මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන් මගේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් බෙලිඅත්ත මහජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද්දේ මීට වසර 43කට පෙරදී එනම් 1970 මැයි 27 වැනි දින පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හත් වැනි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමත් අසුන් ගැනීමත් සිදු කළේ 1970 ජුනි 07 වැනි දාය. දිවයිනේම ළාබාල මන්ත්‍රීවරයා වශයෙන් ප්‍රථම කතාව කරන ලද්දේ ඉදිරි පස් අවුරුද්දේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන ආණ්ඩුකාරතුමාගේ රාජාසන කතා විවාදය ආරම්භ  කරමින් ස්තුති යෝජනාව ඉදිරිපත් කරමින් 1970 ජුනි 14 පස්වරු 4.07 පැයටයි. එතුමාගේ පාර්ලිමේන්තු දේශපාලන ගමන් මග ආරම්භ කරන්නේ එසේය. එය වසර 43ක් ගතවූ ඉතිහාස කතාවේ ආරම්භයයි.

හත් වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට) 1970 මැයි 27 තේරී පත්වී 1970 ජුනි 07 දිවුරුම් දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළමු වැනි රාජ්‍ය සභාව ලෙස සම්මත ආණ්ඩුවේ බෙලිඅත්ත මන්ත්‍රීවරයා ලෙස 1972 මැයි 22 සිට 1977 මැයි 18 දක්වාද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වශයෙන් 1989 මාර්තු 09 සිට 1994 ජුනි 14 වැනි දා දක්වාද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන් වැනි පාර්ලිමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වශයෙන් 1994 අගෝස්තු 25 වැනි දින සිට 2000 අගෝස්තු 18 දක්වාද ජනරජයේ හතර වැනි පාර්ලිමේන්තුවේ හම්බන්තොට මන්ත්‍රීවරයා වශයෙන් 2000 ඔක්තෝබර් 18 වැනි දින සිට 2001 ඔක්තෝබර් 10 දක්වාද ජනරජයේ පස් වැනි පාර්ලිමේන්තුවේ හම්බන්තොට මන්ත්‍රීවරයා වශයෙන් 2001 දෙසැම්බර් 19 වැනි දින සිට 2004 පෙබරවාරි 07 දක්වාද ජනරජයේ හම්බන්තොට මන්ත්‍රීවරයා වශයෙන් 2004 අප්‍රේල් 22 සිට 2010 පෙබරවාරි 09 දක්වාද තනතුරේ වගකීම් දැරුවේය.

කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් 1994-08-19 සිට 1997-06-18 දක්වාද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස 1997 ජුනි 18 සිට 2000-10-10 දක්වාද වරාය නාවික හා ධීවර අමාත්‍ය ලෙස 2001-09-14 සිට 2001-12-07 දක්වාද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස 2004-04-10 සිට 2005-11-19 දක්වාද අග්‍රාමාත්‍යවරයා ලෙස 2004-04-06 සිට 2005-11-19 දක්වාද වගකීම් දරමින් මහජන සේවාවේ යෙදුණේය.

අග්‍රාමාත්‍ය ධුරයෙන් පසු ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිවරයා ලෙස රටේත් අන්තර්ජාතිකවත් වගකීම් දරමින් ලෝක දේශපාලනයේ ඓතිහාසික යුග මෙහෙවර සිදු කළේය.

රටේ පාලකයා හා භාරකාරයා වශයෙන්ද කටයුතු කරමින් එතුමා ඉටු කළ හා ඉටුකරන සේවාව ආසියාවේ ආශ්චර්ය දක්වා සීග්‍ර ගමනක පියසටහන් වන්නේය. 43 වසරක දේශපාලන යුග මෙහෙවරේ සිහිවටන හා දායාද කර දුන් ආදර්ශයන් බොහෝය. එතුමාගේ දර්ශනය රාජපක්ෂ චින්තනයේ දර්ශනය වන්නේය. එය නමින් පළමු අදියර මහින්ද චින්තනය නම් විය. දෙවැනි පියවරේ මහින්ද චින්තන ඉදිරි දැක්ම විය.

එය මෑත දේශපාලන ඉතිහාසයේ 77 වසරක රාජපක්ෂ භූමිකාවේ ක්‍රම විකාශයයි. රාජපක්ෂ ඓතිහාසික ජානමය උරුමයයි. ජාතික දර්ශනයයි. දුරදක්නා ප්‍රඥාවන්ත දැකීමයි. ශ්‍රී ලංකාවේ ජාතික සංස්කෘතික උරුමයේ සංකේතයයි. යහපත් සාරධර්මයේ ප්‍රතිබිම්බයයි. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩ නැගීමේ ජාතික අනන්‍යතාවයි. ආර්ථික හා දේශපාලන ස්වාධීනත්වය, නිවහල් බව, අපේකම, සාමය, සහජීවනය, නිදහස හා සහනශීලී සමෘද්ධිමත් දේශයක් කරා ගොඩනැගෙන ජාතික ප්‍රබෝධයයි.

බහ තෝරන වියේ සිටම එතුමාට අසන්නට දකින්නට ලැබුණේ පියාගේ සමාජ මෙහෙවරේ ක්‍රියාකාරකම්ය. නිවසට පැමිණන අසරණ ගැමියන්ට පියා සහ මව දක්වන කරුණාව එතුමාට අත්දකින්නට හැකි විය. ගෙදර සිදුවන දේශපාලන කතාබහ මෙන්ම පියා සමග කුඩා කල සිටම ගමන් බිමන් ගිය එතුමාට සමාජ වටපිටාව ගැන මනා අවබෝධයක් ලද හැකි විය. අගමැතිවරුන් මැති ඇමැතිවරුන් නිතර ආව ගිය නිවසේ පරිසරය මෙන්ම නිවසේ නිතර ගැවසුණ විවිධ තරාතිරමේ ජනතාව සමග වැඩෙන්නට එතුමාට හැකි විය. මේ සුන්දර පරිසරය එතුමාගේ ආත්මය අවදි කරන්නට සමත් විය.

පාසල් නිවාඩුව ලද ඇසිල්‍ලේම නිවසට පැමිණෙන එතුමා තම සහෝදර සහෝදරියන්ද සමග ආදරණීය ළෙන්ගතුකමින් බැඳී ගත කළ ජීවිතය වැඩෙන්නේ මව සහ පියාගේ මනුස්සකමේ ගුණසුවඳ සමගය. දේශපාලනය හා මහාජන සේවය ජීවිතයේම අංගයක් සේ වැඩුණේ මේ පරිසරය තුළයි.

නිවැරැදි දේශපාලන තීන්දු තීරණ ගැනීමේ හැකියාව, තමා දරන මතය වෙනුවෙන් සෘජුව කැපවී පෙනී සිටීම වයස අවුරුදු 15 තරමේදීම ප්‍රකට කළ බවට තම මවගේම ප්‍රකාශිත සාක්ෂිවලින් මනාව සනාථ වේ.

තම පියාණන් දිවංගත වී වසර 9 සපිරුණු දා පැවැති ගුණසමරුව නිමිත්තෙන් නිකුත් කළ “අභිවාදන” නම් වූ ග්‍රන්ථයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තම මව මහින්ද පුතු ගැන කරන සඳහන මෙහිදී විශේෂ කොට දැක්විය හැකියි. එවකට පාසල් ගුරුවරයකු වූ පී.එච්.ජී. ප්‍රේමසිරි මහතා (දැනට විශ්‍රාමික අමාත්‍යාංශ ‍ලේකම්වරයකු) මෙය සටහන් කර ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා සමග විසිපස් වසරක් නමිනි.

“60දී මහජන එක්සත් පෙරමුණෙන් තරග කරන්න තීරණය කරපු දවසේ හිතවතුන් සමහර දෙනකුත් ඊට අකැමැත්ත පළ කළා. මහින්ද ඒකට එදා රෑ කතා වෙලා අන්තිමේ කෑමත් නොගෙන තරහා වෙලා නිදාගත්තේ. එම්.ඊ.පී. එකෙන් ආවොත් පරදිනවා කියලා එදා මහින්ද කීවේ.”

එතුමා 15 වැනි වියේ පාසල් වියේ දරුවකුව සිටිමින් එදා කී පරිදිම 1960 මාර්තු මැතිවරණයේදී තම පියා පරාද විය. මහින්ද පුතුගේ අපේක්ෂාව පරිදි 1960 ජූලි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ තම පියා ජයග්‍රහණය කළේය. මෙහිදී තම පියා සමග මෙන්ම පියා නොමැතිවද ජනතාව සමග ඡන්ද සටනට එක්වූවා මෙන්ම සමහර ගම්වල මහජන හමුවලදී ජනතාව ඇමැතීමද කළ බව ප්‍රකටය.

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යන්න ප්‍රකට කළේ එසේය. දිවයිනෙන්ම ළාබාලම මන්ත්‍රීවරයා වෙමින් රාජසන කතා ස්තුති යෝජනා මංගල කතාවෙන්ම ව්‍යවස්ථාදායකය අමතමින් ආරම්භ කළ ගමන්මගේ විවාද සම්පන්න ප්‍රකාශ කෙරෙහි පමණක් අවධානයට ලක් කළත් එතුමාගේ මෙහෙවරේ ගමන් මග තේරුම්ගත හැකිය.

“මේ රටේ ‍පොදු ජනතාව අධිරාජ්‍යවාදය අනුමත නොකරයි. ධනේෂ්වරවාදය අනුමත නොකරයි. සියලු සූරාකෑම් අනුමත නොකරයි. ජනතා රජය ඉදිරියේ ඇති ප්‍රතිගාමී කුමන්ත්‍රණකාරී අධිරාජ්‍යවාදී ධනවාදී බලවේග අප විසින් සුළුවෙන් තැකිය යුතු නොවේ. එහෙත් ඒ සෑම බාධකයක්ම බිඳ දමමින් සමාජවාදය කරා යන ගමන සහතික කරවීම සඳහා මේ රටේ තරුණ පරපුර ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නට සූදානම් බව තරුණයකු වශයෙන් මා එඩිතරව මේ ගරු සභාවේදී ප්‍රකාශ කර සිටිනවා.”

1970 ජුනි 14 නියෝජිත මන්ත්‍රී මණ්ඩල විවාදය (හැන්සාඩ්)
“අපිත් මේ චින්තනය ඔස්සේ ගමන් කරමු. බණ්ඩාරනායක අගමැතිතුමා මරා දමන ලද්දේ ප්‍රතිගාමී ෆැසිස්ට් බලවේගය විසිනුයි. දැන් අප කතා කරන්නේද ප්‍රතිගාමී ෆැසිස්ට් බලවේගය ගැනයි. එහෙත් එයට නියම විසඳුම ලැබෙන්නේ පැරැණි රාජ්‍යතන්ත්‍රය නව පන්නයේ ආයුධවලින් සන්නද්ධ කිරීමෙන් නොව මේ රටේ කම්කරු පන්තිය ප්‍රමුඛ සියලු ප්‍රගතිශීලී පන්ති සන්නද්ධ කිරීමෙනුයි.”

(1976 ජූලි 06 හැන්සාඩ්)
“අඩු වැටුප් තලයක සිටින කම්කරුවන් ලිපිකරුවන් පමණක් නොව පුවත්පත් කලාවේදීනුත් ඉන්න බව තමුන්නාන්සේට කියන්න කැමැතියි. ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය සාධාරණ වැටුපක් ලබාදීම ඔබතුමා කළ යුතුයි.”

(1989 අප්‍රේල් 01 හැන්සාඩ්)
“උතුරේ සිංහලයනුත් මරනවා. අයි.පී.කේ.එෆ්. එක ද්‍රවිඩ මුස්ලිම් ජනතාවට හිරිහැර කරනවා. ඒ වාගේම ඔවුන් අත්අඩංගුවට අරගෙන වදහිංසා දෙනවා. අනෙක් පැත්තෙන් ආයුධ සන්නද්ධ කොටස් අහිංසක ආයුධ නැති සිංහලයන් මරනවා. තමුන්නාන්සේලාට අවංක වුවමනාවක් නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න සුළු ජාතීන්ගේ ප්‍රශ්නය විසඳන්න වුවමනාවක් නැහැ. ඒවාට උතුරේ සහ නැගෙනහිර පමණක් නොවෙයි. දකුණේ ජනතාවගේත් සහයෝගය ලබාගත යුතුව තිබෙනවා. අද දකුණේ සිදුවන්නේ කුමක්ද? මේ බලතල බෙදන්න ගිහිල්ලා කවුද ඉල්ලුවේ පළාත් සභාවක් දකුණට” අද මොකක්ද සිදුවෙලා තියෙන්නේ? — මහ ඇමැතිට ‍පොලිස් බලතල දෙනවා. මෙය ඉන්දියාවේ ‍පොලිසිය වගේ වෙයි. දේශපාලන ‍පොලිසියක් ඇති කරලා ඒ මගින් තරුණයින්ගෙන් දේශපාලන විරුද්ධකාරයින්ගෙන් පළිගන්නවා.

(1989 මැයි 26 හැන්සාඩ්)

“අද රජ කර තිබෙන්නේ කැලෑ නීතියයි. අධිකරණය කෙරෙහි මහජනතාව තුළ තිබුණ විශ්වාසය රජය පසුගිය අවුරුදුවලදී විනාශ කර දැම්මා. අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට “හූ” කියා ඔවුන්ගේ තීන්දුවලට බලපාන ලෙස කටයුතු කළ රජයකට ඒවායේ අවසාන ප්‍රතිඵලය අද ලැබි තිබෙනවා. අද අධිකරණය කෙරෙහි විශ්වාසය  නැති තත්ත්වකට ජනතාව පත්වෙලා.”

“‍පෝල් පෙරේරා අමාත්‍යතුමා කිව්වා සමහර නීතිඥයින් තමන්ගේ ජීවිතවලින් පූජා පැවැත්වූවා කියාත්. (බාධා කිරීමක්) ඔව් ‍පෝල් පෙරේරා අමාත්‍යතුමාගේ කටින්ම මේක කිව්ව එක හොඳයි. මොකද අධිකරණයට ගල් ගහපු උදවිය ගැන එතුමා හොඳට දන්න නිසයි. අතුරුදන් වන අහිංසක ජනතාව වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිට හබයාස් කෝපුස් එකක් ඉල්ලන්න නීතිඥයකු සොයාගන්න අද පුළුවන්කමක් නැහැ. එවැනි නඩුවලට පෙනී සිටි නීතිඥ මහත්වරුන් දෙතුන් දෙනකු දැනටමත් ඝාතනය කරලා. ඊයේ ගම්පහදීත් එවැනි නීතිඥ මහත්මයකු මරා දමා තිබෙනවා.”

(1989 ඔක්තෝබර් 04 හැන්සාඩ්)

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් සේවකයින් 3000ක් පමණ පසුගිය කාලයේ රැකියාවලින් අස් කළා. ඒ අය එසේ අස් කරද්දී ඔවුන්ට ‍පොරොන්දු වුණා පුරප්පාඩු ඇති වූ විට ආපසු ගන්නවාය කියා. ඒ අතරතුර දැනට අලුතෙන් අය අරගෙන තියෙනවා. මෙය නවත්වන්න පුරප්පාඩු සඳහා අර අස් කළ අය ගන්න බැරි නම් සුදුසුකම් තියෙන දරුවන් ගන්න. ඔබතුමා පෞද්ගලික කොම්පැනිකාරයින්ට කොන්ත්‍රාත් දීම වහාම නතර කරන්න. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එදා තිබුණා වගේ රටට ප්‍රයෝජනවත් ආයතනයක් බවට පත්කරන්න.

(1989 දෙසැම්බර් 18 හැන්සාඩ්)

අද මොන පාරේ කොතැන බිම්බෝම්බ තිබෙනවාද කියන්න බැහැ. බිම් බෝම්බයට පමණක් නොවෙයි අද අපට හතුරන්ගේ වෙඩි පහරවලටත් ලක්වෙන්න සිදුවෙලා තිබෙනවා. අද කොයි පැත්තෙන් තුවක්කුව දික් කරයිද කියලා කියන්න බැරි තත්ත්වයක් තිබෙනවා. තමුන්නාන්සේලා මේවාට වගකියන්න ඕනෑ. උකුස්සා මේ අයව මැරුවාද “ප්‍රා” වලින් මැරුවාද කළු බලල්ලු මැරුවාද කියලා දන්නේ නැහැ. නමුත් අසරණ ජීවිත ගණනාවක් එක දවසකින් මිය ගිහිල්ලා තියෙනවා. ගිය සුමානේ ඇතුළත මාතර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා මරා දමලා තිබුණා. තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන්නට අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණට මේක වාසියක් වෙලා තියෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් මරණ ඒවා ගැන ඇස් දෙක වහගෙන රජයෙන් අනෙක් ප්‍රදේශවල මරණ ජීවිත ගැන පමණක් කතා කරන්නේ නැහැ. දෙපැත්තටම විරුද්ධව කතා කරන්න අපට ශක්තිය තියෙනවා. සාධාරණය වෙනුවෙන් ඇත්ත යුත්ත කියන්න අපි බය නැහැ.

(1989 දෙසැම්බර් 22 හැන්සාඩ් )

“අද පළාත් සභාවලට පත්වී සිටින්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ 3 වැනි පෙළේ නොව 4 වැනි පෙළේ පාක්ෂිකයෝයි. මංකොල්ලවලට අසුවුණ දූෂණවලට අසුවුණ ගැහැනු ළමයි අරගෙන ගිහින් දූෂණය කර තවමත් ප්‍රශ්න කරමින් ඉන්න මේ වගේ උදවිය (බාධා කිරීම්) තමුන්නාන්සේලාට කෑගහන්න පුළුවන් පළාත් සභාවල මන්ත්‍රීවරු ගැන. තමුන්නාන්සේලා දන්නවා මම කියන්න යන්නේ නැහැ.”

මානව අයිතිවාසිකම් ගැන අද හඬනගන ඇතැම්හු එදා ආණ්ඩු බලයේ සිටියදී කළ කී දේත් පළාත් සභාවලින් වර්තමානයේ උද්ගත වන විනාශකාරී අර්බුදකාරී සමාජ විරෝධී බෙදුම්වාදී  විෂම චක්‍රය පිළිබඳ මුල සිටම එතුමා දැරූ අදහස් මේ කෙටි උපුටනයන්ගෙන් පමණක් තේරුම් ගත හැකියි.

රටේ සංවර්ධනය අනාගත දැක්ම හා එතුමාගේ දර්ශනය ගැන මීටත් වඩා ගැඹුරින් අධ්‍යයනය කිරීමට පසුගිය පාර්ලිමේන්තු නිල වාර්තා – හැන්සාඩ් හැදෑරීමෙන් කළ හැකිවෙනු ඇත.

අමරසිංහ කුඩගල්ආර