මේ දවස්වල ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නෙ ඇත්තද?
නිදහසේ පියා චිත්‍රපටයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. බලපු අය හැමෝම හොඳට චරිතය කරලා තියෙනවා කියලා කියනවා. කවුරුත් නරකක් නම් කිව්වේ නැහැ.

ඩී.එස්. සේනානායකයන්ගේ චරිතයට කතා කරද්දි චකිතයක් දැනුණේ නැද්ද?
එහෙම නැහැ කීවොත් බොරුවක්. මට ඒ චකිතය දැනෙන්නෙ මගේ පියා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක් නිසයි. තාත්තලාට විරුද්ධව කටයුතු කළ නායකයකුගේ චරිතය තමයි කරන්න වුණේ. මම ඒ නිසා එකපාරටම හා කියන්න ගියේ නැහැ. මගේ යාළු මිත්‍රයන්ගෙන් අහලා තමයි මම තීරණය කළේ. එහෙම ආවට  ගියාට රංගනය කරන්නෙ නැහැ මම.

මේ සඳහා ඔබතුමාට කොහොමද ආරාධනා ලැබෙන්නේ?
ඒ වෙනකොට මම ටවර්හෝල් එකේ ජයලත් මනෝරත්නයන්ගේ ‘හඬ නිහඬ’ වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදෙමින් හිටියේ. නාට්‍යය අවසන් වුණාට පසුව සුනෙත් මාලිංග ඇතුළු හතර පස් දෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා මේ චිත්‍රපටයට කැමතිද කියලා. ඒ වෙලාවේ මම බලමු කියලා විතරයි කිව්වේ.

බලමු කියලා කියන්නේ දේශපාලන ප්‍රධාන චරිතයක් නිසාද?
මම එකපාරටම ඕනම දෙයකට කැමතියි කියලා නැහැ. මුලින්ම මම බලන්නේ ඒ චරිතය කරන්න පුළුවන්ද කියන එකයි. ඒ චරිතය හදාරන්න ඕන වගේ කරුණු කාරණා තුනක් තියෙනවා. ඒ තුන බලලා තමයි මම කැමති වෙන්නේ.

ඒ චරිතය නිරූපණය කරද්දි අභියෝගයක් වුණේ නැද්ද?
මම උත්සාහ කළේ ඒ චරිතය නිරූපණය කරන්න. එතුමගේ කතා විලාසය, ක්‍රියාකාරකම හැමදේම ඒ විදියට කරන්නයි නිතරම උත්සාහ කළේ. මුළු ප්‍රදේශයක්ම හොල්ලාගෙන හිටපු ඉහළ වලව් පැලැන්තියකින් එන රදළ නායකයෙක් තමයි ඔහු. ඒ මනුස්සයා තමයි ලංකා අග්‍රාමාත්‍යවරයා.

තාත්තගේ දේශපාලන පසුබිම චිත්‍රපටයට බලපෑවේ කොහොමද?
මගේ තාත්තා වැඩ කළේ අධිරාජ්‍ය විරෝධීව. ඔහු නිතරම ගත්තේ කම්කරුවගේ පැත්ත. ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, සැලීනා පෙරේරා යන නායකයෝ එක්ක තමයි තාත්තා හිටියේ. ඒ අයත් එක්ක කරපු සටන්වල ඉතිහාසය ගැන තාත්තා ලියපු සටහන් වගයක් මා ගාව තියෙනවා. ඒකත් මට ප්‍රයෝජනවත් වුණා චරිතය ගොඩනගා ගන්න. පතිරාජයන් මට උදව් කරනවා ගොඩක්ම. එක ගීතයක් රූ ගැන්විලා ඉවරවෙලා නිකුත් වුණා, පින්තූර කීපයක් දැකලා ඔහු මට කීවා ඔබේ බඩ වැඩියි අඩුකර ගනින් කියලා. ඒ වගේම පෞරුෂය හදාගන්න කියලා.

ඔබයි ධර්මසේන පතිරාජයන් අතර තියෙන්නේ සමීප ඇසුරක්. කොහොමද ඒ සඳහා අඩිතාලම වැටෙන්නේ?
විජය කුමාරතුංග නැවතිලා හිටියේ අපේ ගෙවල් ළඟ. ඔහු ඒ කා‍ලේ එතැනින් පයින් යනවා. ඔහුගේ නවාතැනට නිතරම ලංකාවේ 1970 ගණන්වල හිටපු දක්ෂ කලාකාරයෝ එක්රොක් වෙනවා. මමත් එතැනට එකතුවෙලා ධර්මසේන පතිරාජයන් එක්ක දැඩි මිතුරුදමක් ඇති කරගන්නවා. ඒ ඇසුර ඔහු මියයනකම්ම අපි අතර ඒ මිත්‍රකම තිබුණා.

මේ චිත්‍රපටය රූගත කිරීම් අතරතුර අමතක නොවන සිදුවීම් ඇති?
පතිරාජයන් මිය යන්න මාස දෙකකට තුනකට කලින් මගේ උපන් දිනේට ඔහු මගේ නිවසට ආවා. එතකොටත් ඔහු අසනීප තත්ත්වයේ හිටියා. එතැනදි ඔහු කීවේ බඩ හදාගනින් චිත්‍රපටයේ චරිතයට හරියන්න කියලා. ඒ හදාගත්ත බඩ තවමත් බස්ස ගන්න බැරුව හිටියේ. ඒ සඳහා මම ව්‍යායාම නතර කරලා, කෑමවේලත් වැඩි කළා. ඒ වගේම මගේ වයසත් එක්ක මට අශ්වයෝ පදින්නත් පුරුදු වුණා. ඒ සේරම ජයගත්තා. එක තැනකදි මගේ ඇඟිල්ල කැපුණා අශ්වයාගේ බඳ පටියේ ගාංචුවට කැපිලා. ඒ දර්ශනය වෙලාවෙත් මම අමාරුව දරාගෙන ඒ දර්ශනය සාර්ථක ලෙස රඟපෑවා. ඒ දේවල් කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඒ විදියටත් තරුණයන්ට චෝදනා තියෙනවා. මේ සඳහා රජයේ මැදිහත් වීමක් තියෙන්න ඕන. ‍පෝලිම් පැනපු චිත්‍රපට ගොඩක් තියෙනවා. පාලකයෝ දැන ගන්න ඕන ඔය ‍පෝලිම පැන්න කියලා කියන ගැටලුවට මැදිහත්වෙලා මේ ප්‍රශ්නය විසඳන්න.

මීට අමතරව ඔබ චිත්‍රපටවල රංගනයෙන් දායක වුණේ නැද්ද?
චිත්‍රපට හයකට පමණ රංගනයෙන් දායක වුණා. කැලණි විශ්වවිද්‍යාල පාඨමාලාවක අවසන් පැවරුම ලෙස කරපු විය සිදුර චිත්‍රපටයට මම රංගනයෙන් දායක වුණා. ඒකට විශ්වවිද්‍යාලය මුදල් යෙදෙව්වා. අග්නිදිග ආසියාවේ ප්‍රථම වතාවටයි එහෙම දෙයක් වුණේ. එහි ප්‍රබල චරිතයකට රංගනයෙන් දායක වෙන්න ලැබිමම මට ලැබුණු භාග්‍යයක් ලෙසයි මම දකින්නේ.

චරිත තෝරා බේරා ගැනීමේදී ඔබ වැඩි අවධානයක් යොමු කරන්නේ පිටපතට කියන්නේ ඇත්තද?
ඔව් ඒක ඇත්ත. ඒ වගේම අධ්‍යක්ෂවරයටත් අවධානයක් යොමු කරනවා. මම මුල්වරට කැමරාවක් ඉදිරියට ගෙනිහිල්ලා මාව හැසිරෙව්වේ ධර්මසේන පතිරාජයන්. ඒ 1985 ගඟුල ටෙලි නාට්‍යයෙන්. අද වෙනකොට ටෙලි නාට්‍ය හැත්තෑවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. චිත්‍රපට විස්සක් විතර වගේම වේදිකා නාට්‍ය 20කට දායක වෙලා තියෙනවා. පතිරාජයන්ගේ හැම වැඩකටම මම සම්බන්ධ වෙන්නෙ බොහොම කැමැත්තෙන්. මොකද එතුමා තමයි ලංකාවේ පහළ වෙච්ච විශිෂ්ටතම නිර්මාණකරුවා. ඔහු සමාජයට පණිවිඩයක් ලබාදෙන නිර්මාණයි කළේ. අද තිරපත් අඩු වුණත් තරුණ පරපුර තුළ ඉතාමත් හොඳ දක්ෂයෝ ඉන්නවා. ඒ නිසා ඉදිරි පරම්පරාව හොඳ තැනක ඉන්නවා කියලා ආඩම්බර වෙන්න පුළුවන්.

ඔබ වේදිකාවට ලබාදෙන දායකත්වය අඩුවෙලා තියෙන්නේ ටෙලි නාට්‍යවලට වැඩි ඉඩක් වෙන් කරන නිසාද?
ඔව්. ටෙලි නාට්‍ය නිසා මාසයක් දෙකක් ඒ සඳහා කාලය යොදවන්න වෙනවා. ඒ නිසා වේදිකාවට යොමුවෙන ඉඩ සීමා වුණා. දැන් අවුරුදු පහක කාලයක ඉඳලා වේදිකාවට වැඩි ඉඩක් වෙන් කරලා තියෙනවා. අලුත් වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙනවා.

ක්ෂේත්‍රයට එකතුවෙලා ඉන්න නවකයෝ ගැන මොකද හිතෙන්නේ?
දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඒ අය හැමදේම අධ්‍යයනය කරනවා. ඔවුන්ගේ දැනුමත් එක්ක අපි දන්නේ මොනවද කියලා හිතනව. නවකයන්ගේ මනස සංස්කෘතිමය වශයෙන් හැඩගැසී ඇති ආකාරය ගැන ඇතැම් වෙලාවට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඇතැම් වෙලාවල්වලට ඔවුන්ගේ දක්ෂතා අපිව මවිත කරනවා. ඔවුන්ට අපි අත හිත දෙන්න ඕන. ඔවුන්ගේ හිත රිද්දන්න හොඳ නැහැ.

ඔබ ක්ෂේත්‍රයට එකතුවෙලා වසර තිහකටත් වැඩියි. ඒ ගමන ගැන ඔබ  තෘප්තිමත්ද?
ඔව් ඇත්තටම ඒ ගමන තෘප්තිමත්.

පියාගේ අඩිපාරේ යමින් දේශපාලනයට එකතු වෙන්න අදහසක් තිබුණේ නැද්ද?
එහෙම ගොඩක් අය ලංකාවේ ඉන්නවා. මම හිතන්නෙ නැහැ ඒ හැම කෙනෙක්ම සාර්ථක වුණා කියලා. තාත්තා කරපු පලියට මම කරන්නම ඕන කියලා නැහැ. දේශපාලන දහරාව ගැන වගේම එහි ගමන් මග ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන.

රංගන ක්ෂේත්‍රයට එකතු වෙනවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?
එහෙම නැහැ. මගේ ලොකු අම්මා මම රඟපාපු ටෙලි නාට්‍යයක දැකපු ගුටිකන දර්ශනයක් නිසා ඇය මට කීවා ඇයි පුතේ එක එකාගෙන් ගුටි කන්න යන්නේ ආපහු යන්න එපා කියලා. එයාට හිත් වේදනාවක් ඇවිත් ඒ ගුටි කන දර්ශනය නිසා. මම හරි උපේක්ෂාවෙන් ඇය දිහා බැලුවා. ඒ ඇරෙන්න කවුරුත් විරුද්ධ වුණේ නැහැ.

තිළිණි කරුණාරත්න

asd asdfh