ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ නොමැකෙන මතකයන් මෙන්ම වාර්තා එක් කළ දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන්නේ මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් යන ක්‍රීඩකයන්ය.
මොවුන් දෙදෙනාගේ විශේෂත්වයක් වන්නේ එක් අයකු වමතින් දඟ පන්දු යවන අතර අනෙකා දකුණතින් දඟ පන්දු යැවීමයි.

මුරලි ටෙස්ට් තරග 133කදී ඉනිම 230කට සහභාගි වී කඩුලු 800ක් ලබා ගැනීමට සමත් වූහ. එය ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත් ක්‍රීඩකයාගේ වාර්තාවට හිමිකම් ද කියමිනි.

මුරලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු ශ්‍රී ලංකාවේ අංක එකේ දඟපන්දු යවන්නා බවට ක්‍රිකට් විචාරකයින්ගේ පැසසුමට ලක්වූයේ රංගන හේරත්ය.

අවුරුදු 40ක් පමණ වන රංගන තවමත් ඉතා හොඳින්  ක්‍රීඩා කරමින් සිටියි.
එහෙත් ලබන 6 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේදී රංගන හේරත් සිය ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව මේ වන විට නිවේදනය කර තිබේ.

1978 මාර්තු 19 වනදා කුරුණෑගලදී උපත ලැබූ රංගන හේරත් ළමා වියේ සිට ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව හැදෑරූ අතර කොළඹ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා සමාජ රැසකටම තම දායකත්වය  ලබා දී ඇත.

දැනට කොළඹ ද්‍රවිඩ සංගම් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරයි. ටෙස්ට් තරග 92කට සහභාගි වී ඉනිම 168 කදී ලකුණු 12020ක් ලබාදී කඩුලු 430ක් ලබාගත් රංගන, එක්දින තරග 71කට සහභාගි වී ඉනිම 67කදී කඩුලු 74ක් ලබා ගෙන තිබේ.

20-20 තරග 17 කදී කඩුලු 18ක් ලබා ගැනීමට සමත් වූ රංගන ජාත්‍යන්තර ටෙස්ට් තරග 92කදී ඉනිම 142කට මුහුණ දී ලකුණු 1680 ක් ලබා ගෙන ඇති අතර එක් දින ඉනිම 30කදී ලකුණු 140ක්  ලබාගෙන තිබේ.
ලෝකයේ වමතින් පන්දු යවා වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ රංගන හේරත්ය.

ලෝක පූජිත පන්දු යවන්නකු වන රංගන හේරත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ අති විශාල මෙහෙයට අප සියලු දෙනා ඔහුට ස්තුතිවන්ත විය යුතු අතර  ‘රිවිර’ ක්‍රීඩා පිටුව වෙනුවෙන් අපි ඔහුට සුබ  අනාගතයකට සුබ පතන්නෙමු.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්