දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙසින් නාමල් කුමාර නම් චරිතයක් කරළියට එන්නේ පසුගිය සැප්තැම්බරයේදීය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා සම්බන්ධ වූ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයත් සමග නාමල් කළ හෙළිදරව්වෙන් රටම හෙල්ලී ගියේය. අවසානයේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාට මාංචු වැටෙන්නටත්, යහපාලන ආණ්ඩුව දෙදරා යාමටත් තීරණාත්මක සාධකයක් වූයේ නාමල් කුමාරය. මේ ඔහු ‘රිවිර’ට කියූ කතාවයි.

යහපාලන ආණ්ඩුවේ දීගය හමාර කරන්න ඔබගේ අනාවරණයත් හේතු වුණා කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය ඇමතූ මොහොතේ පැවසුවා. මේ ආණ්ඩු පෙරළියේ මෑන් ඔෆ්ද මැච් නාමල් කුමාරද? නාලක සිල්වාද?
රටේ ජනතාව තමයි ඒක දන්නේ. මම දන්න දේ රටට හෙළිදරව් කළා. රටේ ආණ්ඩු පෙරළිය සිදුවන්න හේතුව ඒකනම් මම නිහඬව ඒ දෙස බලාගෙන ඉන්නවා. මේ ගැන විධිමත් විමර්ශනයක් කරලා සැබෑ වැරදිකරුවන්ට දඬුවම් දීම තමයි සිදුවිය යුත්තේ.

ඔබ දේශපාලන න්‍යාය පත්‍රයක් ද ක්‍රියාත්මක කරන්නේ?
මේ රටේ දූෂණ, වංචාව, මංකොල්ලය නැති වෙනවා දැකීමයි මගේ බලා‍පොරොත්තුව. එතැනදී නිල්ද, කොළද, රතුද කියලා වැදගත් නැහැ. ජනතාව බලාපෙරොත්තු වන සැබෑ විමුක්තිය ලබාදීම තමයි මගේ බලා‍පොරොත්තුව වුණේ.

ඒ කියන්නේ ඔබ ජනතා බලා‍පොරොත්තු ඉටු කරන්න ආණ්ඩු පෙරළියකට පාර කැපුවේ?
මම දන්න දේ හෙළිකළා. දේශපාලකයන්ට තීන්දු ගන්න කිව්වේ නැහැ. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා සී.අයි.ඩී.යට නීතිපති දෙපාර්තමේන්තුවෙන් බලපෑමක් එල්ල වුණා කියලා. ‍පොලිස්පති මගේ ප්‍රකාශ ගැන පැය හතළිස් අටක් යන්නත්, පෙර  සැක සහිතයි කිව්වා. නමුත් මමත්, ඩී.අයි.ජී. නාලක  සිල්වත් කතා කළ හඬපට 124න් 123ක්ම ගැලපුණා කියලා අධිකරණයේදීම අනාවරණය වුණා.

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඔබ ගැන දිගටම විවේචන එල්ල කරනවා නේද?
මේ වෙලාවේ ඒ අය ගහන මඩ මට වැදගත් නැහැ. මම දේශපාලනයට එන්න වැඩ කරන්නේත් නැහැ. බොහෝ සිංහල පිරිසක් අමිත්ලාගේ කුමන්ත්‍රණයට අහුවෙලා කියලා විතරක් මට කියන්න පුළුවන්.

අමිත් වීරසිංහ හිරබත් කන්නෙ ඔබ ඔවුන් සමග එකට ඉඳලා නාලක සිල්වාට ඔහු ගැන ඔත්තුව දුන් නිසයි. ඉන් පස්සේ නාලක සිල්වා ගැන රටට හෙළිකරන්න හිතුවා කියලා ඔබ කලින් කිව්වා. එතකොට දැන් මොකක්ද  වෙන්නේ?
නාලක සිල්වා හිටියෙ ‍පොලිස්පති වෙන්න හීනයකයි.  දිගන සිංහල -මුස්ලිම්  ගැටුම වෙලාවේ රටේ නීතිය සාමය ඇතිකරනවාට වඩා අමිත්ව අල්ලලා කේ‍රඩිට් එක ගන්නයි නාලක සිල්වාට ඕන වුණේ. මේක කළොත් මම ‍පොලිස්පති. උඹ මගේ ළඟ ඉන්නේ කියලා නාලක සිල්වා මහත්තයා කිව්වා.

ඒකද අමිත් අල්ලලා දුන්නේ?
අමිත්ලා නුවර ගැටුම අවුළුවන්න පන්සල් සියයකට ගල් ගහන්න සැලසුම් කළා. මම අමිත් හම්බවෙන්න ගිය වෙලාවෙ මගේ ෆෝන් එක  ඕන් කරගෙන හිටපු නිසා ඩී.අයි.ජී. නාලක සිල්වා මහත්තයා ඒ කියන හැම එකක්ම අහගෙන හිටියා. එදා මම අමිත්ව අල්ලලා දුන්නේ නැත්නම් තව සිංහල තරුණයෝ තුන්දාහක් විතර හිරේ යනවා අමිත් කියපු විදියට ගල් ගැහුවා නම්.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ගෑවුණේ කොහොමද?
නාලක සිල්වා මහත්තයා සරත් ෆොන්සේකා මහතා එක්ක නිතර කතා කරනවා. හරි සර් මම ගෝලයා එක්ක ඉන්නෙ කියලා. එතැනදි කියනවා. මාව භාවිත කරලා ඝාතන සැලසුම්වලට අරඇන්දා. ඒකෙන් පස්සේ නාලක සිල්වා මහත්තයා ‍පොලිස්පති විදියට පත්වෙනවා කිව්වා. ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා ඡන්දෙට වයඹින්  පාර්ලිමේන්තුවට එනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරන්නත් කතා කළා.

ඔබ මුලදි සරත් ෆොන්සේකා මහතා ප්‍රභූ ඝාතන චෝදනා පස්සේ ඉන්නවා කිව්වා. ආණ්ඩු පෙරළියත් සමග රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ නමත් කිව්වා. මොකද එක සැරේ හෙළිදරව් කරන්නේ නැත්තේ?
මම අම්පාරේ පදිංචියට ආවේ ගිය මාසේ 24 දා. එහිදී මම මාධ්‍ය සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා මහත්තයා ගැන හෙළිකළා. තව පිරිසක් මේ පිටිපස්සේ ඉන්නවා. ඒ අය ගැන ජනාධිපතිතුමා හමුවුණු වෙලාවක හෙළිදරව් කරනවා කියලත් කිව්වා. ආයෙ 26දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ජනපතිතුමා විනාඩි දහයක් දුන්නොත් ඔක්කොම හෙළිකරනවා කියලත් කිව්වා. අන්තිමට 27දා ආණ්ඩුව පෙරළුණා.  ආණ්ඩුව පෙරළුණාට පහුවදාම මම මේ ඝාතන සැලසුම් පස්සෙ හිටපු ප්‍රධානම චරිතය රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා හෙළිකළා.

ඇයි ආණ්ඩුව පෙරළෙනකම්ම හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රභූ ඝාතනවලට සම්බන්ධයි කියන්න?
ඩී.අයි.ජී. නාලක සිල්වා ළඟින්ම ඇසුරු කරපු නිසා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය ගැන මම දන්නවා. ඒ නිසයි මම එකපාරටම නම් හෙළිකළේ නැත්තේ. නාලක සිල්වා ඩී.අයි.ජී. වුණාට මේ කේස් එකේ ‍පොඩිම කෙනා  එයයි. ඉහළම කෙනා රනිල් වික්‍රමසිංහයි.

එතකෙට මේ හෙළිදරව් මෙතැනින් ඉවරද?
නැහැ. තවත් ඉහළ රාජ්‍ය නිලධාරියෙක් මේකේ ඉන්නවා. එයා ගැන නොකියා ඉන්නේ එයා තවම තනතුරේ ඉන්න නිසයි. එයා රාජ්‍ය සේවයේ නායකයෙක්. ඒ කෙනා ඉවත් කළොත් මම මාධ්‍යයට බය නැතිව ඒ නම හෙළිකරනවා. එයාව මාරු නොවුණොත් ජනාධිපතිතුමා හමුවී ඒ රහස හෙළිකරනවා. ඒ නොවුණොත් අධිකරණයට ගොස් ප්‍රකාශයක් දෙනවා.
ඔබ ඔය චෝදනා කරන්නේ ‍පොලිස්පතිතුමාටද?
ඔහොම යන්කෝ.

ඇයි ඔබ නම කියන්න බය?
ඒ පුද්ගලයා මීට කලින් මට තර්ජනය කරලා තියෙනවා.

ඔබ මීට පෙර අප පුවත්පතට දුන් සාකච්ඡාවකදී නාලක සිල්වා ගැන හෙළිකළොත් බලාගෙනයි කියලා තොරතුරුකරුවකු ලෙස ලක්ෂ 05ක චෙක් එකක් දීලා ‍පොලිස්පති තර්ජනය කළා කියලා අනාවරණය කළා. ඒ තර්ජනය ගැනද මේ කියන්නේ?
ඔහොම යන්

ඔබ ඔය කියන විදියට ඉදිරියේදී මේ ඔක්කොම හිරේ යවන්නද හදන්නේ?
නාලක සිල්වාට ‍පොදු සමාවක් දීලා රජයේ සාක්ෂිකරුවකු කරගෙන හරි මේ කියන ප්‍රභූ ඝාතන සැලසුම හෙළිකරගන්න. ඒක රජයේ වගකීමක්. මේ ජනපති හෝ ගෝඨාභය රාජපක්ෂ  ඝාතනය උපදෙස් සැලසුම් දෙන්නේ ඉහළින්.  නාලක සිල්වා ඒවා ක්‍රියාත්මක කරන්න මගේ උදව් ඉල්ලුවා විතරයි.  ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය හා ඉහළ නිලධාරීන්ට මඩ ගහලා තනතුරුවලින් ඇද දාන එක තමයි නාලක සිලවාගේ න්‍යාය පත්‍රයේ තිබුණේ. ජනපති හෝ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය පස්සේ ඉන්න ලොක්කා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයි.  මේක ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්. මේ ගැන හරි තොරතරු ගන්න පුළුවන් නාලක සිල්වා මහත්තයාගෙන්. නාලක සිල්වාගෙත් සහාය  ගත්තා නම් මීට වඩා තව දේවල් හෙළිවන්න පුළුවන්.  මොකද ඩී.අයි.ජී. නාලක සිල්වා මාත් එක්ක කතා කළේ එක කොටසක් හරි විතරයි.

‍පොලිස්  ලොක්කන්ට මඩ ගහන මෙහෙයුමට අමතරව ඔබට ප්‍රභූ ඝාතන සැලසුම්වලට කතා කළා ද?
අපි ‍පොලිස්පතිටයි අගමැතිටයි ලකුණු වැටෙන්න වැඩ කරන්න ඕන කියලා ඩී.අයි.ජී. නාලක සිල්වා මට කිව්වා. ජනාධිපතිව විශ්වාස කරන්න බැහැ. ගෝඨාභයව සෙට් කරගෙන ඉන්නේ. ජනාධිපති ගෝඨාට සෙට් වෙන්න යන්නේ. එහෙම වුණොත් අපි ඉවරයි කියලා කිව්වා.

ඊට පස්සේ මොකද කිව්වේ
2020ට කිට්ටුවෙලා මම උඹට කියන්නම්.  ජනාධිපති හරි ගෝඨාභය හරි මඩකලපුව, අම්පාරේ එද්දී බලලා දෙන්නගෙන් එක්කෙනකුට ගහපන් කියලා ඩී.අයි.ජී. නාලක සිල්වා මට කිව්වා. මම මාකඳුරේ මධුෂ්ව උඹට සෙට්කරලා දෙන්නම් කියලත් කිව්වා.

ඇයි අම්පාර, මඩකලපුව පැත්තෙදි ගහන්න  කියන්නේ කියලා මම ඩී.අයි.ජී.ගෙන් ඇහුවා. අපිට පුෂ්පරාජ් සෙට් වුණ නිසා එහෙදි  ගහලා පුෂ්පරාජ්ගේ පිට පටවමු කියලත් ඩී.අයි.ජී. කිව්වා.

ඉතින් නාමල් මේකට කැමති වුණාද?
මම ඒ වෙද්දී හිටියේ ඩී.අයි.ජී. ගහන ගේම් රටට හෙළි කරනවා කියලයි. මම ඇහුවා ඩුබායි ඉන්න පාතා‍ලේ මාකඳුරේ මධුෂ්ව කොහොමද අපි සෙට් කරගන්නේ කියලා.

මධුෂ් අවුරුදු ගාණකට කලින් ටී.අයි.ඩී. එකෙන් අල්ලලා අවුරුද්දක් විතර හිටියා. එයා ඩුබායි හිටියත් එයා එක්ක අපිට සම්බන්ධතාව තියෙනවා කියලා ඩී.අයි.ජී. කිව්වා. මධුෂ්ව අපිට සෙට් කරන්න පුළුවන්. මධුෂ් හොඳ ගේම් කාරයා. මධුෂ්ට හානියක් වෙන්න බැහැ. අපි මධුෂ්ගේ සහායෙන් ජනාධිපතිට හරි ගෝඨාභයට හරි ගහලා පුෂ්පරාජ් පිට දාමු කියලත් ඩී.අයි.ජී. කිව්වා.

ඊට කලින් එස්.අයි.එස්. ලොක්කා නිලන්ත අයින් කරලා ඩී.අයි.ජී. නාලකට ඒ පුටුවේ  වාඩිවෙන්න ලෑස්ති කරගමු කියලා කිව්වා.

මධුෂ් ගෝඨාභයට ගහයිද කියලා මම ඩී.අයි.ජී.ගෙන් ඇහුවා. රාජපක්ෂ පවුල එක්ක මධුෂ් තරහයි. මධුෂ්ට අවස්ථාව දුන්නොත් දෙපාරක් හිතන්නේ නැහැ කියලා ඩී.අයි.ජී. එතැනදි කිව්වා.

ජනාධිපති මෛත්‍රිපාලට ගහන්න මධුෂ් බය වෙයිද කියලත් මම ඩී.අයි.ජී.ගෙන් ඇහුවා. මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ලොකු බාධකයක්. ඒ නිසා මධුෂ් මේකටත් කැමැති වෙයි. නාකොටික් එකේ  රංගජිවට ගැහුවා වගේ ප්‍රසිඩන්ට් කෙනකුට ගහලා කලර්ස් පෙන්වන්න මධුෂ් කැමති වෙයි කියලත් ඩී.අයි.ජී. කිව්වා. ඒ ටාගට් එක ගැහුවට මටමයි ඉන්ක්වරි එක එන්නේ. එතකොට පුෂ්පරාජ්ව අල්ලලා ලකුණු දාගෙන මට ‍පොලිස්පති වෙන්න පුළුවන් කියලත් නාලක සිල්වා කිව්වා.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා