

මේ වන විට සම්මාන කීයක් චිත්‍රපටය වෙනුවෙන් ලැබුණද?
මම හිතන්නේ මේ වන විට සම්මාන තිහකට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.

මේ චිත්‍රපටය නිර්මාණයේදි ඔබ හිතුවද මේ වගේ ඇගයීමකට ලක්වෙයි කියලා
එහෙම නම් නැහැ. අපි නිතරම බැලුවේ අපිට ලැබිලා තියෙන උපරිම සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න. අපි බැලුවේ හැම අංශයක්ම උපරිමෙන් කරන්න. අපි හිතුවේ නැහැ ආලෝකා උදපාදිවලට මේ වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලාවත්.

චිත්‍රපටය නිර්මාණයෙන් පසුව වත් සම්මාන ගැන අදහසක් තිබුණේ නැද්ද?
තිබුණේ නැහැ කීවොත් බොරු. අපිට චිත්‍රපටය නැවත බලද්දි හිතුණා මේ අංශවලට සම්මාන ලැබෙයි කියලා.

ඔබ බලා‍පොරොත්තුවෙන් සිටි අංශවලට සම්මාන ලැබුණද?
ඒක ඇත්තටම හිතාගන්න බැහැ. ජූරියෙන් ජූරියට වෙනස්. ඔවුන්ගේ තීරණය තමයි අවසානය තීරණය වෙන්නේ. කනගාටු හිතුණු තැන් නොතිබුණාම නොවේ. හම්බ වුණු සම්මාන ගැන සතුටු වුණා. නොලැබුණු ඒවා ගැන දුක්වුණේ නැහැ. නමුත් අපේ කණ්ඩායම කතා වුණා එක සම්මාන උළෙලකදී ඇගයීමකට ලක්වුණ ඒවා අනෙක් උළෙලවලදි ඇයි නිර්දේශ නොවුණේ කියලා. සම්මාන උළෙලවල් හතරෙම අපට ලැබුණේ වෙනස් ප්‍රතිඵල හතරක් විතරයි.

ඉතිහාස කතා මූලික කරගෙන නිර්මාණය කරන නිර්මාණවලට එල්ල වන විවේචන වැඩියි නේද?
මම හිතන්නේ ඉතිහාසය කවුරුත් සැබැවින් දැකලා නැහැ. අපි හොයාගන්නේ මූලාශ්‍රගත කරුණුවලින්. ඒත් හැම දෙයක්ම මූලාශ්‍රවල නැහැ. එතැන ලොකු හිඩැසක් තියෙනවා. ඒ හිඩැස අපි ආයුධයක් කරගෙනයි නිර්මාණයක් කරන්නේ.

ඔබේ නිර්මාණවලට රංගන ශිල්පීන් තෝරා බේරා ගැනීමේදී ඔබ මොනවද සැලකිලිමත් වෙන්නේ?
අපි චරිතවලට නළු නිළියන් තෝරාගත්තේ ඒ ඒ චරිතවල තියෙන පෞරුෂමය ලක්ෂණත් එක්ක. චිත්‍රපටයේ චරිතවලට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් අයයි මේ චරිත සඳහා තෝරාගන්නේ. අපිට ඔවුන්ගේ පුද්ගලික ජීවිතය, චිත්‍රපට චරිතයට වැදගත් වුණේ නැහැ. නමුත් සමහර රජ කතාවලට වැදගත් වෙන්න පුළුවන්.

මොනවද ඉදිරි නිර්මාණ කටයුතු?
මම දෙවැනි චිත්‍රපටය නිර්මාණය කළා. එය නමින් ආයු. දැන් එහි පසු නිෂ්පාදන කටයුතු කරගෙන යනවා.

කොහොමද ඔබට චිත්‍රපට නිර්මාණකරණයට අඩිතාලම වැටෙන්නේ?
ගෙදර ආභාසය තමයි. මගේ තාත්තා වෘත්තීය නීතිඥයෙක් වුණාට ඔහු තුළ කලාව තිබුණා. ඔහු වෘත්තිය අතහැරලයි කලාවට එන්නේ. නිතරම අපේ ගෙදර තිබුණා කලාව කියවීම. තාත්තා චිත්‍රපට, ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් වෙද්දි අයියා හොඳ පාඨකයෙක් වුණා. අයියයි තාත්තයි අතර කලාව පිළිබඳ මතවාද නිතර ඇතිවුණා. මේ හැම දෙයක්ම මම ග්‍රහණය කරගත්තා. අයියත් පරිගණක තාක්ෂණය වෘත්තිය කරගත්ත කෙනෙක්. ඔහුගේ හැම වැඩක්ම මට සාමාන්‍ය දෙයක් වුණා. මටත් හිතුණා ඇනිමේෂන්වලට පෙළඹෙන්න. ‍පොඩි කා‍ලේ බලපු තෝයි ස්ටෝරි, ජුරාසික් පාක් නිසා මට හිතුණා කොහොමද අජීවී වස්තු සජීවීකරණය කරන්නේ කියලා. ඒ නිසයි මම එය හදාරන්නේ. එය හදාරන අතරතුර තමයි මට ගොඩක් යාළුවෝ මුණ ගැහුණෙ. එතැනින් තමයි ආලෝකා උදපාදි චිත්‍රපටය ගොඩනගන්න අඩිතාලම වැටෙන්නේ.

වර්තමානයේ සමාජය යහපත් කරන්න කලාකරුවගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත්ද?
සමාජ ආකල්ප දෘෂ්ටිවාදය වෙනස් කරන්න පුළුවන් තැනකද අද සිනමාව තියෙන්නෙ කියන ගැටලුව තියෙනවා. මම ඔය දේ සිනමාකරුවෙක් විදියට දැක්කට වෙන කෙනෙක්ට හිතෙන දේ වෙනස් වෙන්න පුළුවන්. ප්‍රබල බලපෑමක් කරන්න පුළුවන් තැනක චිත්‍රපට ආකෘති කිසිවක් මේ මොහොතේ නැහැ. අපේ රටේ රජය කලාව සංස්කෘතිය සලකන්නේ ද්වීතික දේවල් ලෙසයි. ඒක තමයි අපේ රටට තියෙන ප්‍රශ්න. මීට වඩා ප්‍රාථමික ප්‍රශ්න ගොඩක් තියෙනවා.

අපේ රටේ චිත්‍රපට කර්මාන්තය ගත්තත් එය ඛිෙදනීය තැනක තියෙන්නේ. මේ ගැටලු එක්ක එවැනි බලපෑමක් කරන්න තවම හැකියාවක් නැහැ. නමුත් දියුණු රටවල කලාව කියන්නේ ප්‍රාථමික දෙයක්. ඒ රටවල මිනිස්සු හරිම සංස්කෘතිකයි.

සෞන්දර්යාත්මකයි. ඒ නිසා එහි කලාකරුවන්ට හැකියාව තියෙනවා සෘජුව සමාජයට බලපෑමක් කරන්න. එතැනින් තමයි පුළුල්ව හිතන්න දියුණු මානසිකත්වයක් ගොඩනැගෙන්නේ.

මෙරට සිනමාව ගැන ඔබ තෘප්තිමත්ද?
අවුරුදු පහකට හයකට කලින් නැහැ. අද අලුත් ප්‍රවණතා තියෙනවා. ගොඩක් නවකයෝ ඉන්නවා අලුත් දේ අත්හදා බලන. මෑතකදී නිර්මාණය කරපු කෙටි චිත්‍රපට තුළින් ඒ දේ පෙන්වනවා. ඒ වාසිය අපට ලැබුණේ අපි විශ්වකරණයත් සමග. තාක්ෂණික පහසුව සුබ තැනකට පාවිච්චි කරයි කියලා හිතනවා. ප්‍රශ්න නැතුව ‍නෙවෙයි. අවුරුදු විස්සක් විසි පහක් තුළ තිබුණු ප්‍රශ්න තවම එහෙම්මමයි. අප ඉදිරිපත් කරන දේ තුළ අලුත් වෙනසක් තියෙනවා. ඒක ඇත්තටම සුබවාදී දෙයක් ලෙසයි මම දකින්නේ.

මෙවර හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සිනමා උළෙල ඔබට මගහැරෙනවා නේද
ඔව්. මගේ විවාහය තිබුණේ ඔක්තෝබර් 25 වැනිදා. ඒ නිසයි මට ඒ සම්මාන උළෙලට සහභාගි වීමට නොහැකි වන්නේ.

ඇය කොහොමද ඔබට මුණගැහෙන්නේ?
මගේ සහකාරිය වුණේ චතුරිකා නිර්මාණි. ඇයත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ගායන අංශයේ උපාධිධාරිනියක්. මගේ මිත්‍රයෙක් වන මිලින්ද තෙන්නකෝන් හරහා සම්බන්ධය ගොඩනැගෙනවා. ඔහු මියුසික් වීඩියෝවක් කරනවා. මම ඒ සඳහා උදව් කරන්න ගියා. ඒ ආපු වෙ‍ලේ තමයි අපි මුණගැහෙන්නේ.

ඇයත් කලාවට සම්බන්ධ නිසා ඔබේ වැඩවලට ලැබෙන්නේ මොන වගේ සහායක්ද?
මම ඇයට ආකර්ෂණය වෙන්නේ භාවාත්මක ප්‍රකාශනයට. ඇය මගේ අලුත් චිත්‍රපටයේ ගීතයක් ගායනා කරනවා. ඇය මට අදහස්වලින් ගොඩක් උදව් කරනවා. ඇය වෙලාවකට දෙමව්පියන්ටත් වඩා අවංකයි. මොකද ඇතැම් වෙලාවල්වලදි  දෙමව්පියන් හිත රිදෙන්න මොකුත් කියන්න කැමති නැහැ. නමුත් බිරිඳට තමයි අවංකව ‍පොල්ලෙන් ගැහැව්වා වගේ අදහස් කියන්න පුළුවන්. ඒ දේට මම කැමතියි. ඒ නිසා මගේ නිර්මාණවල වැරැද්දක් නිවැරදි කරගන්න අවස්ථාව ලැබෙනවා.

26233699_10215490679486149_8958577251116283684_o 45250672_2068633256760745_2402028934951600128_o