ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය පසුගියදා කටුකුරුන්ද ධාවන පථයේදී පවත්වන ලද ‘රොටහැම්’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියේදී 250 සී.සී. සුපර් මෝටාර්ඩ් යතුරුපැදි තරගය ජයගත් දුෂාන් මුදලිගේ 2018 වසරේ සුපර් මෝටාර්ඩ් යතුරුපැදි ධාවන ශූරයාට ප්‍රදානය කරනු ලබන ශූරතා කුසලානය වෙනුවෙන් තරග වදින තරගකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නට සමත් විය.

එම ශූරතා කුසලානය වෙනුවෙන් නොවැම්බර් 18 වැනිදා කටුකුරුන්ද ධාවන පථයේදී සංවිධානය කරන අවසන් තරගය පැවැත්වීමට නියමිත අතර එහිදී ශූරතා කුසලානය වෙනුවෙන් ඔහුට අවශ්‍යව ඇත්තේ මුල් ස්ථාන තුනෙන් එකක් පමණි.

මේ වසර වෙනුවෙන් පැවති සුපර් මෝටාර් 250 සී.සී. යතුරුපැදි ධාවන තරග හතරකට දුෂාන් සහභාගි වී ඇති අතර ඒ අතරින් ලයන් ටොප් ස්ටී්‍රට් හා රොටහැම් යන තරග දෙකේම ජයග්‍රහණ හිමි කරගෙන ඇත්තේ දුෂාන් මුදලිගේය.
මීට අමතරව මීරිගම සර්කිට් මීට් තරගාවලියේදී මෙන්ම එළියකන්ද කඳු තරණය තරගාවලියේදී දුෂාන් ජයග්‍රහණ අත් කරගෙන ඇතත් එම තරග දෙක සුපර් මෝටාර්ඩ් ශූරතා කුසලානය වෙනුවෙන් සලකා නොබලන බවක් පැවසෙයි.

කෙසේ වුවත් දුෂාන් මුදලිගේ පසුගියදා පැවති රොටහැම් තරගාවලියේදී දක්වන ලද දස්කම් විශේෂත්වයක් ඉසිලීය.
සාමාන්‍යයෙන් ඔහු සැම ධාවන තරගයකදීම තරග ආරම්භයේදී ඉදිරි පෙළ ස්ථානයක සිට තරග වැදීමට සමත් වන නමුත් එලෙස ස්ථාන ලබාදීම සඳහා තරගයට පෙර දින සිදුකරන කාල ගණනය කිරීමේ අවස්ථාවේදී මෙවර දුෂාන්ට වැරදී තිබිණි.

එම තත්ත්වය ඔහුගේ දක්ෂතාවන්හි අඩුවක් නිසා සිදුවූවක් නොවූ අතර කාල ගණන ධාවනයට සහභාගි වී සිටියදී තම යතුරුපැදියේ සිදු වූ කාර්මික දෝෂය නිසා ඔහුට ධාවන පථයෙන් ඉවත් වීමට සිදුවීම පසුදිනයේ අවසන් ස්ථානයේ සිට තරගයට පිවිසීමට සිදුවිය.

එම තත්ත්වය ඔහුගේ දක්ෂතාවන් නිසා සිදු වූ වරදක් නොවීය. තරගයට පෙරදින කාල ගණනය ලබාදෙමින් සිටියදී ඔහුගේ යතුරුපැදියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තම යතුරුපැදිය ධාවන පථයෙන් ඉවත් කරගන්නට සිදුවීම එම තත්ත්වයට හේතු වී තිබිණි.

එම නිසා පසුදින ඔහු තරගය පිවිස තිබුණේ අවසන් ක්‍රීඩකයාට හිමි ස්ථානයේ සිටය.
යතුරුපැදිය අලුත්වැඩියා කරගත් දුෂාන් පසුදින තරගයට සහභාගි වීමට ධාවන පථයට පිවිසෙන්නට පෙර තම හිතවතුන් සමග බය වෙන්න එපා. අද වැස්සෙ නැත්නම් මම පළමු වංගුවේදීම ඉස්සරහට එනවා යැයි පවසමිනි.

පැවසූ දේ එලෙසම ඉටු කළ දුෂාන් එම තරගය පහසුවෙන්ම ජයගෙන තිබිණි.
තවමත් 20 හැවිරිදි නවක ළාබාල යතුරුපැදි ධාවකයකු වුවත් තරගයක් ආරම්භ කළ මොහොතේ පටන් ඔහු අධිවේගයෙන් ධාවනයේ යෙදෙන්නේ ප්‍රවීණයන්ද විමතියට පත් කරමිනි.

සීවලී එදිරිවීර