අප රට තුළ වසර තිහක් පුරා පැවති යුද්ධය නිසා රටේ ජනතාවගේ නිදහස සම්පූර්ණයෙන්ම සීමා විය. කෑම් බිම් යෑම් ඊම්, තබා නිවස තුළ රැඳී සිටීමේ හෝ කිසිදු නිදහසක් ජනතාවට නොතිබුණේය. උදෑසන පාසල් යන දරුවා නැවත නිවස බලා එයිදෝ රැකියාවට ගිය ස්වාමියා සවස නිවසට එයිදෝ නොඑයිදෝ යන්න සැක සහිත විය. මෙවැනි වටාපිටාවක් තුළ මහින්ද රාජපක්ෂ මහතා කුරිරු යුද්ධය අවසන් කර ජනතාවට නිදහසේ ජීවත් වීමේ වාතාවරණයක් රට තුළ නිර්මාණය කළේය.

පසුව පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා මොන යම් හේතුවක් මත හෝ  ජනතා ප්‍රසාදය ක්‍රමයෙන් අඩු වී පරාජයට පත් විය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම තමන් පරාජයට පත් වූ බව දැන ගත් රාජපක්ෂ මහතා උදෑසන 5.00ට පමණ ඔහු අරලියගහ මන්දිරයෙන් ගෞරවාන්විතව  ඔහුගේ  වීරකැටිය මැදමූලන නිවස බලා පිටත්ව ගියේය. ඔහුට ආදරය කරන මේ රටේ ජනතාව බස්වල නැගී  ‍පෝලිමේ මැදමුලන කාල්ටන් නිවස  වෙත ගියේ තම නායකයාගේ සැප දුක බැලීමට වඩා එතෙක් තමන්ව මෙන්ම රට රැකගත් නායකයාව දැක බලා දුක සතුට බෙදා ගැනීමටය.

නන් දෙසින් බස්රථවල නැගී ජනතාව මැදමුලන වෙත පැමිණෙන බව ඒ වන විටත් රට පුරා පැතිර ගිය පුවතක් විය. මහින්ද රාජපක්ෂ මහතාගේ දුක සැප බැලීමට මහ සෙනඟක් මැදමුලනට පැමිණෙන බැවින් ඔවුන්ට එම ගමන විඩාබර බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට තේරුම් ගියහ. උන්වහන්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ‍ලේකම්වරයකුව සිටි ගාමිණී සෙනරත් මහතාගෙන් විමසා සිටියේ මහින්ද මහතාට කොළඹට ආසන්න ප්‍රදේශයේ නිදහස් ස්ථානයක් තිබෙන්නේ නම් එය ජනතාවට පහසුවක් වන බවය. ඔහුගේ පිළිතුර වූයේ එවන් ස්ථානයක් නොමැති බවය.

පෙර අතීතයේදී වලගම්බා රජු යුද්ධයෙන් පැරදි පලා යන විට ප්‍රතිවාදීන් මහ කළු සිංහයා පලා යනවෝ කියමින්  කෑගහන චඵවිට මහතිස්ස ස්වාමීන් වහන්සේ වලගම්බා රජුට රැකවරණය දීමට ඉදිරිපත් විය. උන්වහන්සේ තමන්ගේ ලෙනේ වළගම්බා රජු  තබා ගෙන පිණ්ඩපාතයේ ගොස් ලැබෙන දානයෙන් වසර දොළහක් පුරා ‍පෝෂණය කළේය.

මේ සිදුවීම් දෙස බැලූ විට පෙනී යන කරුණක් වන්නේ අතීත රජවරුන්ට රැකවරණය මෙන්ම රාජ්‍ය පාලනය කිරීමට ගුරුහරුකම්ද ලබා දී ඇත්තේ පන්සල මූලික කරගෙන බවය. රාජ්‍ය පාලකයින්ට රැකවරණය දීම මෙන්ම දැහැමි රාජ්‍ය පාලනයක් උදෙසා අවශ්‍ය ගුරුහරුකම් ලබාදීමද භික්ෂූන් වහන්සේලාට උරුම වූවකි. ඒ උරුමය ආනන්ද හිමියන්ටද හිමිය. බුදුරජාණන් වහන්සේ  බුද්ධත්වය ලබා ගැනීමෙන් පසුව පළමු වරට කාලය කැප  කළේ බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන් ඇසතු බෝරුකට කළගුණ සැලකීමටය. උන්වහන්සේ මෙසේ කෙළෙහිගුණ සලකා අපට ලබා දුන් ආදර්ශය අනුව යමින් රටට විශාල සේවයක් කළ මහින්ද රාජපක්ෂ මහතාට කළගුණ සැලකීමක් ලෙස ඔහුට රැකවරණ ලබා දීමට ආනන්ද හිමියෝ තීරණය කළහ. රටත් ජාතියත් ජනතාවත් ආරක්ෂා කළ මෙවන් පුද්ගලයකු ආරක්ෂා කිරීමට ලැබිම මහත් සතුටට කරුණක් ලෙස උන්වහන්සේ සැලකූහ.

පන්සල් හදන්නේ පුස් කකා වසා තැබිමට නොව මහජන සුබසිද්ධිය සඳහාය. එම න්‍යායේ ගමන් කරමින් ආනන්ද හිමියන් මහින්ද රාජපක්ෂ මහතාට කථා කර කියා සිටියේ ඔබගේ දේශපාලන කටයුතු කරගෙන යාමට කොහේවත් නොයන ලෙසත් අභයාරාමයේ සියලුම කටයුතු කර ගන්නා ලෙසත්ය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන කටයුතු අභයාරාම පුණ්‍ය භූමිය තුළ ආරම්භ කළ ද එයට නොයෙකුත් බාධක කම්කටොලු පැමිණියහ. එහෙත් ඒ සියලුම බාධක බිඳ දමා ඉදිරියට යාම සඳහා ආනන්ද හිමියෝ ශක්තිය ලබා දුන්හ.

උන්වහන්සේ ගත් එම තීරණයටද එවකට විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල විය. එම බලපෑම්වලට බිය නොවී එම කටයුතු කරගෙන යෑමට උන්වහන්සේ තීරණය කළේ රට ජාතිය බේරා දුන් නායකයාට කෘතගුණ සැලකීමක් ලෙසටය.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මාධ්‍ය හමු, විවිධ රැස්වීම් හා දේශපාලන ඉදිරිගමන් මග තීරණය වූයේ අභයාරාම පූණ්‍ය භූමිය තුළය.

බලයට පත්  රජයට මහින්ද මහතාට  නිල නිවසක් ලබා දීමට වසර දෙකක පමණ කාලයක් ගත විය. වසර දෙකකින් පසුව ඔහුට නිල නිවසක් ලබා දුන්නද නිරන්තරයෙන්ම ඇල්මක් ඇති වූයේ අභයාරාමය කෙරෙහිය. එතුමන් අභයාරාමයට නිරන්තරයෙන්ම කළගුණ සැලකීමට කටයුතු කළේය.

රටේ සම්පත් විදේශීකයින්ට විකිණීම  ආගමික ස්ථානයන් විනාශ කිරීම, බෞද්ධ නායකයින් සිරගත කිරීම, හමුදා නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල කරමින් සිරගත කිරීම වැනි හේතු කාරණා සලකා බැලූ විට රටට ආදරය කරන දේශපාලන නායකත්වයක අවශ්‍යතාව තදින්ම වැටහුණි. ඒ අනුව භික්ෂූන් වහන්සේලා,  විවිධ සංවිධාන, නායකයින්,  දේශපාලන නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවට සපථ කළහ. එහි මූලිකත්වය ගත්තේ අභයාරාමයයි.

මේ රටට ගැළපෙන දේශපාලන නායකයකුගේ අවශ්‍යතාව තදින්ම දැනෙන මොහොතකදී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අභයාරාමයට පැමිණි මොහොතදී මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වී මේ දේශපාලන ගමන එක්ව  යන්නැයි උන්වහන්සේ ඉල්ලීම් කළේය. එම ඉල්ලීමම භික්ෂූන් වහන්සේලා කීප නමක් සමග ජනාධිපති නිලනිවස වෙත ගොස්ද ඉදිරිපත් කළහ. කල්ගත වුවත් ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි යැයි ආනන්ද හිමියන් විශ්වාස කරයි.  මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වී සුළු මොහොතකින් නාරාහේන්පිට අභයාරාමයට පැමිණ ආගමික වතාවත් සිදුකළේ කළගුණ සැලකීමක් ලෙසය.

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහාද අභයාරාමය විවෘතව පවතින්නේ යැයි ආනන්ද හිමියෝ සඳහන් කළහ.

ශ්‍රියානි විජේසිංහ
ඡායාරූප- සජීව චින්තක කහඳගමගේ
DSCF4573 DSCF4538 AMP_5086