“වෛද්‍යවරු මට කිව්වේ අධ්‍යාපන කටයුතුවලට ඇස වෙහෙසවන්න එපා කියලා. වෛද්‍යවරු කිව්වේ කොහොමත් පෙනීම අඩු වෙනවා ඒ නිසා ජීවිතය හදාගන්න කියලා. ඇහැක් දිහා බලාගෙන අධ්‍යාපනය නතර කරන්න ඕනේ නෑ කියලා මම හිතුවා. ඒ නිසා මහන්සිවෙලා මම ඉගෙන ගත්තා.” දෑසම නොපෙනුණත් දරුවන් දහස් ගණනකට සිය දැනුම ලබා දෙමින් ඔවුන්ගේ ඇස් පාදන මංගල මුණසිංහ මහතා ඇස් පෙනෙන කාටත් මනා ආදර්ශයකි.

කුඩා කල දෙඇස් පෙනුණද, තරුණ වියේදී ක්‍රම ක්‍රමයෙන් දෙඇස් නොපෙනී ගියද ඔහු ඉන් පරාජය නොවීය. දහසක් බාධක මැද ඉදිරියට ගිය ඔහු අද උපාධිධාරී ගුරුවරයෙකි. කළුතර අධ්‍යාපන කොට්ඨාසයට අයත් බෝම්බුවල, ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය උගන්වනු ලබන්නේ අපේ කතා නායකයා වන මංගල මුණසිංහ මහතාය.

හත්දෙනකුගෙන් යුත් පවුලක පස්වැනියා මංගලය. සිය ගම් ප්‍රදේශය කළුතර වුවද ඔහුගේ ජීවිතයේ කුඩාකල ගවෛන්නේ සුන්දර නුවරඑළියේය. ඒ ඔහුගේ පියා නුවරඑළිය මහා මාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසාවෙනි.
“මගේ අම්මයි තාත්තයි දෙන්නාම කළුතර. තාත්තා වැඩ කළේ නුවරඑළිය මහා මාර්ග දෙපාර්තමේන්තුවේ. ඒ නිසා අපි නුවරඑළියේ පදිංචි වුණා. අපේ ළමා කාලය සම්පූර්ණයෙන්ම ගත වුණේ නුවරඑළියේ. අම්මලා කියන විදිහට මට උපතින්ම ඇස්වල ආබාධයක් තිබිලා තියෙනවා. මම ‍පොඩි කා‍ලේ ඇවිදිද්දී කාගේ හරි ඇඟේ එල්ලෙනවාලු කළුවරේ පේන්නේ නැති නිසා. මට දිගටම ඒ තත්ත්වය තිබුණා. මොකද ‍පොඩි අඳුරක් සහිත ස්ථානයකදී වුණත් මට පෙනෙන්නේ නෑ. පාසල් යන කාලයේත් මට පෙනීම හොඳටම අඩුයි. කළු ලෑල්ල පෙනිලා මම ඉගෙන ගෙන නැහැ.

කුඩාම දවස්වල නම් පාස‍ලේ කළු ලෑල්ල අසල ඉද්දී කළු ලෑල්ල සාමාන්‍යයෙන් පෙනුණා. ක්‍රම ක්‍රමයෙන් පෙනීම අඩුවුණා. උසස් පෙළ වෙද්දී කළු ලෑල්ලවත් පෙනුණේ නෑ.” මංගල මහතා සිය කුඩා කාලය සිහිපත් කළේ එලෙසිනි.

නමුත් ඔහුගේ  ඇස් පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වුවද උසස් පෙළ වාණිජ විෂයයන්වලින් ඔහු හොඳින් හැදෑරුවේය. අධ්‍යාපන කටයුතුවලදී පාසල් මිතුරන්ගෙන් නොමඳ සහයෝගයක්ද ඔහුට ලැබුනේය. එය ඔහුට මහත් ශක්තියක් විය.
මංගල මහතාගේ පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පැවතියද, ඔහු මිතුරන් සමග සෙල්ලම් පවා කළේය.

“ක්‍රිකට් ගහද්දී යාළුවෝ මාව ක්‍රිකට් ගහන්න පවා එක්කර ගත්තා. සමාජය මාව කොතැනදීවත් වෙන් කොට සැලකුවේ නෑ. ඒක මට ලොකු ශක්තියක් වුණා. පාසල් තූර්ය වාදක කණ්ඩායමේත් මම හිටියා. බාලදක්ෂයකු ලෙසත් කටයුතු කළා. ක්‍රීඩාවලට නම් ලොකු දක්ෂතාවක් දැක්වූයේ නෑ. පාසැ‍ලේ සාහිත්‍ය සංගම්, විවාද කණ්ඩායම ඇතුළු සංගම් කීපයකම කටයුතු කළා.” යැයි මංගල මහතා පාසල් ජීවිතය අවදි කළේය.

“මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ සාමාන්‍ය ළමයෙක් පෙනී සිටින ආකාරයටමයි. විභාගයට ලිව්වෙත් කාබන් පෑනෙන්මයි. හැබැයි අනෙක් ළමයින්ට වඩා මගේ ලිවීමේ වේගය ටිකක් අඩුයි. නමුත්,මම උසස් පෙළ විභාගයෙන් සමත් වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ පීඨයට මම තේරුණා. මම විශ්වවිද්‍යාලයේ පාඩම් කටයුතු සිදුකළේත් සාමාන්‍ය ආකාරයටමයි. මම විශ්වවිද්‍යාලයයේදී පාඩම් කරද්දී අපමණ දුක් වින්දා. හැබැයි යාළුවෝ මට ගොඩාක් උදව් කළා.” යැයි මංගල මහතා පවසන්නේය.

“කාබන් පෑනෙන් ලියද්දී මට එම සටහන් හරිහැටි පෙනෙන එක අඩුවුණා. ඒ නිසා තද පාට පෑන්වලින් ලියන්න පටන් ගත්තා. ප්ලැටිග්නම් හරි පෙල්ට් පෑන් සටහන් ලියන්න පාවිච්චි කරා. මම පාඩම් කළේ වොට් 500ක බල්බ් එකක් ‍පොත කිට්ටුවම තබාගෙනයි. බල්බ් එකේ සැර වැඩි නිසා දාඩිය පෙරාගෙන පාඩම් කටයුතු කළා. මගෙත් එක්ක හිටපු යාළුවෝ බොහෝම සංවේදීව ඒවා ඉවසුවා. මොකද අධි සැර බල්බ් එකක් කාමරයක් ඇතුළේ දැල්වෙද්දී ඔවුන් කාමරය තුළ සිටියෙත් අපහසුවෙන්. යාළුවෝ කවුරුත් විරෝධතා දැක්වූයේ නෑ. මට ඇස් පේන්නේ නෑ කියලා යාළුවෝ කොයිම වෙලාවකවත් මාව පැත්තකට කළේ නෑ.” මංගල මහතා සිය විශ්වවිද්‍යාල ජීවිතය සිහිපත් කළේ එලෙසිනි.

ඔහු එම විශ්වවිද්‍යාලයයෙන් විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂවේදී උපාධිය ලබාගත්තේය. උපාධිධාරියකු වූ ඔහුට එල්ල වූ දෙවන අභියෝගය නම් රැකියාවක් සොයා ගැනීමයි. ඔහුගේ පෙනීම එන්න එන්නම අඩුවීම ඊට හේතු විය. එහිදී විවිධ කෙනෙහිලිකම් රැසකට ඔහුට මුහුණ දීමට සිදුවූවේය.

“මම සර්වෝදය ආයතනයේ “සීඩ්ස්” නමැති ව්‍යාපෘතියේ නුවරඑළිය ගණකාධිකාරිවරයා ලෙස මම ටික කාලයක් වැඩ කළා. මම එතැනින් ස්ථාන මාරුවක් ලබා ගත්තා කළුතරට. මට ලියන කියන වැඩ ටික ටික අඩු වෙද්දී ඒ ආයතනයේ රැකියාවෙන් මම අයින් වුණා. මේ අතරතුරදී ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගය තිබුණා. ඒ 1992 අවුරුද්දේ. මට ඒ විභාගයෙන් ලකුණු 133 ක් තිබුණා. මට හිමිවුණේ බස්නාහිර පළාතේ හත්වැනි ස්ථානයයි. බඳවා ගැනීමට පෙර පුහුණුවක් තිබුණා. මට ඇස් පේන්නේ නැති නිසා ගුරු පත්වීමක් දෙන්න බෑ කියලා බලධාරීන් කිව්වා. නමුත්, ගුරු පුරප්පාඩු පිරවීමේදී ආබාධිතයින්ට සියයට තුනක ඉඩ ප්‍රස්ථාවක් ලබාදෙන බව චක්‍ර‍ලේඛනයේ තිබෙනවා. මම ඒ චක්‍ර‍ලේඛනය උපුටා දැක්වූවා. මම ඒ චක්‍ර‍ලේඛනය අනුව පත්වීම ලබා ගත්තා.” මංගල මහතා කීවේය.

මංගල මහතාට මුල්ම ගුරු පත්වීම ලැබෙන්නේ රත්නපුර, නුගකන්ද මහා විද්‍යාලයටය. එය දුෂ්කර ප්‍රදේශයක පිහිටියේය. සිය ගම් ප්‍රදේශය වූ කළුතර ප්‍රදේශයේ පාසලක් ලබාදෙන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීම් කළත් ඊට ප්‍රතිචාරයක් නොවීය. සබරගමුව පළාත් සභාවෙන් ඔහු කළ ඉල්ලීම පරිදි යළි ඔහුට රක්වාන ප්‍රදේශයේ විදුහලක රාජකාරි කිරීමට අවස්ථාව සැලසිණි. එම පාස‍ලේ ඔහු වසර හතරක කාලයක් සේවය කළේය. පාසැ‍ලේ බාහිර කටයුතුවලට සුවිශාල දායකත්වය දැක්වූවේය. සම්පත් ගුරුවරයකු නිසා ඔහු පාසලෙන් පවා ඉවත් කිරීමට සබරගමුව අධ්‍යාපන බලධාරීන් අකමැති වූහ.

මංගල මහතා බෝම්ඹුවල මහා විද්‍යාලයට සම්බන්ධ වන්නේ 1997 වසරේදීය. ඔහු විදුහ‍ලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම සකස් කරන්නේ විදුහ‍ලේ එකදු සංගීත භාණ්ඩයක්වත් නොතිබියදීය.

“මම මේ පාසලට ඇවිත් 1997 වසරේදීම බටහිර තූර්ය වාදක කණ්ඩායමක් හැදුවා. නමුත්, කිසිම තූර්ය වාදක භාණ්ඩයක් පාසල සතුව තිබුණේ නෑ. අහල පහළ ඉස්කෝලවල විදුහල්පතිවරු හරහා තූර්ය වාදක භාණ්ඩ ඉල්ලාගෙන සිසුන්ව පුහුණු කළා. 1999 වසරේදී කළුතර කලාපයේ පාසල් අතර තූර්ය වාදක සංදර්ශන තරගයක් තිබුණා. අපිට ප්‍රථම ස්ථානය එහිදී ලබාගන්න පුළුවන් වුණා. ප්‍රථම ස්ථානය ගත්තෙත් වෙනත් පාසැල්වලින් ඉල්ලා ගත්ත තූර්ය වාදක භාණ්ඩ භාවිත කරලා. 2010 වසරේදී කළුතර පුරහ‍ලේදී කළා තූර්ය වාදන සංදර්ශනයක්. ඉන් යම් මුදලක් සොයාගෙන මූලික තූර්ය වාදක භාණ්ඩ කීපයක් ගත්තා. පසුව ආදි ශිෂ්‍යයින් අපිට උදව් කළා. 2015 දී අපි ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමක් හැටියට ලියාපදිංචි වුණා.” යැයි මංගල මහතා කියන්නේය.

දෑස නොපෙනුණද ඔහුගේ මග පෙන්වීම නිසා විදුහ‍ලේ ශිෂ්‍ය භට කණ්ඩායමට ජයග්‍රහණ රැසක් ලබාගැනීමට අවස්ථාව ලැබුණි. 2016 වසරේදී ශාරීරික අභ්‍යාස තරලයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය විදුහ‍ලේ ශිෂ්‍ය භට කණ්ඩායමට හිමි වූයේ මංගල මහතාගේ මගපෙන්වීම යටතේය.මේ වසරේදී සමස්ත ලංකා ජයග්‍රහණ තුනක් ලබා ගත්තේය. දක්ෂතම වෙඩික්කරු, දක්ෂතම ආත්ම විශ්වාස ධාවකයා, දක්ෂතම ආත්ම විශ්වාස ධාවක කණ්ඩායම ලෙස ශිෂ්‍ය භට කණ්ඩායම රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු කඳවුරේදී ලබාගත් එම ජයග්‍රහණයන්ය.

“සරඹ සංදර්ශනවලදී සිසුන් ඉන්නා හැඩතල මම සිතින් නිර්මාණය කළා. මොකද ඒවා මම ‍පොඩි කාලයේ දැකලා තිබුණා. මම ‍පොළොවේ ඇඳලා සිසුන්ට ඒවා පෙන්නුම් කළා. පාසැල් දරුවන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.” යැයි මංගල මහතා කියන්නේය.

විදුහ‍ලේ මාධ්‍ය ඒකකය පිහිටුවීමට මූලිකත්වය ගත්තේද මංගල මහතාය. විදුහ‍ලේ ඉවත දමා තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් මාධ්‍ය ඒකකයේ කටයුතු පුළුල් කිරීමට ඔහු කටයුතු කළේය.

“විදුහ‍ලේ අනෙක් ගුරුවරුන්ගේද සහාය ඇතිව අපි අභ්‍යන්තර ඇමතුම් පද්ධතියක් මුලින්ම ස්ථාපිත කරා. 2001 ඔක්තෝබර් මාසයේ සිට උදේ 6.30 සිට 7.30 දක්වා කාලයේදී අපි වැඩසටහනක් ඉදිරිපත් කළා. ටික දවසක් යද්දී මෙය ජනප්‍රිය වුණා. පසුව එය දිවා විවේකයේදීත් සිදුකළා. මේ නිසා ළමුන් කීප දෙනකුට සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගන්නත් පුළුවන් වුණා. මගේ ලොකු පුතා ශිෂ්‍යත්වය සමත්වෙලා නාලන්ද විදුහලට ගියේ. පුතා කිව්වා ගුවන්විදුලි සංස්ථාවේ රේඩියෝ තරංගවලින් නාලන්ද විදුහ‍ලේ ගුවන්විදුලි සේවාවක් අරඹා තිබෙනවා කියලා. මට ඒ අදහස අපේ විදුහ‍ලේ ක්‍රියාත්මක කරන්න ආස හිතුණා. මට පෙර අත්දැකීමක් තිබුණේ නෑ. අපි ට්‍රාන්ස්මීටර්ස් ගෙනැල්ලා පාන්දර 5 සිට රෑ 10 විතර වනතුරු දින තුනක් වැඩසටහන් කළා. පරිගණකයෙන් සිදුවිය යුතු වැඩ කොටස මම විසින්ම සිදුකළා.

වැඩසටහන් පිටපත් ළමුන් ලවාම ලියෙව්වා.2016 වනතුරු මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. අපි 2019 දී මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලා‍පොරොත්තු වෙනවා.” මංගල මහතා මාධ්‍ය ඒකකයේ කටයුතු ගැන එලෙස විස්තර කළෙය.

මංගල මහතා සිය කටයුතු සඳහා පරිගණකය යොදා ගන්නේය. ඔහු භාවිත කරන්නේද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයකි.

“මගේ පරිගණකයේ සොෆ්ට්වෙයාර් එකක් තිබෙනවා. මම පරිගණකය ක්‍රියාත්මක කරපු වෙලාවේ ඉදන් එය මට ඇසෙන සේ රීඩ් කරනවා. උසස් පෙළ මම උගන්වන විෂයේ සටහන් මම සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් සකසා තිබෙන්නේ. සිසුන්ට නිබන්ධන පවා ලබාදෙනවා.” යැයි මංගල මහතා කියන්නේය.

මංගල මහතා විදුහලට ලබාදෙන සේවය පිළිබඳව බෝම්ඹුවල විදුහ‍ලේ විදුහල්පති සරත් එගොඩඋයන මහතා අප සමග කීවේ මෙලෙසිනි.

“මංගල මුණසිංහ මහතා අපේ පාසලට සම්බන්ධ වෙලා අවුරුදු 21 ක් පමණ වෙනවා. ඇස් නොපෙනුණත් ඔහු කරන මෙහෙවර ඉතා විශිෂ්ටයි. ඔහු උසස් පෙළ පන්තිවලට ව්‍යාපාර අධ්‍යයනය විෂය උගන්වනු ලබන්නේ. සාමාන්‍ය පෙළ පන්තියේ ළමුන්ට වාණිජ හා කළමනාකරණය විෂය උගන්වනවා. පාස‍ලේ ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායම මෙහෙයවනවා. මාධ්‍ය ඒකකය භාරව කටයුතු කරන ගුරුවරයාද ඔහුයි. අපේ පාස‍ලේ දරුවෝ ජාතික මට්ටමට පවා යොමු කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ මංගල මහතාගේ කැපවීම නිසයි. පාසැ‍ලේ වාර්ෂික සැලසුම් සකස් කරද්දීත් මංගල මහතාගෙන් සහාය අපමණයි.” යැයි විදුහල්පතිවරයා පැවසීය.

“මගේ කැපවීම නිසා මට අධ්‍යාපනය ජය ගන්න පුළුවන් වුණා. මට අඩු පෙනීම විතරයි. මට වෙනත් හැකියාවන් තියෙනවානේ. ඒ නිසා කොහොමහරි ඉගෙන ගන්න ඕනේ කියලා මම හිතුවා. වෛද්‍යවරු මට කිව්වේ අධ්‍යාපන කටයුතුවලට ඇස වෙහෙසවන්න එපා කියලා. වෛද්‍යවරු කිව්වේ කොහොමත් පෙනීම අඩු වෙනවා ඒ නිසා ජීවිතය හදාගන්න කියලා. ඇහැක් දිහා බලාගෙන අධ්‍යාපනය නතර කරන්න ඕනේ නෑ කියලා මම හිතුවා. ඒ නිසා මහන්සිවෙලා මම ඉගෙන ගත්තා. මට දරුවන්ට කියන්න තියෙන්නේ අපිට ජීවිතයේදී විවිධ අභියෝග එනවා. ඒ අභියෝගය හරහා ජීවිතය ජය ගන්නට අපි මහන්සි විය යුතුයි. සිත ශක්තිමත් කරගත යුතුයි. ඕනෑම දරුවකුට විවිධ ශක්තීන් තියෙනවා. එයාට බැරි දේවල් තියෙන්න පුළුවන්.

ආබාධිත අයට අනුකම්පාව වැඩියෙන් දක්වද්දී ඒ පුද්ගලයා මානසිකව වැටෙනවා. ඒ මනුස්සයා එක පැත්තකින් හීනමානයට ලක්වෙනවා. අපි ඒ අයගේ අවශ්‍ය තැනදී සහයෝගය දෙන්න ඕනේ. ඒක තමයි ආබාධිත කෙනෙක්ව නගා සිටුවන්න තියෙන හොඳම ක්‍රමවේදය. මට මගේ අම්මා, තාත්තා, බිරිඳ, දරුවෝ, යාළුවෝ ඒ හැම දෙනෙක්ම කළෙ ඒ උපකාරයයි. මම කාගේවත් අනුකම්පාව අපේක්ෂා කළේ නෑ. මට මගේ රෙදි ටික පවා හෝදන්න පුළුවන්. ආහාර පිසින්නත් පුළුවන්. ඇස් පේන් නෑ කියන එක මම ජීවිත ගමනට බාධාවක් කරගත්තේ නෑ. අපි අහිමි වූ දේවල් ගැන නොසිතිය යුතුයි.” යැයි මංගල මහතා කීවේ සැමට ආදර්ශයක් ලබාදෙමිනි.

මංගල මුණසිංහ මහතා ජයනි විජේරත්න මහත්මිය සමග විවාහ වන්නේ 1989 වසරේදීය. ඔහු අද දරු දෙදෙනකුගේ පියෙකි. වැඩිමහල් පුතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. දෙවැන්නා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන්නේය. මංගල මහතාගේ සියලු කටයුතුවලදී ඔහුගේ ආදරණීය බිරිඳගෙන් සහ දරු දෙදෙනාගෙන් විශාල සහයෝගයක් ලැබෙන්නේය.

සාලියකුමාර ගුණසේකර
ksaliya@gmail.com

sdfc PSX_20181102_122244 PSX_20181102_122207 IMG-358bc72ba9d7d674fda2646cf554ce7d-V