කතානායකවරයා තමන්ට අභිමත පරිදි පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගතහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂය සැලසුම් කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ජනාධිපතිවරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන තුරු පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයාට හැකියාවක් නොමැති බව දේශපාලන විශ්ලේෂකයින් හා නීතිවේදීන්ගේ මතය වී ඇත.

”කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ සූදානමක් ගැන කතා වෙනවා. පාර්ලිමේන්තුව කල්තබා ඇත්තේ ජනාධිපතිවරයා විසිනුයි. ජනාධිපතිවරයාට තිබෙන බලතල අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ  පාර්ලිමේන්තුව කල්තබා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා සතු බලය අබිබවා යමින් කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට හැකියාවක් නැහැ. ජනපතිගේ බලය අබිබවා යාමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කිසිවෙකුට හැකියාවක් නැහැ.” යැයි හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහදගම්ලත් මහතා අප කළ විමසීමකදී පැවසීය.

ඒ අනුව අවස්ථාවන් දෙකකදීම, එනම් එළැඹෙන 05 දින හා 07 දින පාර්ලිමේන්තුව කැඳවන බවට කතානායකවරයා කළ ප‍්‍රකාශයන් ගැන  ආණ්ඩු පක්ෂයේ දැඩි අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.  පාර්ලිමේන්තුවේ  බහුතර බලය  පෙන්වීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර  ආරම්භ වී ඇති සටන හේතුවෙන්  පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරයේ  ආරම්භක දිනය අතිශයින් තීරණාත්මක වනු ඇත. මෙදින දේශපාලනඥයින් කිහිප දෙනකුම තම පක්ෂ මාරු කිරීමටද  නියමිතව ඇති අතර ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ වඩාත් උණුසුම්කාරී වාතාවරණයක් උද්ගතවනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.  කෙසේ වෙතත් පසුගිය සති අන්තය වන විට නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත හිමිව තිබූ බවද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු රිවිර ඉරිදා සංග‍්‍රහයට  පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් එදින පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ සූදානමකද සිටින බවට තොරතුරු වාර්තා වන අතර එය මුල් කරගනිමින් දෙපාර්ශ්වය අතර  මෙහිදී දැඩි වාද විවාදයන්ද ඇති වනු ඇති බවටද තොරතුරු වාර්තා වේ.  එසේම එජාපයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු හා මැති ඇමැතිවරුන් 9 දෙනකුට අධික පිරිසක් ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවටද තොරතුරු වාර්තා වේ. බහුතරය පෙන්වීම සඳහා සිදුකරන ඡුන්ද විමසීමකදී කිසිදු පාර්ශ්වයකට සහාය දීමෙන් වැළකී, ස්වාධීනව සිටීමට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත‍්‍රිවරයෙකු වන එස්. වියලේන්ද්‍රන් මහතාද පසුගිය සති අන්තයේ නි.අමාත්‍යවරයකු ලෙස ආණ්ඩුවට එක්විය.

පැතුම් වික‍්‍රමරත්න
 රන්මලී සෝමසිරි
භක්ති මෙන්ඩිස්