සමස්ත ලෝකයාම පුදුම කරවූ ආසියාවේ දැවැන්තම නායකයකු ලෙස මහින්ද රාජපක්ෂ නාමය සනිටුහන් වන්නේ 2009 වසරේදීය.

වසර තිහක පමණ කාලයක් මුළුමහත් ශ්‍රී ලංකාවට ඉතා කටුක දුක්බර අත්දැකීමක් මෙන්ම අඳුරු යුගයක් නිමා කරමින් කොටි ත්‍රස්තවාදය තුරන් කළ අභීත සෙන්පතියා වූයේ එවකට ජනාධිපතිව සිටි වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.

සියලුම ජාතිකයන් සියලුම ආගමිකයන් මෙරට තුළ මර බිය නොමැතිව ජීවත්වීමේ වටපිටාව බිහිවන්නේද 2009 වසරෙන් පසුවය.

මහින්ද රාජපක්ෂ මහතා එවකට ගත් තීරණ ඉතා සෘජු විය. ජාත්‍යන්තර වශයෙන් නොයෙක් බලපෑම් එල්ල වූ අවස්ථාවල ඒවාට නොබියව මුහුණ දුන්නේය. මේ සෘජු බව නිසා ඔහු ගත් තීරණ ඉතා සාර්ථක ඒවා බවට පත් විය.
යුරෝපා රටවල් මෙන්ම ලොව අනෙක් ප්‍රබල රටවල්වල බලපෑම්වලට ලක් නොවූ මෙම ජන නායකයා ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ රණකාමී දක්ෂයකු ලෙසය.

විදෙස්ගතව සිටින බොහෝ පුද්ගලයන් 2005 සිට මෙරට තුළ සිදු වූ සංවර්ධනය ගැන කතාබහ කරන්නට වූයේ කොළඹ නගරය ඇතුළු නගර රැසක්ම ඉතා උසස් මට්ටමෙන් සංවර්ධනය කිරීම සහ අධිවේගී මාර්ග මෙරට මාර්ග පද්ධතියට එක්වීම නිසාවෙනි.

එහෙත් 2015 ජනවාරි 08 සිදුවූ වෙනසත් සමග ජාත්‍යන්තරයට මෙරට තිබූ කීර්තිනාමය වෙනස් විය.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් බලා‍පොරොත්තු නොවූ අවස්ථාවක් වූයේ 2015 ජනවාරි 05 වැනිදාය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නික්ම යාමත් සමගය.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් කම්පා වූයේ රට බේරාගත් නායකයාට කුමක් වූයේද යන්න පවසමිනි.
එහෙත් 2018 ඔක්තෝබර් 26දා රාත්‍රියේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමත් සමග විදේශගත ශ්‍රී ලාංකිකයන් යළි පිබිදිණි.

ඒ ඒ රටවල වේලාවන්ට අනුව පැය කිහිපයකින් මෙම පණිවුඩය ශ්‍රී ලාංකිකයන්ට ලැබුණද ඔවුන් ඔවුනට හැකි අයුරින් මෙම සතුට විඳ ගනු ලැබිය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, මෙල්බර්න් නුවර, නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එංගලන්තයේ ලන්ඩන් නුවර, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ඇතුළු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන් සිංහල සමාජ කණ්ඩායම් ආයතනවලට රැස්ව මෙම ජයග්‍රහණය සමරනු ලැබිය.

විශේෂයෙන් ජාතික ඇඳුමෙන් සැරසුණු ඇතැමුන් කිරිබත් කමින් දේශ අභිමානී ගීත අසමින්, ගයමින් යළි ශ්‍රී ලංකාවට යහපත් කාලයක් මෙන්ම සංවර්ධිත රටක් කරා යන ගමන සාර්ථක වනු ඇතැයි කියමින් සතුටු වූහ.

බොහෝ දෙනකුගේ මතය වූයේ නැවත ශ්‍රී ලංකාවට යහපත් කලදසාවක් ඇති වන බවත් තමන්ටද ශ්‍රී ලංකාවට යා හැකි බවත්ය.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම විරුද්ධවාදී මත දරන්නන් කුමක් සඳහන් කළද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජයට මෙරට ආර්ථිකය සවිගැන්විය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.

කුවේට්, අබුඩාබි, ජෝර්දාන් ඇතුළු අරාබි රටවල සේවය කරන සිංහලයින් මෙම පෙරළිය ඉතා සතුටින් භුක්ති විඳිනු ලැබිය. එයට විශේෂ හේතුවක් වූයේ සිකුරාදා දිනයන්හි බොහෝ පිරිසක් නිවාඩු දිනයක් හැටියට සලකන නිසාවෙනි.
ඇතැමුන් ශ්‍රී ලංකා ධජය සහිත ටී ෂර්ට් පැලඳගත් අතර තවත් අය ශ්‍රී ලංකා ධජය අතැතිව කණ්ඩායම් වශයෙන් එක්රොක් වී සතුට බෙදා ගත්හ.

ලෝකයේ රටවල් රැසකින්ම ලැබුණු තොරතුරුවලට අනුව කියවෙන්නේ පැවැති රනිල් වික්‍රමසිංහ පාලනයට බොහෝ පිරිසක් අකැමැත්තෙන් සිටි බවයි. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු ඒ බැව් රිවිරට පැවසීය.
රටට අවශ්‍ය දේශීය දේ අගයන රට එක්සේසත් කරන්න රටට ආදරය කරන නායකයකු බව මෙයින් ගම්‍ය වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා සුදුසුම පුද්ගලයා බව දේශීය සහ විදේශීය වශයෙන් පුද්ගලයන්ගේ මතය වී ඇති බැව් මේ මගින් සනාථ වේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්