නොසිතූ දේශපාලන පෙරළියෙන් රටම අලූත්  වූ මොහොතකි  මේ. බැලූ බැල්මට බහුතරයක් වූ පොදු  ජනයා මේ වෙනස හා එකඟ වන බවක් පෙනෙන්නට ඇත. බොහෝ දෙනකු  සිටියේ වෙනසක් අපේක්ෂාවෙනි. කිසිවකුත්  වෙනස මේ තරම් ඉක්මනින් සිදුවනු ඇතැයි අපේක්ෂා නොකළ අතර බොහෝ දෙනා සිතුවේ  තව වසර කිහිපයක්වත් ගොස් වෙනසක් සිදුවනු ඇතැයි කියාය.  ඒ අනුව ගතහොත් මෙය දේශපාලන සර්ප‍්‍රයිස් එකකි.

පසුගිය රජය ගෙන ගිය පාලන වැඩපිළිවෙළ බහුතරයක් වූ මහජනතාවට දරාගත නොහැකි ආකාරයේ වැඩපිළිවෙළක් බව කීම අතිශයෝක්තියක් නොවේ. ආර්ථික අසමතුලිතතාව, බදු බර, ජීවන වියදම සහ ¥ෂණ චෝදනා හේතුවෙන් ජනතාව සිටියේ ඉක්මන් වෙනසක අපේක්ෂාවෙනි. ඉතිං ආණ්ඩු පෙරළියෙන් පසු රට පුරා  මිනිස්සු  කිරිබත් කෑවේ  සිතුවාටත් කලියෙන් ආ වෙනස ඒ තරමටම සර්ප‍්‍රයිස් එකක් වූ නිසාමය.

දැන් අලූත් රජයට මහා වගකීම් කන්දරාවක් දරන්න සිදුවී තිබේ. කලින් රජය කළ වැරදි නොකර ජනතා හිතවාදී පාලනයක් ගෙන යෑම සැබැවින්ම අභියෝගයකි. කලින් රජයේ පිරිස් අතින් සිදු වූ  වැරදි සියල්ල යළි නිවැරදි කිරීමේ වගකීම වත්මන් රජය මත පැටවී තිබේ. එය දවසින් දෙකකින් කළ හැක්කක්ද නොවේ. එසේම බොහෝ කල් ගත කළ හැක්කක්ද නොවේ. වැරදි තැන් හැකි ඉක්මනින් නිවැරදි කළ යුතුව තිබේ. තෙල් මිල සූත්තර අහෝසි කරන්නටත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරන්නටත්, ආනයනික බදු කිහිපයක් අඩු කිරීමටත්, ඞීසල් සහ පෙට‍්‍රල් මිල අඩු කිරීමටත් ආණ්ඩුව ක්ෂණිකව ගත් පියවර පැසසිය යුතුය. පසුගිය කාලය පුරාවට ජනතාව පෙළුෑ ප‍්‍රශ්නය වූයේ ජීවන වියදම මිස අන් කිසිවක් නොවේ. ජනතාව ආණ්ඩුවක් හා කිපෙන්නට බලපාන ප‍්‍රධානම  සාධකයත්  එයම  බව අතීතයේ නිදසුන් අපිට පැහැදිළි කර ඇත.

ලෝකයම ආර්ථික අර්බුදවල පෙළෙන මේ කාලයේ රටක් කිරීම ලේසි පහසු නැත. එනිසා රාජ්‍ය පාලකයන්ටත් ජනතාවට මැජික් පෙන්වන්නට වෙලාව නැත. ලංකාව හමුවේ ආර්ථික අභියෝග රැුසක් ඇත. විදෙස් ණය ගෙවීම ඒ අතරින් ප‍්‍රධානය. ඉදිරි වසර දෙකේදී ලංකාවට වැඩි වැඩියෙන් විදෙස් ණය බර දරන්නට සිදුවනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. එකී අභියෝගවලට මුහුණ දෙමින් ජනතාවට  පීඩනය නොදැනෙන ලෙස කටයුතු කිරීම හරියට  අතුරේ යනවා වගේ වැඩක්ය. මේ නව රජය හමුවේ ඇත්තේ එකී අභියෝගයයි. වර්තමාන අගමැතිවරයා ඒ අභියෝගය සමබරව ජයගනු ඇතැයි යන්න බොහෝ දෙනකුගේ අපේක්ෂාව වී ඇත. බදු ප‍්‍රතිපත්තිය ගැන පවා නව අගමැතිවරයා කීවේ ”මල නොතලා රොන් ගන්නවා සේ ජනතාව පීඩාවට පත් නොකර බදු ගන්නා ආකාරය ආණ්ඩු දැනගත යුතු බවයි”. ඉතිං ජනතාව පීඩාවට පත් නොවන ලෙස ආර්ථික යුද්ධයත් ජය ගැනීමට නව ආණ්ඩුවට හැකි වනු ඇතැයි කියා ජනතාවටද  විශ්වාසයක් ඇත.

”යා දෙක නොරත රත සමග පෑහීමක් නොමැත” යනුවෙන් කීවේ අලගියවන්න මුකවෙටිතුමාය. ජනාධිපතිවරයාද  නව රජය පිහිටුවීමට මූලිකත්වය ගත්තේ එකිනෙකට පරස්පරතා සහිත පක්ෂ දෙකකට මේ රටේ පාලනය කරගෙන යන්නට තිබූ  අපහසුතාව නිසාම බව සක්සුදක් සේ පැහැදිළිය. ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවෙන්ද පැහැදිළි වූයේ වසර තුනක් පුරා පැවැති ඒ පරස්පරතා පිළිබඳවයි. දැන් එක් ප‍්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරි ගමනක් යන්නට අවශ්‍ය මාවත විවෘත වී තිබේ. ජනපති සහ අගමැති ප‍්‍රමුඛ කරගත් වත්මන් රජය ජනතා හිතවාදී හොඳ ගමනක් යා යුතුය යන්න රටට හිතැති සියලූ ජනයාගේ ප‍්‍රාර්ථනයයි.