දුටුගැමුණු රජතුමාට දස මහා යෝධයින් සිටියේය. ඔවුන් එකිනෙකා විවිධ දස්කම් දැක්වීමට සමත් වූවේය. අතීතයේදී කන්ද උඩරට රාජධානියේද දක්ෂ සටන්කරුවන් සිටියේය. හඟුරන්කෙත ඩිංගිරාල ඉන් එක් අයකු ලෙස හඳුන්වාදිය හැකිය. අතීතයේ සිටි යෝධයින්ගේ ඉතිහාස ‍පොත අලුත් කරන්නට තවත් යෝධයකු හඟුරන්කෙතින් බිහිවී සිටින්නේය. ඔහු නමින් ජනක කාංචන මුදන්නායකය. ගිනස් වාර්තා හතරකට උරුමකම් කියන ජනක කාංචන මේ වසරේ දෙසැම්බර් මාසයේදී නව ගිනස් වාර්තාවක් තැබිමට මේ දිනවල පුහුණුවීම් කටයුතුවල නිරත වන්නේය.

කරාතේ නිර්මාතෘ, ජපන් ජාතික මාස්ටර් ඔයාමා විසින් කිලෝග්‍රෑම් 30ක් බරැති අයිස් කුට්ටි 30ක් අඩි 15ක් උසක සිට සිය ඇඟට (උදරය දෙසට) දමාගෙන ගිනස් වාර්තාවක් තැබුවේය. සිය සිරුර මත කිලෝ 350ක බරක් තබාගෙන අඩි 20 ක උසක සිට කිලෝ 50 ක් බරැති අයිස් කුට්ටි 50 ක් සිය  ඇඟ මතට දමාගෙන මාස්ටර් ඔයාමා විසින් තබන ලද ගිනස් වාර්තාව බිඳ දැමීම ජනක කාංචනගේ මීළඟ ගිනස් වාර්තා බලා‍පොරොත්තුවයි. ජනක එම ගිනස් වාර්තාවේ පෙරහුරුවක් පසුගියදා ‍පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටියේදී සිදු කළේය.

හඟුරන්කෙත ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට අයත් කිතුල්පේ ගම් ප්‍රදේශයේ උපන් ජනක කාංචන පල්‍ලේබෝවල මහා විද්‍යාලයෙන් සහ ‍පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු හැදෑරුවේය. ජනක කාංචන කුඩා කාලයේ සිටම විවිධ ක්‍රීඩාවන් සඳහා යොමු වූවේය. මල්ලව‍පොර සහ බොක්ෂිං ක්‍රීඩා සඳහා ඔහු වැඩි කැමැත්තක් දැක්වූවේය. ජනක කාංචන සිය පියා වන ගාමිණී වසන්ත කුමාර මහතාගේ මග යමින් අද ගිනස් වාර්තා පිහිටුවීමට දස්කම් දක්වන්නේය.

ජනකගේ පියා වන ගාමිණී වසන්ත කුමාර පිළිබඳව ලංකාවේ නොදන්නා කෙනකු නැත. ඔහු සිය දත්වලින් කෝච්චියක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවූවේය. කිලෝ 50 හාල් මිටි 50ක් යාර 100 ක් කටින් ඇදගෙන ගොස් වාර්තාවක් තැබුවේය. එමෙන්ම, අයිස් කුට්ටි 50ක් අඩි 17ක උසක සිට සිය පපුවට දමාගෙන ලෝක වාර්තාවක් තැබුවේය. එවන් දස්කම් දැක්වූ ඔහු සිය දිවියෙන් සමුගත්තේ හෘදයාබාධයක් නිසාවෙනි. සිය පියාගේ මග යමින් ජනක කාංචන සිය දස්කම් දක්වන්නේය.

ජනක කාංචන මේ වන විට ගිනස් වාර්තා හතරක් තබා ඇත. ටොන් එක හමාරක් බැගින් බරැති එල් 300 වෑන් 32ක් අතේ ඇඟිලි ආධාරයෙන් ඇදගෙන යාම ජනක විසින් තබන ලද පළමු ගිනස් වාර්තාවයි. එම වාර්තාව ඔහු තබන ලද්දේ 2011 වසරේදීය. දෙවන ගිනස් වාර්තාව නම් මිලි මීටර් 12 ක් ඝනකම යකඩ කම්බි 18 ක් විනාඩියකදී සිය දත්වලින් නැවීමයි. ඔහු එම ගිනස් වාර්තාව තබනු ලැබුවේ ඉකුත් වසරේදීය (2017). කිලෝග්‍රෑම් 50 ක් බරැති තිරිඟු පිටි බෑග් 17 ක් විනාඩි 30 ක් ඇතුළතදී මීටර් 30 ක් දුර දත්වලින් ඔසවාගෙන ගොස් ගිනස් වාර්තාවක් තැබිමටද ජනක දස්කම් දැක්වූවේය. යකඩ කම්බි 22ක් තත්පර 48 ක් ඇතුළතදී හිස ආධාරයෙන් නවා ජනක කාංචන සිය සිව්වැනි ගිනස් වාර්තාවද තැබුවේය. ස්වාධීන රූපවාහිනී සේවය මගින් සංවිධානය කරන ලද යූත් ටැලන්ට් වැඩසටහනට සහභාගි වී ඔහු ජයග්‍රහණය හිමිකර ගත්තේය.

“මම ගිනස් වාර්තා 18ක් තැබිමට බලා‍පොරොත්තු වෙනවා. ඒ සඳහා ගිනස් ආයතනයෙන් මම අයැදුම් කර තිබෙනවා. ඒ සඳහා මට අනුමැතිය ලැබිලත් තිබෙනවා. ටොන් 280ක් බරැති නැවක් දත්වලින් ඇදගෙන යාම, ටොන් 200ක් බරැති දුම්රියක් කටින් ඇදගෙන යාම, ටොන් 19ක් බරැති ගුවන් යානයක් දත්වලින් ඇදගෙන යාම, ටොන් එකහමාරක් බරැති වාහනයක් තත්පර 12කදී මීටර් 30ක් දත්වලින් ඇදගෙන යාම, මිලිමීටර් 16 යකඩ පට්ටම් විනාඩියකදී වැඩිම ප්‍රමාණයක් ඇඟිලි ආධාරයෙන් නැවීම ඇතුළු නව ගිනස් වාර්තා 18ක් තැබිමට මම බලා‍පොරොත්තු වෙනවා.” යැයි ජනක කාංචන පවසන්නේය.

ලෝකයේ සවිමත්ම දත් දෙපළකට ජනක හිමිකම් කියන්නේය.
“දත් කියන්නේ සාමාන්‍යයෙන් බිස්කට් වගේ දෙයක්. ‍පොඩ්ඩක් ඇත්නම් කඩලා යන්න පුළුවන්. මම වෙනම දන්තා‍ලේප භාවිත කරනවා. මුඛ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙනවා. දත්වලින් රඳවා ගන්නවා වගේම දරා ගන්නේ හක්කෙන්. හක්කේ ශක්තිමත් භාවය ඉතා වැදගත් වෙනවා. අපේ උත්පත්තියෙන්ම එහි විශේෂත්වයක්, ශක්තිමත් භාවයක් තිබෙනවා. මගේ තාත්තලා, අත්තලා, මුත්තලා හැම දෙනාම ශක්ති සම්පන්න අයයි. බෙල්‍ලේ සහ පිටුපස මාංශපේශීවල අනෙක් පුද්ගලයින්ට වඩා විශේෂ පිහිටීමක් තිබෙනවා. ඒක පරීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙන්නේ. අපේ පරපුරේ මාංශ පේශීන්වල තන්තු ප්‍රමාණය වැඩියි. කටින් වාහන ඇද්දාට දරා ගන්නේ බෙල්ලෙන්. බෙල්‍ලේ මාංශ පේශීන්වල ශක්තිමත්කම නිසා තමයි එයාකාරයෙන් වාහන අදින්න පුළුවන් වෙලා තියෙන්නේ. යැයි ජනක කියන්නේය.

ජනක මෙම සෑම ගිනස් වාර්තාවක්ම තබන්නේ අවදානමක්ද දරාගෙනය. ඔහු මේ සම්බන්ධව මෙසේ කියා සිටියේය.
“හැම ක්‍රීඩාවකම අවදානම් තත්ත්වයක් තිබෙනවා. මීටර් 100 දිව්වත්, මල්ලව ‍පොර කලත්, බොක්ෂිං කළත්, හැම ක්‍රීඩාවේම අවදානම් තත්ත්වයක් තිබෙනවා. ඒක වළක්වා ගන්න තමයි හොඳට පුහුණුවීම් කළ යුත්තේ. ක්‍රීඩාවට නිසියාකාරව තාක්ෂණය භාවිත කිරීම වැදගත් වගේම ක්‍රීඩා කටයුතුවලදී ඊට අවශ්‍ය ආහාර ගැනීම වැදගත්. වෛද්‍යවරුන්ගේ සහ පුහුණුකරුවන්ගේ උපදෙස් ලබාගෙන ක්‍රීඩාවේ නිරත වෙනවා නම් අවදානම් තත්ත්වය අඩුයි.” යැයි ජනක කාංචන පවසන්නේය.

“අපි ක්‍රීඩයෙක් විදිහට දිනපතා ගන්න ඕනේ කැලරි ප්‍රමාණයක් තිබෙනවා. ‍ප්‍රෝටීන් ප්‍රමාණයක් තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් ආහාර ගන්න විදිහට අපිට ඒ කැලරි ප්‍රමාණය සහ ‍ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න බෑ. මගේ ක්‍රීඩා කටයුතුවලටත් හදපු ආහාර වට්ටෝරුවක් තිබෙනවා. ඒ වට්ටෝරුව හරියට ගන්නවා නම් මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැය වෙනවා. මම එය සමබරව කරගෙන යනවා.” යැයි ජනක පවසන්නේය.

ජනකගේ පුහුණුකරු ලෙස ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙකු වන රනිල් හර්ෂණ මහතා කටයුතු කරන අතර වෛද්‍ය දුෂාන්ත විජේසිංහ මහතා ජනකගේ ක්‍රීඩා කටයුතු සඳහා වෛද්‍ය උපදෙස් නොමි‍ලේ ලබා දෙන්නේය.
ජනක සිය ගිනස් වාර්තා පිහිටුවීමේ කටයුතුවලදී අමතක නොවන සිද්ධීන් රැසකටද මුහුණපා සිටින්නේය.

“මම වරෙක් ලෝක වාර්තාවක් කරන්න ගියා ටොන් තුනක් බර වාහන නවයක් ඇඟ මතින් ධාවනය කරමින්. ඒ වාර්තාවේදී හතරවන වාහනය මගේ ඇඟ උඩ නතර වුණා. වාහනය තත්පර 15ක් විතර මගේ ඇඟ උඩ නතර වුණා.

රියැදුරා එම අවස්ථාවේදී රියැදුරුගේ මානසිකත්වය ඊට බලපෑවා. තාක්ෂණික ගැටලුත් බලපෑවා. මම ඒ වාර්තාව ඉදිරියේදී තැබිමට බලා‍පොරොත්තු වෙනවා. දෙවැනි සිද්ධිය තමයි මම කෝච්චිය අදින වෙලාවේ  කඹය සවි කරලා තිබුණු ඇණය බුරුල් වීමෙන් මම අඩි ගාණක් විසි වී ගියා. වෙලාවට සිල්පර කොටන්වල මගේ හිස වැදුණේ නෑ. ඒ වගේ ගොඩාක් සිද්ධීන් තිබෙනවා.” යැයි ජනක කීවේය.

“මගේ මවත්, බිරිඳත් මේ දේවල් කරනවාට එතරම් කැමැත්තක් නෑ. ඔවුන්ගේ හිතේ බයක් තියෙනවා. මගේ අම්මා මගේ වාර්තාවන් සජීවීව බලන්නේ නෑ. පත්තරෙන් හෝ රූපවාහිනියෙන් තමයි බලන්නේ. මම වාර්තාව තබන ස්ථානයට ආවත් පැත්තකට වෙලා ඉන්නේ. බිරිඳත් එහෙමයි. මම දැඩි විශ්වාසයකින් යුතුවයි මම මේ දේවල් කරන්නේ. මම මේ වාර්තාව පෞද්ගලිකව තැබුවාට එය රට වෙනුවෙන් කරන්නේ. මගේ හැකියාව අනුව මගේ රට වෙනුවෙන් යමක් කිරීමයි මගේ බලා‍පොරොත්තුව.” ජනක කියන්නේය.

ජනක වරාය අධිකාරියේ සේවයේ නිරතව සිටින්නේය. නමුත් එම අධිකාරියෙන් පූර්ණ අනුග්‍රහයක් ජනකට ලැබි නැත.
“මට අනුග්‍රාහකයෙක් නෑ. යාළුවන්ගෙන් ලැබෙන සහයෝගයෙන් තමයි මම මේ කටයුතු කරගෙන යන්නේ. වරාය අධිකාරිය රාජකාරි මට්ටමෙන් මට උදව් කරනවා. මම රජයේ සේවකයෙක්. මට ලැබෙන්නේ මාසික පඩියක්. මට දරුවෙක් ඉන්නවා. ඒ අය ජීවත් කරන්නත් ඕනේ. ක්‍රීඩාවක් කරද්දී ගන්න ඕන ආහාර තියෙනවා. වෛද්‍ය පරීක්ෂණ තියෙනවා. සපත්තු ගන්න ඕනේ. ඇඳුම් පැලඳුම් ගන්න ඕනේ. මම කම්බි නමන රෙකෝඩ් එක කරද්දී පෙර පුහුණුවීම් කරා 37 වරක්. ඒ හැම වාරයකටම කම්බි 20 ගානේ භාවිත කළා. මේ හැමදෙයකටම මුදල් වැය කරන්න සිදුවුණා.” යැයි ජනක කීවේය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail.com

3