පහුගිය දවස්වල කවුරුත් කතා කළේ ‘වෙස්’ පෙරළුණු එක ගැනනේ. තවමත් ඒ ගැන කතාබහ නම් අඩුවෙලා  නෑ.  චමීර කියන්නෙ එහෙම වෙස් පෙරළුණු කෙනෙක්. තිරයේ දුෂ්ටයා වෙලා ඉන්න චමීරව රිවිසරසියට එකතු කරගත්තෙත් ඒ ගැන වගේම තවත් තොරතුරු ටිකක් කතා කරන්නයි.

රමේෂ් කියලා කතා කරන්නද? චමීර කියලා කතා කරන්නද?
මම හිතන්නේ චමීරට වඩා මිනිස්සු මාව දන්නේ රමේෂ් නමින්.

ඉතින් කොහොමද ජීවිතේ?
රඟපෑම් කටයුතුත් කරගෙන ජීවිතේ හොඳින් ගත කරනවා.

වෙස්වලට අමතරව මොනවද මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල තුෂාර තෙන්නකෝන් අයියා අධ්‍යක්ෂණය කරන ‘රාවනා’ එක්ක වැඩ කරගෙන යනවා. ලංකාවේ කරන දැවැන්ත නිර්මාණයක් ඒක.

එහි රඟපාන්නේ මොන වගේ චරිතයක් ද?
තමන්ගේ ජාතිය බේරාගන්න කැපවෙලා වැඩකරන රජෙකුගේ පුතෙක් හැටියට තමයි මගේ චරිතය ගොඩනැගිලා තියෙන්නෙ. රාජ්‍යත්වය රැක ගැනීම සහ රටට යහපතක් කිරීමයි එහිදී ඔහුගේ අරමුණ වෙන්නේ.

රමේෂ්ට ලැබෙන ප්‍රතිචාර ගැන කියමු?
පහුගිය කා‍ලේ නම් බැණුම් තමයි ප්‍රතිචාර විදියට ලැබුණේ.  දැන් දැන් ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා.  මොකද චරිතය වෙන පැත්තකට හැරෙන නිසා ප්‍රතිචාරත් හිතුවට වඩා වෙනස් වෙලා දැන්. එහිදී ධනුෂ්ක  රත්නායක අයියා, ඉන්දික ධර්මතිලක අයියා සහ ජනක අයියා කියන ත්‍රිත්වයට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි.

ඔය පෙනුමට නපුරු චරිත ගැළපෙන්නේ නෑ කියලා නැද්ද කවුරුත් කිව්වෙ?
ඒක මට ගොඩක් දෙනෙක් කියන කතාවක්.  ඉතින් මම මාව නපුරු කරගෙන චරිතෙට සාධාරණයක් කරන්නයි උත්සාහ ගන්නේ. නළුවෙක් වුණාම  අභියෝග තමයි සාර්ථක ගමනකට පාර කියන්නේ.

හැමදාම තිරයේ දුෂ්ටයා වෙන්න ද දැන් කල්පනාව?
දුෂ්ටයාම ‍නෙවෙයි. විවිධත්වයකින් තිරයට එන්නයි මම කැමති. අහුවෙන හැම චරිතයක්ම කරන්න යන්නෙත් නෑ.  ලැබෙන චරිතය ගැන ටිකක් විපරම් කරලා නිර්මාණ භාර ගන්න කෙනෙක් මම.

සැබෑ ජීවිතෙත් දුෂ්ටකම්වලින් පිරිලද තියෙන්නේ?
කොහෙත්ම නෑ. සාමාන්‍ය විදියට ‍පොළොවෙ පය ගහලා ඉන්න, නිතරම සතුටින් ඉන්න උත්සාහ ගන්න සරල මනුස්සයෙක් මම.පවු‍ලේ කිසිවෙක් කලාවට සම්බන්ධ නොවී ඔබ කොහොමද මේ වගේ ජනප්‍රියත්වයක් ලබන්නේ.
ඒකට එකම හේතුව කැපවීම තමයි.  දැන් අවුරුදු අටක් තිස්සේ සෑහෙන්න මහන්සිවෙලා කැපකිරීම් කරලා මේ යාන්තම් අඩිය තිබ්බා විතරයි. තව යන්න තියෙන දුර එහෙමමයි.

නළුවෙක් වෙන්නම වගේ බලාගෙන ඉඳලා තියෙන්නේ?
‍පොඩි කා‍ලේ නම් නළුවෙක් වීමේ හීනය අහලකවත් තිබුණේ නෑ. ඕ ලවෛල්වලින් පස්සේ ලබපු යම් යම්  ජයග්‍රහණ එක්ක තමයි දවසක නළුවෙක් වෙනවාමයි කියන උණේ මට හැදුණේ.

ඒ කියන්නේ රඟපෑම වෘත්තිය බවටම පත්වෙයිද?
බොහෝදුරට මම මගේ වෘත්තිය බවට රංගනය තෝරා ගනීවි. නමුත් ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක ඒක ‍ලේසි වෙන්නේ නැහැ. බලමු ඉතින්.. අනාගතේ කොහොම ලියැවිලා තියෙනවද කියලා දැන්ම කියන්න බෑ.

පුංචි තිරයටම කොටුවෙලා ඉන්නද හදන්නේ දිගමට?
මේ ආපු ගමනේ අවසාන ඉලක්කය ‘සිනමාව‘ ඒ තැනට ළඟා වෙන්න තමයි නිතරම මම උත්සාහ කරන්නේ.

කොල්ලෙක් විදියට ලස්සනට ඉන්නත් සෑහෙන්න මහන්සි වෙනවා නේද?
මම එහෙම ලොකු ලොකු පැෂන් කරන්නවත් වෙන වෙන ක්‍රමවලින් කැපීපෙනෙන්නවත් උත්සාහ ගන්න කෙනෙක් නමෛයි. සාමාන්‍ය විදියට සෙරෙප්පු දෙකක් දාගෙන ෂර්ට් එකක් උඩින් දාගෙන ඉන්න අඩුම ගානෙ කොණ්ඩෙවත් පිළිවෙළකට හදාගෙන නැතුව ඉන්න කෙනෙක් මම. නළුවා කියන තැනදී ඒ විදියටත් සාමාන්‍ය ජීවිතේදී අතිශය සරල  විදියටත් ඉන්න කෙනෙක් මං.

පවු‍ලේ විස්තර ගැනත් කතා කරමු
අම්මා, තාත්තා, අක්කා, අයියා සහ මල්ලි කියන ආදරණීයන් තමයි මං ළඟ ඉන්නේ. මගේ හැමදේම වෙන්නේ මගේ පවුල, ඔවුන්ගේ හයිය තමයි මට හැමදාම ආශිර්වාදයක් වෙලා තියෙන්නේ.

පෙම්වතියක් නෑ කීවොත් නම් ඒක බොරුවක්?
නෑ…නෑ… ඇත්තටම මට පෙම්වතියක් නෑ. පෙම්වතියක් එක්ක මේ යන ගමන යන්න හරි අමරුයි.

ඒ මොකද එහෙම කියන්නේ?
පෙම්වතියක් ඉන්නවා කියන්නේ සීමා මායිම් පනවගෙනයි ජීවත්වෙන්න සිද්ධවෙන්නෙ. අහන අහන ප්‍රශ්නවලට උත්තර බඳින්නත් වෙනවා එහෙම කෙනෙක් හිටියා නම්. ඉතින් එහෙම යන්න පුළුවන් ගමනක් නමෛයිනෙ මේක.

එහෙනම් හැමදාම තනියම තමයි ඉන්න වෙන්නෙ?
එහෙම වෙන එකක් නෑ. මාවත්, මගේ වෘත්තියත් තේරුම් ගන්න කෙනෙක් ලැබුණු දවසට ඒ ලැබිම විවාහයකින්ම කෙළවර වේවි.

නඳුනි ආරියවංශ