* මොනවද අලුත් තොරතුරු?
අලුත් චිත්‍රපටයක් වන සුනිල් සර්ගේ විජයබා කොල්ලයට ලෑස්ති වෙනවා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ එකගෙයි කෑම චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට කලින් ෂර්ලි පී. දෙලංකාව මහත්මයාගේ පාද යාත්‍රා චිත්‍රපටයට සම්බන්ධ වුණා.

* සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලයට කොහොමද ආරාධනා ලැබෙන්නේ?
අහම්බයක් කීවොත් හරි. මට දුරකථන ඇමතුමක් දෙනවා විමල් දේශප්‍රිය ආ ගිය තොරතුරු කතා කරන්න. ඔහු අහනවා මේ දවස්වල ලංකාවේ ඉන්නවද කියලා. ඔහු මට විස්තරයක් කීවේ නැහැ. නිකන් තොරතුරු කතා කළා මිසක්. ඊට දවස් කීපයකට පස්සේ ඔහු කීවා මේ වගේ චිත්‍රපටයක් එනවා කැමතිද කියලා. එහෙම තමයි චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ.

* නීලමනී කියන්නේ භාරදූර වගකීමක්. මොකද හිතුණේ
ඒ ගැන මම අහලා තියෙනවා. දැනට අවුරුදු අසූවක් පිරිලා තියෙනවා විජයබා කොල්ලය කියන නවකතාවට. ඒ දේ ගැන මම වැඩිහිටියන්ගෙන් අහලා තිබුණා. නීලමනී චරිතය මූලික කරගෙන කරන්නේ ආදර කතාවක්. එවැනි ආදර කතාවකට දායකවෙලා තිබුණේ නැහැ මම. තිරයේ ආදරයක් කරලා තිබුණේ නැති නිසා මට මේ කතාව විශේෂයි. නයනානන්ද, අසංක ගැන අහලා තියෙනවා. එවැනි චරිතයක් ලැබිම ලොකු වගකීමක්.

* කවදටද රූගත කිරීම ආරම්භ කරන්නේ?
තවම නැහැ. දෙසැම්බර් මාසයේ තමයි රූගත කිරීම් ආරම්භ කරන්න ඉන්නේ.

* නීලමනී ලෙස තිරයේ ප්‍රේමණීය චරිතයක් සඳහා මුලින්ම ආරාධනා ලැබිම නිසා හිතේ චකිතයක් ඇතිවුණේ නැද්ද?
නැහැ. එහෙම චකිතයක් දැනුණේ නැහැ. ඕනම කෙනෙක් කැමතියි විවිධ චරිත රඟපාන්න. ගොඩක් රංගන ශිල්පීන්ට ලැබෙන්නේ පෙම්වතියගේ චරිතය. මම එහෙම චරිතයක් කරලම නැහැ. ඉතින් මට ‍පොඩි ආසාවක් තිබුණා මටත් මෙවැනි චරිතයක් ලැබුණා නම් හොඳයි කියලා. දැනට අවුරුදු හතරක් වෙනවා ක්ෂේත්‍රයට ඇවිත්. එවැනි චරිතයක් ලැබිම ගැන මට සතුටක් මිසක් චකිතයක් නැහැ.

* විජයබා කොල්ලය නවකතාව කියවලා තියෙනවද?
ඔව්. මම ඒ ‍පොත කියවලා තියෙනවා. මට චිත්‍රපටයේ පිටපත කියෙව්වහමත් මට සමීප බවක් දැනෙනවා ඇතැම් අවස්ථා. ඒ, ‍පොත කියවපු නිසා කියලයි මට හිතෙන්නේ. මම ගොඩක් ආසාවෙන් ඉන්නේ මම ආදරය කරපු චරිතයකට රංගනයෙන් දායක වෙන්න.

* උසස් අධ්‍යාපනය පැත්තෙන් වෘත්තීය ජීවිතය පටන් ගන්න තවම අදහසක් නැද්ද?
ජීව විද්‍යාඥවරියක් වෙන්නයි මම උපාධිය හැදෑරුවේ. මම කැමතියි ඒ පැත්තෙන් වෘත්තිය ආරම්භ කරන්න. මගේ පළවැනි චිත්‍රපටයෙන් පසුව ක්ෂේත්‍රයේ රැඳෙන්න ලැබුණේ නැහැ. අධ්‍යාපනයට මුල්තැන දෙන්න වුණ නිසා. ඒ නිසා මම හිතුවා ටික කාලයක් කලාවට මුල්තැන දීලා කටයුතු කරනවා කියලා. ඉදිරියේ බලා‍පොරොත්තුවක් තියෙනවා දෙකම සමබරව කරගන්න. මගේ වැඩි කැමැත්ත ලංකාවේ ඉන්න. ඒ නිසා ලංකාවේ දිගටම මේ දෙකම කරගෙන යන්නයි මගේ බලා‍පොරොත්තුව.

* අධ්‍යාපනයට මුල්තැන දීපු කාලයේ නිර්මාණවලට ආරාධනා ලැබුණද?
ආරාධනා රාශියක්ම ලැබුණා. නමුත් යම් යම් හේතුන් මත මට ඇතැම් නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. සෝමරත්න දිසානායකයන්ගේ සරිගම චිත්‍රපටයට කතා කළා. බෙනට් රත්නායකයන්ගේ නෙලා චිත්‍රපටයට කතා කළා. එවැනි චිත්‍රපටවලට දායක වෙන්න නොලැබිම ගැන මම දුක්වෙනවා. දැන් කලාවට වැඩි වෙලාවක් ලබාදෙන නිසා මගේ අඩුව මකාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

* ඔබේ පෙනුම නිසාද ඉතිහාස කතාවලට ආරාධනා ලැබෙන්නේ?
අනේ මන්දා එහෙම කියන්න බැහැ. අද අපේ සිනමාවේ ගොඩක් හැදෙන්නේ ඉතිහාස කතා. ඒ නිසා වෙන්න ඇති එහෙම කතාවලට ආරාධනා ලැබෙන්නේ.

* සෙනාලි නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරනවද?
ඔව්. මම සිරි පැරකුම් චිත්‍රපටයෙන් සිනමාවට ආපු නිසා විශේෂයෙන් තෝරා බේරා ගැනීමක් කරනවා. මොකද මම කැමති නැහැ මම නිසා සෝමරත්න දිසානායක මහත්තයටත්, රේණුකා මහත්මියටත් අයියෝ කියලා හිතෙන චරිත භාරගන්න. පිටපත මගේ හිතට දැනෙනවා නම් මම ඒ චරිතය භාරගන්නවා.

* සෙනාලි වැඩි දායකත්වයක් ලබාදෙන්නේ සිනමාවටද?
මම කැමතියි විවිධ චරිත කරන්න. මාව මිනිස්සු හඳුන ගන්නේ සිනමාවෙන්. මම කලාවට ආදරය කරන්නේ ලොකු නැන්දිගේ චිත්‍රපට නිසයි. මම ගොඩක්ම ආසයි සිනමාවට. මගේ ආසාව විවිධ චරිත කරන්න ඕන නිසා සිනමාවට වගේම පුංචි තිරයේ නිර්මාණවලටත් සම්බන්ධ වෙනවා.

තිළිණි කරුණාරත්න

5a26c5c4-5bfb-42fa-ba62-94fbd496fbfc