ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සහ පාර්ලිමේන්තුව කල් තැබිම  මත මේ රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවී තිබෙන බවට මතයක් සමාජගත  කිරීමට  ඇතැමුන් උත්සාහ කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම රට තුළ මේ වන විට ව්‍යවස්ථා අර්බුදයක් ඇති වී නැහැ.

රටක් තුළ  ව්‍යවස්ථා අර්බුදයක් හට ගත්තොත් එහි රාජ්‍ය පරිපාලනයේ නැවතීමක් සිදු වෙනවා. සාමාන්‍ය ජන ජීවිතය ඉතාමත් ක්ෂණිකයෙන් නවතිනවා. රට තුළ සියලුම වැඩ කටයුතු  අඩාළ වෙනවා. එවැනි ව්‍යවස්ථා අර්බුදවලට ලක් වූ රටවල් අප දැක තිබෙනවා.

ශ්‍රී ලංකාව වැනි රටවල්වල රාජ්‍ය තන්ත්‍රය රඳා පවතින්නේ ජනාධිපතිවරයා මුල් කරගත් විධායක බලය, පාර්ලිමේන්තු ක්‍රමය සහ අධිකරණ ක්‍රමය මතයි. මේ වන විට රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් තිබෙනවා නම් සියලුම රාජ්‍ය ආයතනවල පරිපාලනය ඇනහිටිය යුතුයි. නමුත් එවැනි කිසි දෙයක් රට තුළ සිදුවී නැහැ.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ සඳහන් කර තිබෙන ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමයන්, ව්‍යවස්ථාදායකයේ ඇති ක්‍රියාදාමයන්වලට  පරිබාහිර තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒක ඕනෑම රටක වෙන්න පුළුවන් දෙයක්. එම තත්ත්වය ව්‍යවස්ථා අර්බුදයක් ලෙස හුවා දැක්වීම මිථ්‍යාවක් වැපිරීමක් බව කිව යුතුයි.

රට තුළ දේශපාලනික වශයෙන් ඇති වූ සිද්ධියක්. ව්‍යවස්ථා අර්බුදයක් ලෙස අර්ථ ගන්වමින් මේ වන විට ජාත්‍යන්තරයට රැගෙන ගොස් තිබෙනවා. ව්‍යවස්ථා අර්බුදය ගැන කතා කරන ඇතැම් නීතිවේදීන් පසුගිය වසර තුනහමාරක කාලය පුරාවට නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක සභාව ගැන කතා කරන්නේ නැහැ.
නිල බලයෙන් අගමැතිවරයා, කථානායකවරයාද ඇතුළත්ව සිටි ව්‍යවස්ථාදායක සභාව නීති විරෝධී ආයතනයක් වූයේ කෙසේද? කියා අප සොයා බැලිය යුතුයි.

19 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන පරිදි ව්‍යස්ථාදායක සභාව පිහිටුවා මාස 03ක කාලයක් ඇතුළත තමන්ගේ රාජකාරී කටයුතු, මූලධර්ම, ප්‍රතිපත්ති, නීතිරීති ආදී සියල්ල ගොඩනංවා ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු වෙනවා. සරලව කිවහොත් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා මාස 03ක් ඇතුළත එහි නීතිරීති සැකසිය යුතුයි. එය ඉතාමත්ම විනිවිදභාවයකින් සිදු කළ යුතුයි.  මේ රටේ වැදගත් රාජ්‍ය ආයතනවල ඉහළ නිලතලවලට තැනැත්තන් පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව මගින් වන නිසා එය ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කළ යුතුයි.
අගවිනිසුරු, ‍පොලිස්පති, නීතිපති වැනි තනතුරු ද අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික ‍පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ආදී කොමිෂන් සභා සඳහාද පුද්ගලයින් පත් කරනුයේ ව්‍යවස්ථාදායක සභාව මගිනි.

නමුත් අද වනතුරු ව්‍යවස්ථාදායක  සභාව තමන්ගේ නීති රීති මොනවාද කියලා සකස් කර නැත. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පසුගිය වසර තුනහමාරක කාලයටම සභා සම්මත කරලා නැහැ.

ව්‍යවස්ථාදායක සභාව නීති විරෝධී ලෙස කටයුතු කිරීම නිසා ව්‍යවස්ථා අර්බුදයක් ඇති විය හැකියි. නමුත් මේ වන විට රටේ තිබෙන තත්ත්වය ව්‍යවස්ථා අර්බුදයක් නොවේ.

වසර තුනහමාරක කාලයක් ගොළුවන් සේ සිටි ඇතැම් නීතිවේදීන් මාධ්‍ය ඉදිරියට ගොස් ව්‍යවස්ථා අර්බුදයක් ගැන දැන් කතා කරනවා. ව්‍යවස්ථාදායක සභාව නීති විරෝධී ආයතනයක් වීම තුළින් ව්‍යවස්ථා අර්බුදයක් හට ගන්නා බව දන්නා එම නීතිවේදීන් මේ වන විට බොරදියේ මාළු බාමින් ඉන්නවා.

ජනාධිපතිවරයාට පැවරී තිබෙන සුවිශේෂ බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට, කැඳවීමට සහ කල් තැබිමට හැකියි. මේක සම්ප්‍රදායක් ලෙස අතීතයේ සිටම සිදුවූ දෙයක්.  වර්තමානයේ රටෙහි ඇති වී තිබෙන තත්ත්වය කුමක්ද? මේ වන විට කරුණු 02ක් සමාජය ඉදිරියට  ඇවිත් තිබෙනවා. එය ව්‍යවස්ථා අර්බුදයක් නොවේ. එය දේශපාලනික සහ සමාජයීය වශයෙන් ඇති වූ අර්බුදයක් වෙනවා.

රට තුළ ජනාධිපතිවරයා  ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය තමයි දේශපාලන වශයෙන් කළ හැකි ලොකුම කුමන්ත්‍රණය වන්නේ. ඔය කියන ඝාතන කුමන්ත්‍රණය දියත් වී ජනාධිපතිවරයා ඝාතනය කළා නම් ව්‍යවස්ථාවට අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙනවා. මෙම ඝාතන කුමන්ත්‍රණය  සමහරු හෑල්ලුවට ලක් කළා. එතන තමයි අර්බුදය ඇති වෙන්නේ. මේ රටේ අපරාධ යුක්තිය පසිඳලීමේ කාර්යය තුළ  අවුරුදු 35ක් පමණ හිටපු පුද්ගලයෙක් වශයෙන් මා මෙය දකින්නේ රජය පෙරළීමේ අති විශාල කුමන්ත්‍රණයක් ලෙසයි.

2015 මැතිවරණයෙන් පස්සේ  විරුද්ධ පක්ෂයේ සිටි පක්ෂය රජය ලෙස පත් වුණා.  නමුත් එම වෙලාවේ බහුතර ආසන සංඛ්‍යාවක් බලයට පත් වූ පක්ෂයට නොතිබුණ ද, ජනතාව එහිදී කිසිදු ප්‍රශ්නයක් ඇති කර ගත්තේ නැහැ. හරියට මේ දැන් රටේ තිබෙන තත්ත්වය වගේ. දිමු ජයරත්න මහතා අගමැති ධුරයෙන් අයින් වුණා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වුණා. ඊට පස්සෙ 2015 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික රජයක් පිහිටුවනු ලැබුවා.

ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා වුණේ කුමක්ද? එදින තමයි ජාතික රජය අවසන් වුණ දවස. ජාතික රජයක් අවසාන වුණායින් පස්සෙ කුමන තත්ත්වයක් ඇතිවනවාදැයි අප සලකා බැලිය යුතුයි.

ජාතික රජයක් අවසන් වීමෙන් අනතුරුව රටක් වශයෙන් ඉදිරියට යන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලබනවා. මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව කල් තබා ජනාධිපතිවරයා බුද්ධිමත් තීරණයක් ගත්තා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාත්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියත් විවිධ අවස්ථාවලදී මාස ගණන් පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා. එය සම්ප්‍රදායක් වශයෙන් අතීතයේ සිටම සිදුවූ දෙයක්. මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව කල් දැමීමකින්  තොරව රට ඉදිරියට පවත්වාගෙන යන හැටි තීරණය කළ නොහැකියි.

පාර්ලිමේන්තුව කල් තැබිමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තිබෙන පුද්ගලයා අගමැතිවරයා ලෙස පත් කරනවා.

පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගෙන සිටින පුද්ගලයා තීරණය කරන්නේ කොහොමද? එම  තැනැත්තා තීරණය කරන්නේ මෙහෙමයි. පාර්ලිමේන්තුව කියන්නේ ජනතා නියෝජනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව  ජනතා  පරමාධිපත්‍ය නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව විසිනුයි. පාර්ලිමේන්තුව තියෙන්නේ ජනතාව වෙනුවෙන්. එහි ඉන්නේ ජනතා නියෝජිතයින් පමණයි.

ජනාධිපතිවරයා විසින් මෙවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම  විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා තෝරා ගන්නේ කෙසේද? රටෙහි ජනතාව විශ්වාසය තබා ඇති පුද්ගලයා  කවුද?

රට තුළ අන්තර්කාලීන තත්ත්වයක් තිබෙන මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයා විසින් වැඩිම ජනතා ප්‍රසාදය තිබෙන පුද්ගලයා නව අගමැතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා  සලකා බැලූ   ආසන්නතම මිනුම් දණ්ඩ වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණය වනවා. එම මැතිවරණයේදී මේ රටේ ජනතාවගේ ප්‍රසාදය තිබෙන පුද්ගලයා මහින්ද  රාජපක්ෂ මහතා  බව තහවුරු වුණා. ජනතා ප්‍රසාදය වැඩිම පුද්ගලයා වන මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය පිරිනමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇත්තේ ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් බව කිව හැකියි.

මේ රටේ පළාත් සභා පිහිටුවා ඇත්තේ රටේ බලය විමධ්‍යගත කිරීම සඳහායි. රටක තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී  ව්‍යුහය තුළ පළාත් සභා, මහ නගර සභා නියමිත කාලයට  තිබිය යුතුයි.  එංගලන්තය වැනි රටවල නිතර නිතර  මැතිවරණ තියන්නේ ඒ නිසායි. ජනතා මතය තිබෙන්නේ කා මතද කියා එවිට දැනගත හැකි වෙනවා. පළාත් සභා ඡන්ද කල් දැමීම වැනි දේවල් ව්‍යවස්ථා අර්බුදයකට මුල පුරනවා. නමුත් මේ වන විට රට තුළ කිසිදු ආකාරයක ව්‍යවස්ථා අර්බුදයක් නොමැති බව ස්ථිරව  ප්‍රකාශ කළ හැකියි.

ඉෂාර රත්නකාර