එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ ඒකායන ඉලක්කය වූයේ ඊළාම් රාජ්‍යය ගොඩනැගීමය. ඊලාම් සිතියමට අනුව නැගෙනහිර මෙන්ම යාපනය අර්ධද්වීපයද ප්‍රභාකරන්ට වැදගත් වූයේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද විශ්‍ලේෂකයන්ට අනුව එම ඉලක්කය සඳහා යෑමට නම් කොටි සංවිධානයට සන්නද්ධ ශක්තිය ඉහළ නැංවීමට සටන් විරාමයකට යෑමටද අවශ්‍ය වූයේය. ඒ, තාවකාලික විරාමයක් උදෙසාය.

2000දී අලිමංකඩ කඳවුර අල්ලාගෙන යාපනයට යෑමට සූදානම් වන විට ප්‍රභාකරන්ට සිටියේ හාරදහස් හාරසීයක් පමණ වූ සන්නද්ධ පිරිසකි. ඒ වනවිට බහුතරයක් සිටියේ හමුදාව සමග සටන්වලින් මියගොස් හා තුවාල ලැබූවන්ය.
එල්.ටී.ටී.ඊ.ය 2000 වසරේ යාපනය අල්ලන්නට යන විට ප්‍රභාකරන්ගේ ඉලක්කය වූයේ යාපනයේ තිබූ කාලතුවක්කු අවි සියය හා යුද ටැංකි සියය අත්පත් කර ගැනීමය. එදා හමුදාව සතු එම කාලතුවක්කු හා යුද ටැංකි එල්.ටී.ටී.ඊ.ය  අතට පත්වූයේ නම් කොටි සංවිධානයට තමිල්නාඩුව වුවත් ඇල්ලීමට තරම් ශක්තියක් ලැබෙන්නේය.

එදා අලිමංකඩ මෙහෙයුමේදීත් කොටි නායකයන්ගේ පණිවුඩ හුවමාරුවලින් කියැවුණේ තව සාමාජිකයන් දෙදහසක් සිටියා නම් යාපනය අල්ලන බවය.

මේ සියලු අඩුපාඩු සකස් කරගෙන ඊළාම් රාජ්‍ය සිහිනය යථාර්ථයක් කරගන්නට කොටි සංවිධානය එවකට බලය පැවැති රනිල් වික්‍රමසිංහ රජය සමග 2002 පෙබරවාරි 22දා සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන්නේය.

තම පිරිස් බලය, සංවිධාන ශක්තිය, අරමුදල් රැස් කිරීම හා ජාත්‍යන්තර සහාය ගැනීම යන උපායමාර්ගික සැලසුම් ඇතිව කොටි නායකත්වය මෙම සටන් විරාම ගිවිසුමට ස්වකීය එකඟතාව පළ කළේය.

නෝර්වේ ප්‍රමුඛ රටවල්වල සටන් විරාම නිරීක්ෂකයන් මෙරටට ගෙන්වා ඇරඹි සටන් විරාම ගිවිසුමට මුවාවෙන් රජයේ පාලන ප්‍රදේශවලට දේශපාලන කටයුතු සඳහා යැයි කියා පැමිණෙන කොටි, ප්‍රාදේශීය ත්‍රස්ත නායකයන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන්නේය.

සටන් විරාම ගිවිසුම අත්සන් කර වසරක් ගතවෙද්දී (2003) එල්.ටී.ටී.ඊ.යේ පිරිස් බලය දහනවදහස්අටසිය හතළිස් පහ දක්වා වැඩි කරගන්නට තරම් ඔවුන්ගේ ප්‍රචාරක ජාලයට හැකිවූයේය.

අවුරුදු දෙකක විරාමයක් තුළ සන්නද්ධ ශක්තිය වැඩි කරන්නට සැලසුම් කළ කොටි නායකත්වය ‘ඒ’ නවය (ඒ-9) ඇතුළු ප්‍රධාන මාර්ගවල බලය තමන්ට නතු කරගත යුතු නිසා කොටි සාමාජිකයන්ගේ පවුල් (මහා වීර පවුල්) ඒ දෙපස දිගින් දිගටම පදිංචි කළේය. නැගෙනහිර පළාතටත් එවැනිම ක්‍රමවේදයක් අනුගමනය කළහ.

පාබල සේනාංකවලට අමතරව කොටි ගුවන් බලකාය, අධිකරණ පද්ධතිය, ‍පොලිසිය, මුහුදු කොටි බළකාය ඉහළට ගෙන ආවා පමණක් නොව ජාත්‍යන්තර ජාලය ශක්තිමත් කරමින් දෙමළ ඩයස්‍පෝරාවද කොටි සංවිධානයට නතුකර ගත්තේය.

ලෝකයේ කිසිදු ත්‍රස්ත සංවිධානයකට නොමැති තරම් යුද, ගුවන්, නාවික හා ‍පොලිස් ඒකක වැඩිදියුණු කළහ. හමුදා යුද ටැංකිවලට පහර දීමට වෙනමම ආර්.පී.ජී. රොකට් බලකායන්, ගුවන් ප්‍රහාරක බලකායන් මෙන්ම මරාගෙන මැරෙන කොටි මිනිස් බෝම්බකරුවන්ද සූදානම් කළහ.

වෙනත් ත්‍රස්ත සංවිධානවලට නොමැති තරම් අවි ආයුධ ජාත්‍යන්තර ජාලය හරහා මෙරටට ගෙන්වා ගත්හ.
අවි ආයුධ ප්‍රවාහනය සඳහා ගැඹුරු මුහුදේ ගමන් කරන නැව් විසිපහක් කොටි ජාත්‍යන්තර ජාලයට මිලදී ගත්හ.
සැහැල්ලු ගුවන්යානා පවා කොටි සංවිධානයට වරාය හා මුහුදු මාර්ග හරහා ගෙන එන්නට හැකි වන්නේය.

යුක්රේනයෙන් ටී.එන්.ටී. හා ආර්.ඩී. එක්ස් නමැති අධි බල පුපුරන ද්‍රව්‍ය ටොන් හැටක් මිලදීගෙන මෙරටට ගෙන එන්නේය. මෙවන් අධි බල පුපුරන ද්‍රව්‍ය තොගයක් කිසිදු සංවිධානයකට නොවීය. මිලිමීටර් 130 වර්ගයේ කාලතුවක්කු අවි හයක්, මිලිමීටර් 122 කාලතුවක්කු අවි 20, මිලිමීටර් 152 කාලතුවක්කු අවි හයක්, මිලිමීටර් 120 මෝටාර් අවි එකසිය පනහකට අධික ප්‍රමාණයක්, මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් අවි 500කටත් වඩා වැඩි ප්‍රමාණයක්, බැරල් දොළහේ මල්ටි බැරල් රොකට් විදින අවි තුනක්, සැහැල්ලු ගුවන්යානා දෙකක්, යුද ටැංකි නාශක අවි ඇතුළු සන්නද්ධ හමුදාවකට අවශ්‍ය අවි ආයුධ කොටි සංවිධානයට රැගෙන එන්නේද විවිධ රජයන් පැවැති අවස්ථාවල යුද විරාමයන් අතරතුරදීය.

එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ පසුව යුද්ධය වෙනුවට සාම මාවත ඔස්සේ තිරසාර විසඳුමක්ගෙන එන්නට සැලසුම් කළහ. එහෙත් ප්‍රභාකරන් කළේ ඉහත කී අයුරින් සංවිධාන ශක්තිය තර කිරීමය.

සටන් විරාමය අතරතුර ශක්තිමත් වී වසර දෙකකින් සටන් විරාම ගිවිසුම කඩා දමා යුද්ධයකට යෑමට කොටි නායකත්වයට අවශ්‍ය වූයේය. සටන් විරාමය රැකගන්නට කොටි සංවිධානයට අවශ්‍ය නොවූ බව සටන් විරාමය උල්ලංඝනය කිරීම ගැන සටන් විරාම නිරීක්ෂකයන්ට වාර්තා වන ආකාරයෙන්ම තහවුරු වන්නේය.

මෙම කාලසීමාවේම ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගෙන මනිරාසකුලම් ඇතුළු කඳවුරු සටන් විරාම ගිවිසුම කඩ කරමින් ඉදි කෙරෙන්නේද ඉදිරි සැලසුමකට අනුවය. එවකට විපක්ෂ නායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමල නාවික කඳවුරට ගොස් ත්‍රිකුණාමල නාවික ආඥාපතිව සිටි රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ප්‍රමුඛ නිලධාරීන් හමු වී මනිරාසකුලම් ඇතුළු කොටි කඳවුරුවලින් එල්ල වන තර්ජනය ගැන බුද්ධි අංශ සකස් කළ වාර්තාව රටටම හෙළි කරමින් ත්‍රස්තවාදයට එරෙහි සටන අතට ගත්තේය.

යළි ගැටුමකට ප්‍රවිෂ්ට වූ කලකදී යාපනය වට්ටන්නට නම් යාපනයේ සෙබළුන්ට ජීවනාළිය සපයන ත්‍රිකුණාමල වරායේ නාවික කටයුතු අකර්මණ්‍ය කිරීම සඳහා මනිරාසකුලම් ඇතුළු සැටලයිට් කඳවුරු කොටි ත්‍රස්තයන් ඉදිකර තිබුණේ සටන් විරාමයේ පිහිටෙනි.

2002 වසරේ අත්සන් කළ සටන් විරාම ගිවිසුම නිසා පැවැති එ.ජා.ප. රජය හමුවේ සන්නද්ධ හමුදාවල මානසිකත්වය පිරිහෙන්නට වූයේ සටන් විරාමයට මුවා වී කොටි ත්‍රස්තවාදීන් ශක්තිමත් වන්නට පටන් ගැනීම නිසාය.
මේ සියලු කාරණා සිදුවෙද්දී 2005 නොවැම්බරයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය පරාජයට පත්කරමින් මහින්ද රාජපක්ෂ මහතා යටතේ රජයක් පිහිටුවනු ලැබිය.

2006 වසර මුල ජිනීවා නුවරදී සාම සාකච්ඡා වට දෙකක් පැවැත්වුවත් ඒවාද අසාර්ථක වූයේ එල්.ටී.ටී.ඊ. ය ඒ වන විට වෙනම රාජ්‍යයක් ලබාගැනීමේ සිහිනයක සිට සාකච්ඡා මේසයට පැමිණීම නිසාය.

2006 වසර වෙද්දී එල්.ටී.ටී.ඊ.ය සටන් විරාම ගිවිසුම 2098 වතාවක් කඩකර තිබුණේය. මේ සියලු කාරණාවලින් එල්.ටී.ටී.ඊ. නායකත්වයට අවශ්‍ය වූයේ රජයේ හමුදා කුපිත කරවා යුද්ධයකට ‍පොලඹවා ගැනීමය.

ඒ, මේ වන විට එල්.ටී.ටී.ඊ. නායකත්වය බලා‍පොරොත්තු වූ තම පිරිස් බලය විසිදහස ඉක්මවා සෑම අතින්ම සන්නද්ධ වී සිටි නිසාය.

මේ වන විට මහවැලි ගඟෙන් ඔබ්බට මුතූර්, කට්ටපරිච්චාන්, සෙල්වනගර්, තෝපූර් ප්‍රදේශවලට පහරදී ත්‍රිකුණාමල වරාය ඉලක්ක කිරීමටත්, පුත්තලමේ සිට ඉහළටත්, උතුරේ සිට දකුණේ වෙරළ තීරය දක්වාත් බලය ඇල්ලීමට කොටි ත්‍රස්තයන් සියල්ල සැලසුම් කර තිබිණි.

ත්‍රිකුණාමල වරාය ඉලක්ක කරගෙන පහරදීමත්, වරායට ප්‍රවිෂ්ට වන ස්ථානයේ නැවක් ගිල්වා හැර මුහුදෙන් වන සියලු සැපයුම් නවතාලීමත්, නැගෙනහිරට පහරදෙද්දී උතුරෙන් සෙබළුන් පහළට ගෙන යන මොහොතේ යාපනය අල්ලා ගැනීමත් කොටි ත්‍රස්තවාදීන්ගේ සමස්ත සැලසුම වී තිබුණේය.

සමස්ත යුද සැලසුම් ක්‍රියාවට නංවන්නට ප්‍රභාකරන් යොදාගත්තේ මාවිල්ආරු සොරොව්ව වසා දැමීමේ
දීර්ඝකාලීන සැලසුමය. ජාත්‍යන්තරය පවා අදටත් සිතන්නේ කොටින්ගේ ප්‍රාදේශීය නායකයකු ‍පොඩි  සොරොව්වක් වසා දමා ඇති බවය. එහෙත් මෙමගින් සිවිල් වැසියන්ගේ කුඹුරු අක්කර තිස්දෙදහසක් වැනසී යෑමේ අවදානමක් ඇති විණි. සිවිල් වැසියන් විසි දෙදහසකට පමණ අයත් අක්කර පහළොස් දහසක් පමණ විනාශ වීමේ අවදානමක් ඇති කරමින් කොටි ත්‍රස්තයෝ 2006 ජූලි 20දා මාවිල්ආරු සොරොව්ව වසා දැමූහ.

මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට නෝර්වේ මැදිහත් වීමකින්වත් නොහැකි වූයේ එල්.ටී.ටී.ඊ. නායකත්වයට රජයේ හමුදාවන් යුද්ධයක් සඳහා ඈඳා ගැනීමේ වුවමනාව තිබූ නිසාය.

එල්.ටී.ටී.ඊ. යේ පළමු ඉලක්කය අසාර්ථක වන්නේ මුහමා‍ලේ, මන්ඩතිව් මෙන්ම ත්‍රිකුණාමලයද අකර්මණ්‍ය කිරීමේ මෙහෙයුම් හමුදාවල දක්ෂතාවයෙන් කණපිට හැරවූ නිසාය. උතුරේ සිට නිවාඩු එන නිරායුධ සෙබළුන් 2500ක් රැගත් ජෙට්ලයිනර් නැව ත්‍රිකුණාමල වරායට ඇතුළුවන තැනදීම ගිල්වා හැර ත්‍රිකුණාමල වරාය හරහා සිදුවන සියලුම නාවික මෙහෙයුම් නවත්වන්නට ගත් උත්සාහයද නාවික හමුදාව ව්‍යර්ථ කළේය.

අවසානයේ ප්‍රභාකරන්ගේ අරමුණ වූ රජයේ හමුදා ගැටුමකට මැදිකර ගැනීමේ වුවමනාව ක්‍රියාත්මක වන්නේ සිව්වැනි ඊලාම් යුද්ධය ආරම්භ කරමිනි.

අහිංසක සිවිල් වැසියන් වෙනුවෙන් මාවිල්ආරු සොරොව්ව විවෘත කරදීමට සීමිත හමුදා මෙහෙයුමක් අරඹද්දීත් කොටි ත්‍රස්තවාදීන් හමුදා නායකත්වයද ඉලක්ක කර අවසන්ව තිබිණි. එවකට යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා, හමුදා මූලස්ථානයේදීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබුවේ නොසිතූ අන්දමටය.

තිස් වසරක් පුරා ලංකාව සමාජීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් පරිහානියට ඇද දැමූ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට සේනාධිනායක වශයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෘජු තීරණයක් ගන්නේ මෙවන් වකවානුවකය.

ආරක්ෂක ‍ලේකම් ධුරයට තම සොහොයුරා වූ විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර ගන්නේද ඊළාම් යුද්ධයේ ගජබා නිලධාරියකු ලෙස සටන් බිමේ දක්ෂතාවලින් පිරි නිලධාරියකු වූ නිසාය. යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාත්, නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩත්, ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලකත් පත් කරන්නේ මීළඟ යුද සැලසුමට මුහුණ දෙන්නටය.

වර්ග කිලෝමීටර් 13,000ක් පුරා පැතිර තිබූ කොටින්ගේ ඊළාම් රාජ්‍යයේ බිම් අඟලෙන් අඟල හමුදා ග්‍රහණයට ගන්නට වීරෝදාර රණවිරුවන්ට දිරිය ලැබෙන්නේ සේනාධිනායකයා යටතේ ඊළමට එරෙහිව ඇරඹෙන සටනත් සමගය. මතෛක් කල් කොටි ත්‍රස්තවාදයට හිස ඔසවන්නට දෙමින් පසුගිය රජයන් හමුදාවේ චිත්ත ධෛර්යය බිඳවට්ටවා තිබියදී ත්‍රස්තවාදය මුලිනුපුටා දමන මානුෂීය මෙහෙයුම නැගෙනහිරින් ආරම්භ වන්නේය.

මාවිල්ආරු සොරොව්ව 2006 අගෝස්තු 06 දා වන විට හමුදා මෙහෙයුමකින් මුදාගැනීමත් සමග රටටම යුද ජයග්‍රහණයේ ඉදිරි ගමන පැහැදිලි වූයේය.

එතැනින් ඇරඹෙන මානුෂීය මෙහෙයුම සාම්පූර්, වාකරේ, තොප්පිගල දක්වා  ඇදෙන්නේ කොටින්ගේ ඊළාම් සිතියමෙන් නැගෙනහිරම මුදාගැනීමේ අරමුණෙනි. 2007 ජනවාරි 19 වැනිදා වන විට වීරෝදාර රණවිරුවන් වාකරේ කොටි බළකොටුවට ඇතුළු වී එය මුදාගත්හ. 59 වන නිදහස් දින සමරුවට පෙරදින එනම් 2007 පෙබරවාරි 03දා සේනාධිනායකයා වාකරේ කොටින්ගෙන් මුදාගත් භූමියට ජීවිත ආරක්ෂාව ගැන පවා නොතකා පිය මනින්නේ වීරෝදාර රණවිරුවන්ට ධෛර්යයක් දෙන්නටය.

රණවිරුවන්ගේ සේවය අගයන්නට රණබිමට ගිය පළමු ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ නාමය සනිටුහන් කරමින් වාකරේදී හමුදා සෙබළුන් මුණගැසුණේය. රටේ රාජ්‍ය නායකයා සටන් බිමට පැමිණීම සෙබළුන්ට විස්මයජනක දෙයක් විය.

තමන් සහෝදර සෙබළුන් මුණගැසීමට පැමිණියේ වසර ගණනක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් පීඩා විඳිමින් සිටි නැගෙනහිර ජනතාව මුදාගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ සියලු දෙනාටම ගෞරවය හා ප්‍රණාමය දැක්වීමට යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරෝදාර රණවිරුවන්ට පසක් කළේය. සෙබළුන් අතරට මිතුරකු සේ ගිය ජනාධිපතිවරයා සෙබළුන්ගේ දුක සැප විමසමින් කුළුපග වන්නටද ඔවුන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින්නටද අමතක නොකළේය.

එකම භූමියක සතුටින් සාමයෙන් දිවි ගෙවීමට තිබූ පරිසරය විනාශ කළ ත්‍රස්තවාදයට තවදුරටත් නැගෙනහිර හිස එසවීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා රණවිරුවන් හමුවේ දිවුරන්නේ මීළඟ සටනට රණවිරුවන්ට දිරිදෙමින්ය.
වාකරේදී රණවිරුවන් මුණගැසුණු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ විසින් කොටි ග්‍රහණයෙන් මුදාගත් වාකරේ වැසියන්ද බලන්නට අමතක නොකළේය.

මඩකලපුව ශක්තිවේලි පිල්ලෙයාර් කෝවි‍ලේ ප්‍රධාන පූජකවරයා වූ සෙල්ලයියා කුරුක්කල් පරමේශ්වරන් විසින් මල්මාලා දමා ජනාධිපතිවරයා පිළිගන්නේ සිවිල් වැසියන්ගේ අත්‍පොළසන් මධ්‍යයේය.

ජනාධිපතිවරයාගේ වාකරේ ගමන කොටි නායකයන්ට කොතරම් දැනුණාද යත් ජනාධිපතිවරයාට මල්මාලා දමා පිළිගත් පූජකවරයාව පසු දිනම වෙඩි තබා ඝාතනය කර කොටි ත්‍රස්තවාදීන්ගේ කෲරත්වය ලොවටම පෙන්වූහ.

ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමග යුද බිමේ වීරෝදාර රණවිරුවන්ට ලද පන්නරයත් සමග ඇරඹි ඉදිරි මෙහෙයුම් නැවතුණේ 2007 ජූලි 11දා වන විට සමස්ත නැගෙනහිර පළාතම කොටින්ගෙන් මුදාගෙනය. තොප්පිගල විජයග්‍රහණය කරමින් නැගෙනහිරම මුදාගත් වීරෝදාර රණවිරුවන් ඊළාම් රාජ්‍ය සිතියමෙන් නැගෙනහිරම ඉවත් කරන්නට සමත් වන්නේ සෘජු නායකත්වය නිසාය.

නැගෙනහිර මුදාගෙන වන්නි කොටි බළකොටු මුදාගැනීමේ වන්නි මානුෂීය මෙහෙයුම ඇරඹෙන්නේ ජාත්‍යන්තරය කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළද්දීය.

ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල වෙද්දී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දැඩි තීරණයක සිටි සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා කිසිදු විජාතික බලපෑමකට හිස නොනමා මානුෂීය මෙහෙයුම කරගෙන යාමට ආරක්ෂක ‍ලේකම්වරයාටත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් ඉඩ සලසා දුන්නේය.

වන්නි කොටි ආරක්ෂක වළල්ල මුදාගනිමින් ඉදිරියට ඇදුණු වීරෝදාර රණවිරුවන් මඩු දේවස්ථානය මුදාගනිමින්, අඩම්පන්, පාලම්පිඩ්ඩි, වෙඩිතලතිව්, මුලංකවිල්, තුනුක්කායි, මල්ලාවි, කොකාවිල්, මාන්කුලම්, අම්පකාමම්, පරන්තන්, කිලිනොච්චි විජයග්‍රහණය දක්වා ඉදිරියට ඇදුණේය.

සිව්වැනි ඊළාම් යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ කිලිනොච්චි විජයග්‍රහණයය. කොටි ත්‍රස්තයන්ගේ ප්‍රධානම පරිපාලන නගරය වූ කිලිනොච්චිය වෙත 2009 ජනවාරි 02දා වන විට වීරෝදාර භට පිරිස් ඇතුළු වූහ.

කොටි සංවිධානයේ අවසරයක්වත් නොමැතිව කිලිනොච්චිය කොටින්ගේ පරිපාලන නගරයට රාජ්‍ය නිලධාරියකුටවත් යාමට නොහැකි ඉතිහාසයක් තුළ වසර හැටක ඉතිහාසයේ මුල්වරට කිලිනොච්චියට පා තැබූ රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසගත වෙමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිලිනොච්චියටද පැමිණියේය. ඒ 2009 අප්‍රේල් 16 දාය. වීරෝදාර රණවිරුවන් මුදාගත් පරිපාලන නගරයේ නිදහසේ ඇවිදින්නට වූ රාජ්‍ය නායකයා සිංහල අලුත් අවුරුද්ද රණවිරුවන් සමග සමරමින් සතුට බෙදා ගත්තේය.

අපි හැමෝම මහන්සි වෙලා ඉන්නේ. ඉක්මනට මේක ඉවරයක් කරමු. නැගෙනහිරදී රණවිරුවන්ට ඉඟියක් දුන් අයුරින් කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අතුගා දමන්නට ජනපතිවරයා සටන් බිමට ඉඟියක් දුන්නේය. කිලිනොච්චි නගරයේ නිදහසේ ඇවිදිමින් රණවිරුවන්ගේ ධෛර්යය, වීර්යය ඉහළ නැංවූ ජනපතිවරයා  ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අවසන් මෙහෙයුමට අවසර දුන්නේය.

ධර්මපුරම්, මුලතිව්, චලෙයි, පුදුකුඩිඉරිප්පු මුදාගනිමින් ඉදිරියට ඇදුණු වීරෝදාර රණවිරුවන් ලෝක හමුදා ඉතිහාසයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශාලතම හමුදා මෙහෙයුම කළ ලෝකයේ එකම රට බවට පත් කරන්නේද දැඩි චිත්ත ධෛර්යය නිසාය. සිවිල් වැසියන් එක් ලක්ෂ අටදහසක් කොටින්ගේ ප්‍රාණ ඇපයෙන් මුදාගන්නට මෙම මෙහෙයුමේදී හැකි වූයේය. ඒ 2009 අප්‍රේල් 20දාය.

වන දුර්ග, ජල දුර්ග මැදින් අව් වැසි නොතකා ඇස්, ඉස්, මස්, ‍ලේ පුදා වීරෝදාර රණවිරුවන් තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළේ ඒකීය රටක් බිහිකරනු පිණිසය.

2009 මැයි 19දා කොටි නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තයන් ආරක්ෂක හමුදා අතින් මරණයට පත් කරමින් ඊළාම් රාජ්‍යයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගනිමින් විසිහය වසරක ඊළාම් යුද්ධයට අවසන් තිතත් තබන්නට වීරෝදාර රණවිරුවන්ට හැකි විය. ඒ අවසන් මොහොත දක්වා බටහිර රටවල් ඇතුළු විජාතික බලවේගවලින් එල්ල වූ බලපෑම්වලට හිස නොනමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් දේශපාලන නායකත්වය නිසාවෙනි.

ත්‍රස්තවාදය නිසා බැට කන ලෝකයටම ආදර්ශයක් දෙමින් දෙකඩ කරන්නට ගිය රට එක්සේසත් කරන්නට දුටුගැමුණු මහ රජතුමා කළ මෙහෙවර වන් සේවාවක් සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉටු කරන්නේ ත්‍රස්තවාදය මෙරටින් තුරන්කරමින්ය.

වර්ග කිලෝමීටර් දහතුන්දහසක් අත්පත් කරගෙන සිටි කොටි ත්‍රස්තවාදීන් පරදවා ඒකීය රටක් බවට පත් කරන්නට ඓතිහාසික විජයග්‍රහණය කරා යන සටනේදී සේනාධිනායකයා ලෙස ඔහු කළ මෙහෙවර ඉතිහාසගත වන්නේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

Untitled-4 Untitled-3 Untitled-2