මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ පසුගිය 26 වෙනිදා රාත්‍රියේ දිවුරුම් දෙන විට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ගාල්ලේ විජයානන්ද පිරිවෙනේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.  ජනපති ‍ලේකම් කාර්යාලයේ සිදුවන කිසිවක් ඒ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ එජාපයේ බලවතුන් කිසිවෙකුත් දැන සිටියේ නැත. එජාපයෙන් දැන සිටි එකම පුද්ගලයා වූයේ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පමණි.

අගමැතිකම තමන්ට අහිමි වී ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පවා දැනගන්නේ අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය ‍පොලිස්පති වසන්ත වික්‍රමසිංහගෙනි. නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා ඒ බව දැන ගන්නේ ඔහුගේ මාධ්‍ය මිතුරෙකුගෙනි. එම මාධ්‍ය මිතුරා නියෝජ්‍ය ‍පොලිස්පති වික්‍රමසිංහ අමතමින් සොයා බලන්නේ ආණ්ඩු පෙරළිය සිදුවන විට රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ කොහේදැයි කියාය.

සර්, මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති හැටියට දිවුරුම් දීලලු නියෝජ්‍ය ‍පොලිස්පති වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහට කිට්ටු කර කීවේය.

ඒත් එක්කම කලබල වන රනිල් වික්‍රමසිංහ, ඔහු අසල සිටි හිටපු ඇමැති වජිර අබේවර්ධනට නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා කනට කර කී දේ කීවේය. වජිර ද ඉන් කලබල වෙමින් එහි ඇත්ත නැත්ත සොයන්නට ගත්තේය. ගත වූයේ විනාඩි කිහිපයකි. ලැබුණු තොරතුර නිවැරදි බව තහවුරු කර ගත් රනිල් වික්‍රමසිංහ මහතා  කොළඹ බලා  පිටත් වන්නට තීරණය කළේය. ඒ එදින රාත්‍රිය ගාල්ලේ ගත කිරීමට ගෙන තිබුණු තීරණයද අතහැර දමාය. ඒ එන අතරතුර ඔහු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයින් අරලියගහ මන්දිරයට කැඳවීමටද අමතක නොකළේය. ඒ වන විටත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු සිටින්නේද කුමක් කරන්නේදැයි සිතා ගන්නට නොහැකිව දෙලොවක් අතර අතරමංවය.

ගාල්ලේ සිට අරලියගහ මන්දිරයට එන්නට රනිල් වික්‍රමසිංහ මහතාට එදා නම් ගත වී තිබුණේ පැයකටත් අඩු කාලයක් පමණි. ඒ එන විටත් එජාපයේ ප්‍රබලයින් රැසක්ම අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ. ඔවුන් පුල පුලා බලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමය. රාජිත සේනාරත්න, චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල ඒ අය අතර ඉදිරියෙන්ම සිටියේය.

මෛත්‍රිට ඕන හැටියට අගමැතිවරු වෙනස් කරන්න බැහැ. මේක ව්‍යවස්ථා විරෝධී වැඩක්. රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට ගොඩවන්නේ එසේ කියාගෙනය.

අපි මේකට මොනව හරි කරන්න ඕන. මෛත්‍රිට ඕන හැටියට දඟලන්න දෙන්න බැහැ. බ‍ලේ තියෙන්නේ අපිටයි. අපි සටන් කරමු. අගමැතිවරයාව වට කරගනිමින් අරලියගහ මන්දිරයේ රැස්ව සිටි හිටපු මැති ඇමැතිවරු කියන්නට ගත්තේය.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ හිටපු මැති ඇමැතිවරු සමගින් රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කරන්නට ගත්තේ ඉදිරි පියවරයන් ගැනය. එහිදී මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තරය දැනුවත් කරමින් බලය රැක ගන්නටය. ඒ අනුව මංගල සමරවීර මහතා ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ කටයුත්ත භාරගන්නේ තානාපති කාර්යාලවලට ඇමතුම් ගනිමිනි.

සිය බලය රැක ගන්නට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ හිටපු මැති ඇමැතිවරු දැවැන්ත මෙහෙයුමක් දියත් කරන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසෙන ‍පොලිස්පති පූජිත් ජයසුන්දර, අලුත් ආණ්ඩුවට පක්ෂපාති බව ප්‍රකාශ කරන්නේ විජේරාම පාරේ පිහිටි නිවසට පැමිණ අග්‍රාමාත්‍යවරයාව මුණගැසීය. ඒත් එක්කම එක්සත් ජාතික පෙරමුණෙන් කියැවෙන්නේ ඔවුන් අරලියගහ මන්දිරය අතහැර නොයන බවය. තවමත් අග්‍රාමාත්‍යවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා ඒ අතරතුර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ තමන්ට බව කියමිනි.

එසේ තමන් අගමැතිවරයා යැයි කියමින් රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවීමට තීරණය කරන විට අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතුවලට සහ නඩත්තු කටයුතුවලට යොදවා සිටි නාවික හමුදාවේ 30 දෙනකුගෙන් පමණ වූ භට කණ්ඩායමක් රාත්‍රියේම ඉන් ඉවත් කර නාවික හමුදා කඳවුරට කැඳවා තිබිමද විශේෂිතය.

එතෙක් කාලයක් රනිල් වික්‍රමසිංහ පස්සෙන්ම සිටි ‍පොලිස්පති පූජිත් ජයසුන්දර, ආණ්ඩු පෙරළියත් සමග සිය පැත්තද මාරු කරමින් අලුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව විජේරාම පාරේ පිහිටි නිවසේදී මුණගැසෙන්නේ අලුත් ආණ්ඩුවට සිය පක්ෂපාතීත්වය පෙන්වමිනි. අරලියගහ මන්දිරයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව ඉවත් කිරීමේ වගකීමද එහිදී ‍පොලිස්පති පූජිත් ජයසුන්දර භාර ගැනීම විශේෂිතය. ඒ සඳහා ඔහු මුලින්ම කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ වන විට ලබාදී තිබුණු 1008 ක ආරක්ෂාව 10 ට බැස්සවීමය. අනතුරුව රනිල්ට ලබාදී තිබුණු වාහන ප්‍රමාණය දෙකට බැස්සුවේය. එජාපයේ හිටපු මැති ඇමැතිවරුන්ට ලබාදී තිබුණු හය හත්දෙනාගේ ආරක්ෂාවද ඒත් එක්කම දෙකට බැස්සුවේ අතිරික්තය ඇමැති ආරක්ෂක කොට්ඨාසයට කැඳවමිනි.

‍පොලිස්පතිවරයා එසේ රනිල් වික්‍රමසිංහගේත් හිටපු මැති ඇමැතිවරුන්ගේත් ආරක්ෂාව බිංදුවට බස්සවමින් අරලියගහ මන්දිරයෙන් ඔවුන්ව ඉවත් කිරීමට උත්සාහ ගන්නා විට එක්සත් ජාතික පක්ෂය තීරණය කරන්නේ සිය පාක්ෂිකයන් යොදවා අරලියගහ මන්දිරය රැක ගනිමින් එහි බලය අත්පත්කරගෙන සිටින්නටය. රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවාසය පිහිටා ඇත්තේ රාජකීය විද්‍යාලය ආසන්නයේය. අරලියගහ මන්දිරය අගමැතිවරයාගේ නිල නිවස වූවත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ මෛත්‍රි වික්‍රමසිංහ එහි ගත කළේ නම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩු දින ගණනක් පමණි.

එහෙත් 26 වෙනිදා රාත්‍රියේ සිට ගෙවී ගිය දින කිහිපයේ පැය 24 පුරාම රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටියේ අරලියගහ මන්දිරයේය. ඔහුගේ ආරක්ෂාවට සිටි ‍පොලිස් නිලධාරීන් ඉවත් කිරීමෙන් පසු ඒ හිඩැස පුරවන්නේ  එජාපයට ලැදි විශ්‍රාමික හමුදා ප්‍රධානියෙක් විසිනි. ඒ, ඔහු යටතේ ඇති හමුදාවෙන් ඉවත්වූවන්ගෙන් සැදුම්ලත් පුද්ගලික ආරක්ෂක අංශයක සාමාජිකයන් පිරිසක් යෙදවීමෙනි.

ඊට අමතරව 26 වෙනිදා සිට එජාපයේ මන්ත්‍රීවරු කණ්ඩායම් වශයෙන් බෙදාගෙන සිය ආධාරකරුවන්ගෙන් අරලියගහ මන්දිරය පුරවාගෙන සිටිති. ෙදෙනිකව ඒ අනුව දෙතුන් දහසක පිරිසක් ඔවුන් අරලියගහ මන්දිරයේ රඳවාගෙන සිටිති. ඒ අයට කන්න බොන්න දෙන්නේ එජාප මන්ත්‍රීවරුන්ය. ඒ කණ්ඩායම් වශයෙන් බෙදාගෙනය. ගෙන එන්නේ කෑම පැකට්ය. රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු මැති ඇමැතිවරු පවා කන්නේ රැගෙන එන කෑම පැකට්ය. හැබැයි එම කෑම පැකට් පාක්ෂිකයන්ට රැගෙන එන කෑම පැකට් නම් නොවේ. තරු පන්තියේ හෝටලයකින් රැගෙන එන ඒවාය.

එසේ අරලියගහ මන්දිරයේ රැඳී සිටින එජාපයේ ආධාරකරුවන් වැඩි දෙනෙක් ගැවසෙන්නේ එහි ඇති විශාල ශාලාව තුළය. හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ පුතාගේ විවාහ උත්සවය පැවැත්වූයේ එම ශාලාවේය. එහි රැඳී සිටින්නන් අතර විවිධාකාර පුද්ගලයින් සිටිති. ඒ අය කාලය ගතකරන්නේ කාඩ් සෙල්ලම් කරමිනි. තවත් පිරිසක් හොර රහසේ අරලියගහ මන්දිරයට මත්පැන් බෝතලයක් දෙකක් ගෙනවිත් එය වටකරගෙන බොමින් රනිල්වද පට්ට ගසන්නේ සජිත්ව නායකත්වයට ගෙන එන්නට ඕනෙ යැයි කියමිනි.

ඒ නිසාම රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටින සිය පාක්ෂිකයන් පවා මුණගැසෙන්නට එම ශාලාව පැත්ත පළාතේ එන්නේ නැත. ඔහු කොටු වී සිටින්නේ අරලියගහ මන්දිරයේ කාමර කෑල්ලකටය. 26 වෙනිදා අරලියගහ මන්දිරයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටතට ගියේ නම් ඉකුත් සඳුදා අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති එජාපයේ විරෝධයට සහභාගිවීමට පමණි. ආරක්ෂකයින් හතරපස් දෙනෙක් සමග වේදිකාවට ගොඩවන ඔහු වැඩි කාලයක් එහි රැඳී සිටියේ නැත. නැවතත් ඔහු අරලියගහ මන්දිරයටම ගියේ සිය බිරිඳ මෛත්‍රි වික්‍රමසිංහ සමගිනි.
සාගල රත්නායක  සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට  එජාප පාක්ෂිකයන්ගේ ඇත්තේ දැඩි විරෝධයකි.

අරලියගහ මන්දිරයේ රැඳී සිටින එජාප පාක්ෂිකයන් ඒ අයට විරෝධය දක්වන්නේ මහා හයියෙන් කෑ කෝ ගසමිනි. එම විරෝධය මලික් සහ සාගලට පහරදෙන තරමටම වර්ධනය වී ඇත. ඒ අය විශ්වාස කරන්නට වූයේ ආණ්ඩු පෙරළියට ඔවුන් වගකිව යුතු බවටය. ඒ තත්ත්වය මත මලික් සහ සාගලට පාක්ෂිකයන්ගෙන් පමණක් නොව මාධ්‍යයෙන්ද සැඟවී සිටින ලෙසට නියෝගයක් පවා රනිල් වික්‍රමසිංහගෙන් ලැබි තිබුණේය. ඒ ඔවුන්ගේ ආරක්ෂාවටය. ඒ අනුව ඔවුන් අරලියගහ මන්දිරයට එන්නේ යන්නේද පාක්ෂිකයන්ට ඇස නොගැටෙන ලෙස රහසිගතවය. පාක්ෂිකයන් වැඩි පිරිසක් රැඳී සිටින අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඇති ශාලාව පැත්තට යාම පවා ඒ දෙදෙනාට තහනම් කර තිබිමද විශේෂිතය. ඒ ඔවුන්ගේ ආරක්ෂාව පතාය.

මේ අතර අරලියගහ මන්දිරය පැය 24 පුරාම මාධ්‍යයට විවෘත ස්ථානයක් බවට පත්කරන්නටද එජාපය පියවර ගත්තේය. පැයෙන් පැයට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්නට පවා හිටපු මැති ඇමතිවරු සූදානමින් සිටියේය. ඒ අනුව ඇතැම් මාධ්‍ය ආයතන අරලියගහ මන්දිරයේ ඔවුන්ගේ මාධ්‍යවේදීන් කැමරා ආම්පන්න සමග පැය 24 පුරාම ස්ථානගත කර තිබුණේය. ඒ මොහොතින් මොහොත අරලියගහ මන්දිරයෙන් ප්‍රවෘත්තියක් ලැබෙන්නට වූ බැවිනි.

රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු මැති ඇමැතිවරු අරලියගහ මන්දිරය යොදා ගනිමින් සිටියේ නැවතත් ආණ්ඩු බලය ඩැහැ ගන්නට මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසිනි. තානාපතිවරුද ඔවුන් කැඳවමින් සාකච්ඡා පවත්වන ලද්දේ එහි සිටය.

එසේ අරලියගහ මන්දිරයේ සම්පත් ආණ්ඩු පෙරළියකට ඔවුන් යොදා ගන්නා විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අරලියගහ මන්දිරයේ සිවිල් කාර්ය මණ්ඩලය ඉවත් කරන්නේ ඔවුන් සියලු දෙනාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවමිනි. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ මහතාගේ රියැදුරන්ට ස්ථාන මාරුවක් ලැබෙන්නේ සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවටය.

මෙසේ අරලියගහ මන්දිරයේ සේවයේ නිරතව සිටි ‍පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයින් ඉවත් කෙරෙන විට අරලියගහ මන්දිරයේ පරිපාලනය මුළුමනින්ම බිඳ වැටුණේය. සනීපාරක්ෂකයින් නොමැතිකමින් වැසිකිළි අපවිත්‍ර වී දුගඳ හමන්නට පවා ගත්තේය.

ඒ නිසාම අරලියගහ මන්දිරයේ රැඳී සිටින එජාප පක්ෂිකයන් මල්ගස්වලට පවා මූත්‍රා කරන තැනට පත්ව තිබුණේය. සුන්දර අරලියගහ මන්දිරය එසේ අසුන්දර අපවිත්‍ර තැනක් බවට පත්වන විට ඇතැම් පාක්ෂිකයන් ස්ව කැමැත්තෙන් තමන්ට හැකි පමණින් එය පිරිසිදු කරන්නට උත්සාහ ගැනීමද ඒ අතර කැපීපෙනුණේය.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයට ලැදි භික්ෂූන් වහන්සේ පිරිසක් 27 වෙනිදා සිට අරලියගහ මන්දිරයට බේරේ වැව පැත්තෙන් ඇතුළුවන දොරටුව ආසන්නයේ මණ්ඩපයක් ඉදිකර පිරිත් සජ්ඣායනයත් පවත්වන්නේ අරලියගහ මන්දිරයට ආරක්ෂාව සපයමිනි. ඒ අතර කථාබහක් ඇතිවන්නේ, අරලියගහ මන්දිරය තුළ යාග හෝම සහ බලි තොවිල්ද පැවැත්වෙන බවටය. සොයා බැලීමකදී අනාවරණය වන්නේ එය හුදෙක් කථාබහක් පමණක් බවය.

පසුගිය සිකුරාදා වන විට රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවී සතියක් ඉක්මගොස් තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතා සිය පාක්ෂිකයන් සමග අරලියගහ මන්දිරයෙන් ඉවත් වන බවක්ද පෙනෙන්නට නොවීය. අග්‍රාමාත්‍ය ‍ලේකම් එස්. අමරසේකර මහතා පවසන්නට වූයේ බලහත්කාරයෙන් හිටපු අගමැතිවරයාව අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමේ වුවමනාවක් නොමැති බවය. ටික දිනකින් ඔහු ගෞරවාන්විතව ඉවත්වනු ඇති බව අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයාගේ විශ්වාසයයි.

ගයාන් කුමාර වීරසිංහ