මොනවද මේ දවස්වල අලුත් තොරතුරු
සුබා තෙරණියෝ කියන චිත්‍රපටයට මම දායක වුණා. එහි රූගත කිරීම් දැන් අවසන් වෙලා තියෙන්නේ.

සුබා තෙරණියෝ චිත්‍රපටයේ ඔබ රංගනයෙන් දායක වන චරිතය ගැන කතා කළොත්?
සිටු පවුලක හිටපු සිටු දියණියකගේ චරිතයක් තමයි මට ලැබිලා තියෙන්නේ. ඇගේ සත්‍ය ජීවිත කතාව තමයි මේ චිත්‍රපටය පුරාවටම ගලාගෙන යන්නේ. සියලු සැප සම්පත් එක්ක ජීවත්වෙලා ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන ඇය සුබා තෙරණිය ලෙස ශාසනයට ඇතුළත් වෙනවා.  ඒ චරිතය තමයි චිත්‍රපටය පුරාවටම ගලාගෙන යන්නේ.

ප්‍රථම වතාවට නේද ඔබට ඓතිහාසික කතාන්දරයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
ඔව්. ඇත්තටම මෙවැනි  චරිතයක් කරන්න ලැබිම ගැන මට ගොඩාක් සතුටුයි. බුදුන්ගේ කා‍ලේ තිබ්බ සත්‍ය කතාවක් ඇසුරින් තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. ඒ චරිත ස්වභාවයත් එක්ක මට ලොකු ආසාවක් ඇතිවුණා.  මේ චිත්‍රපටය භාරගන්න. මෙහි අධ්‍යක්ෂවරයා සුමිත් කුමාර. ඔහු මට පිටපත ලබාදීලා මේ චරිතයට කතාකරහම මම කැමැත්තෙන් මේ චරිතය භාරගත්තා.

මේ චරිතය රුවංගිට අභියෝගයක් වුණේ නැද්ද?
ලොකුම අභියෝගයක් වුණා. චිත්‍රපටය අගකොටසේදී තමයි ඒ අභියෝගය මට දැනුණේ. මම දැනුවත් වෙලයි ඒ චරිතය භාරගත්තේ. මම මුල්ම වතාවටයි සිවුරක් දාලා හිස මුඩුකරපු තෙරණින් වහන්සේගේ චරිතයක් කරන්නේ.  ඒ සඳහා  ගොඩක් කැපකිරීම් කරන්න වුණා. මහන්සිය වගේම කරපු කැපකිරීම් එක්ක හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙයි  කියලා මම විශ්වාස කරනවා.

තෙරණියකගේ චරිතයක් නිසා ද රුවංගි හිස මුඩු කරාද?
එහෙම කළේ නැහැ. මොකද චිත්‍රපටයේ ගිහි ජීවිතයත් නිරූපණය කරන්න තිබුණා.

චිත්‍රපටයේ විශේෂ සිදුවීම් ඇති රුවංගිට?
තෙරණියක් ලෙස නිරූපණය කරන්න හිස මුඩු කළේ නැති නිසා මට තට්ටයක් පලඳින්න සිදුවුණා. මම ප්‍රථම වතාවටයි තට්ටයක් පලඳින්නෙත්. පාන්දර දෙකට තමයි ඒ තට්ටය දාන්නේ. ඒ තට්ටය දාලා පැය පහක් එක දිගට වාඩිවෙලා ඉන්න ඕන. ඊට පස්සේ සවස් වෙනකම්ම මුළු දවසෙම රූගත කිරීම් කරනවා.  ඒ දේ හරිම වෙහෙසකර දෙයක්.

රූගත කිරීම් අවසන් වුණාට පස්සෙ මොකද හිතුණේ?
මට ලොකු සැහැල්ලුවක් දැනුණා. මොකද ගොඩක් වෙහෙසකර වුණා තෙරණියගේ චරිතය රඟපෑමට. ඇත්තට ලොකු සතුටක් තියෙනවා ඒ චරිතය සාර්ථකව කරන්න ලැබිම ගැන.

මීට අමතරව චිත්‍රපටයකට ආරාධනා ලැබුණද?
ඔව්. එක චිත්‍රපටයකට කතා කළා. තවම ඒ ගැන කතාකරමින් ඉන්නේ.

ඉදිරියේදී දිගටම ඉතිහාස කතාවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන්ද ඉන්නේ?
ඔව්. මම කැමතියි විවිධ චරිතවලට රංගනයෙන් දායකවෙන්න. මේ චරිතයට රංගනයෙන් දායකවෙද්දි ගොඩක් දෙනා කිව්වෙ මගේ පෙනුම ඉතිහාස කතාවලට ගැලපෙනවා කියලා. නමුත්  ඉතිහාස කතාවලට ආරාධනා මොන විදියට ලැබෙයිද දන්නේ නැහැ. මම නම් එවැනි චරිත ලැබෙනවට ගොඩක් කැමතියි.

ඔබ රංගනයට එන්නේ සිනමාවෙන්. මේ කාලය තුළ ඔබ සිනමාවට ලබාදුන්න දායකත්වය අඩුයි කියලා හිතෙන් නැද්ද?
එහෙම අඩුයි කියලා හිතෙනවා. මීට වඩා චිත්‍රපට කරන්න ලැබුණ නම් කියලා හිතෙනවා. ආරාධනා ලැබුණත් ලැබුණේ මම කරන්න කැමති ආස විදියේ චරිත ‍නෙවෙයි.

දැන් වැඩිය පේන්න නැත්තේ රංගනය සීමා කරලා තියෙන නිසාද?
එහෙම නැහැ. පහුගිය කාලයේ මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය විකාශනය වුණේ අඩුවෙන්. නමුත් රඟපෑමේ අඩුවක් කරලා නැහැ.

පෙනුම කියන දේ රංගන ශිල්පිනියෙක්ට කොපමණ වැදගත්ද?
පෙනුම කියන්නේ රංගන ශිල්පිනියෙක්ට වැදගත් එක දෙයක් විතරයි.

රුවංගි රූපය වෙනුවෙන් කොච්චර වියදම් කරනවද?
එහෙම ලොකුවට වියදම් කරන්නෙත් නැහැ.  හැබැයි වියදම් නොකර ඉන්නෙත් නැහැ.

වෙනදට වඩා රුවංගි ලස්සන වෙලා තියනවා. මොකක්ද රහස?
ලස්සන වෙලා කියනවා ඇත්තේ මම වෙනදට වඩා කෙට්ටු වෙලා නිසා වෙන්න ඇති. පහුගිය දවස්වල මම ටිකක් විතර මහත් වුණා. ඒ නිසා මම ඒ ගැන ටිකක් හිතලා ඇඟ අඩු කරගන්න අවධානය දීලා තියෙන්නෙ.

ජීවිතයේ වෙනසක් වෙන්න යනවා කියන්නෙ ඇත්තද?
නැහැ. තවම එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ.

ඇත්තද දැන් රුවංගි පෙම්වතියක් කියන්නේ?
ඔව්. දැන් පෙම්වතියක්.

ළඟදී විවාහ වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?
ළඟදි නම් විවාහ වෙන්න අදහසක් නැහැ. තව ටික කාලයක් රංගනයේ යෙදෙන්න තමයි බලා‍පොරොත්තුව.

තිළිණි කරුණාරත්න