අද සිදුවන මේ දේශපාලන පෙරළිය ලංකා ඉතිහාසයට නවතම වාර්තාවක් එකතුවීමකි. පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ආණ්ඩු පෙරළි බහුලව සිදුව ඇති මෙරට පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පරාද වීම නිසා මැතිවරණවලට යාම හා එමගින් ආණ්ඩු පෙරළී යාම සම්බන්ධ වාර්තාද අප්‍රකට නොවේ. එහෙත් ගජ මිතුරුකමින් සිටි පක්ෂ දෙකක් විරුද්ධ වීම මුල්කර මෙවන් ආණ්ඩු පෙරළියක් සම්බන්ධයෙන් මින් පෙර මෙරට ඉතිහාසයේ වාර්තා නැත. මේ පෙරළියේ නීතිමය පක්ෂය සොයා බැලීමට ව්‍යවස්ථා නීතිය දන්නා අය උනන්දු වීම, නිෂ්ඵල හෝ අනුචිත වෑයමක් නොවේ. උසාවියකදී තර්ක විතර්ක ඉදිරිපත් කර මේ පෙරළියෙහි සැබෑ නීතිමය තත්ත්වය හෙළිදරව් කිරීමද අත්‍යවශ්‍ය කාර්යයකි. කෙසේ නමුත් මේ පෙරළිය නීත්‍යානුකූලද? නැද්ද? යන කරුණ මතභේදාත්මක වීමට හේතුව, පසුගිය කාලයේ කළ ව්‍යවස්ථා සංශෝධන මගින් විධායක බලය කඩා විසුරුවා හැරීමේ ප්‍රතිඵලයකි.  රජයක් විසුරුවා හැරිය හැකි බලය ඇත්තේ ජනාධිපතිටද? නැතහොත් අගමැතිටද? ඒ කවර අවස්ථාවකද? මේ කරුණු සම්බන්ධ විවිධ පැතිවලින් තර්ක ඉදිරිපත් කළ හැකි අවිනිශ්චිත ස්වභාවයක් දැන් මේ උද්ගත කර ඇත්තේ නිශ්චිත බල අධිකාරයක් සහිතව තිබූ විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදය නමැති ජනකාන්ත සළුවට මුවා වී වියවුල් කර දැමීම නිසාය. මේ බල පෙරළිය ඔස්සේ මතුවන වැදගත් කරුණකි, රජයක අධිකාරී බලය කා සතුද? යන කරුණ නිශ්චිත කෙරෙන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවද මේ අර්බුදය අස්සේ ඉස්මතු වී ඇති ප්‍රබල කරුණකි.

ආණ්ඩු පෙරළිය දේශපාලනය, සමාජ, සංස්කෘතිකමය වශයෙන් කවර බලපෑමක් රටට, ජනතාවට උද්ගත කරයිද? යන ප්‍රශ්නය ඉහත කී නීතිමය ප්‍රශ්නයටද වඩා තීව්‍ර වූද, සංකීර්ණමය වූද ගැටලුවකි. කෙසේ නමුත් දේශපාලනයේ වම-දකුණ යනු වෙනසක් නොමැත, කොයි පැත්තට පැන්නත් එකයි, මේ කොයි පැත්තෙන් කෙරෙන්නෙත් එකම දෙයක් මේ අදහස් දේශපාලන පිනුම් අප්පුලා දීර්ඝ කාලයක සිට තදින් ප්‍රචාරය කරන ලද දූෂිත මතවාදයකි.

වැඩි දීර්ඝ අතීතයකට නොගොස් 2015 ජනවාරිවල බලයට පත් වූ ‘යහපාලන’ ආණ්ඩුව ආරම්භයේ සිට ක්‍රියාත්මක වූ ආකාරය විමසීමට ලක් කරතොත් ඉතා පැහැදිලිව එය බලවතුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ගෙන ගිය මංකොල්ලයක් බව සැම දෙනාට පැහැදිලිය.

ඒ මගින් මංකොල්ලකාගත් මුදල් සම්භාරය කොපමණද? යන කරුණ පමණක් නොව, එය බෙදාගත්තේ කවුරුන් විසින්ද? යනුද මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇත. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අද ප්‍රකාශ කරන කරුණු සැලකිල්ලට ගන්නා විට මේ මංකොල්ලය හෙළිදරව් වීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු බලවතුන් නිර්ලජ්ජී උත්සාහයක යෙදුණ ආකාරය හෙළිදරව් වී තිබේ. කඩිමුඩියේ සකස් කෙරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය බව නසන, උතුර නැගෙනහිර දෙකේ බලය වෙන් කෙරෙන, මේ නිසා එක්සත් ස්වෛරී ශ්‍රී ලංකාවක් ඉදිරියේදී බලා‍පොරොත්තු විය නොහැකි තත්ත්වයට පත් කරන මහා ද්‍රෝහී ක්‍රියාවක් සිදු වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුම පැහැදිලි කරති. රටේ ආර්ථිකය කඩා වැටීම, සාමාන්‍ය ජනයාට එදිනෙදා වේල පිරිමසා ගැනීමද අපහසු තත්ත්වයට ඇද දැමීම යන මේ පුළුල් කාරණා එකිනෙක ගත් විට පෙර පැවැති රජය කවර කාරණාවක් හේතුවෙන් හෝ ඇද වැටීම ගුණදායක විනා අපලයක් නැත.

සැබවින්ම මහා මර උගුලකින් රටත්, ජනතාවත් නූලෙන් බේරුණු අවස්ථාවක් ලෙස මෙය හැඳිනගත හැකිය. යහපාලන ආණ්ඩුවට තවත් ඉදිරියට ටික කලක් හෝ පැවතීමට අවස්ථාව සැලසුණේ නම් රට කැබලි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔවුන් සතුව ඇති පාර්ලිමේන්තු ඡන්ද බලය මගින් සම්මත කරගන්නවා ඇත.

ප්‍රතිපත්තිමය වශයෙන් සැලකුවා නම් මේ රජය බිඳ වැටෙන්නට තිබුණේ මෙයට අවුරුදු ගණනාවකට පෙරය.
මේ සමග ප්‍රකට වන වැදගත්ම දේශපාලන මූලධර්මය නම් වම, දකුණ දේශපාලන චින්තාව එක පුවරුවක සිටුවීම කෙසේවත් කළ හැකි නොවන බවයි.

ආචාර්ය රාජා ධර්මපාල