ආණ්ඩු පෙරළිය සිදුවන විට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතා සිටියේ විදෙස් ගතවය. ඔහු මෙරටට එන්නේ 28 වැනිදාය. ඒ වන විට ඔහුගේ ඇමැති ධුරය අහෝසි වී හමාරය. එදින උදෑසන ඔහු මෙරටට පැමිණි පසු මුලින්ම සිදුකළේ සිය අමාත්‍යාංශ ‍ලේකම්වරයාට දුරකථනයෙන් කතා කිරීමය. ඒ අමාත්‍යාංශයේ සිය කාමරයේ තිබෙන යතුරු කීපයක් ලබා ගැනීම සම්බන්ධවය. ඊට හේතුව නම් අමාත්‍යාංශයේ කාමර මුද්‍රා තබා තිබිමය. අමාත්‍යාංශ ‍ලේකම්වරයා හිටපු අමාත්‍යවරයාට කියා සිටියේ යතුරු ගැනීම සඳහා අතිරේක ‍ලේකම්වරයකු අමාත්‍යාංශයට වහා එවීමට කටයුතු කරන බවත්, එතෙක් අමාත්‍යාංශයේ රැඳී සිටින ලෙසත්ය.

හිටපු අමාත්‍යවරයා සිය ආරක්ෂකයින් ඇතුළු පිරිසක් සමග දෙමටගොඩ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 28 වැනිදා සවස ගියේය. අමාත්‍යාංශ කාර්යාලය පිහිටා ඇත්තේ එහි හතරවන මහලෙහිය. හිටපු අමාත්‍යවරයා සංස්ථාවේ කාමරයට වී සිටියේ අතිරේක ‍ලේකම්වරයා පැමිණෙන තුරුය. නමුත් කිසිවකු නොසිතූ පරිදි ඇතිවූයේ නොසන්සුන්කාරී තත්ත්වයකි.

හිටපු ඇමැතිවරයා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණීමත් සමග සේවකයින් මහත් නොසන්සුන්තාවට පත්වූහ. හිටපු අමාත්‍යවරයාත්, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සහ ඛනිජ තෙල් සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වන්නට විය. වෙලාව සවස 3.50 පමණ විය. කවුරුත් නොසිතූ පරිදි වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර, ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් තිදෙනකු වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූහ. මේ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තව තවත් ගිනියම් විය. ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ඇමැතිවරයා කාමරය තුළ පැය දෙකකට වැඩි කාලයක් සිරකර තැබූහ.

මෙම වෙඩි තැබිම සිදුකරනු ලැබුවේ ඇමැති ආරක්ෂකයකු වූ ‍පොලිස් සැරයන්වරයකු විසිනි. අනෙක් කරුණ නම්, මෙම වෙඩි තැබිම සිදුවන්නේ දෙමටගොඩ ‍පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ‍පොලිස් කණ්ඩායමක් පැමිණ සිටියදීය. වෙඩි තැබිම සිදුවන්නේ දෙමටගොඩ ‍පොලිසියේ නිලධාරීන් ඉදිරිපිටදීය. මෙම වෙඩි තැබිමෙන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ආර්.ඊ.ඒ.රාජපක්ෂ (36), කොළඹ 10,මාලිගාවත්ත බෝධිරාජාරාම මාවත පදිංචි නාලක රුක්මල් (41) ඇතුළු තිදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. වෙඩි වැදීමෙන් රාජපක්ෂ සහ නාලක රුක්මල්ගේ තත්ත්වය බරපතළ හෙයින් ඔවුන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. නමුත්, එදින පස්වරු 6.45 ට පමණ අසන්නට ලැබුණේ කවුරුත් බලා‍පොරොත්තු නොවූ පුවතකි. එය නම් වෙඩි ප්‍රහාරයට ලක් වූ රංගන පුෂ්ප කුමාර රාජපක්ෂ මියගිය බවය.

සිය සහෝදර සේවකයකු වූ රංගනගේ මරණය නිසා ඛනිජ තෙල් සංස්ථා සේවකයින් දැඩි කැළඹීමට පත්වූහ. ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක යන මහත්වරුන් එම ස්ථානයට පැමිණියහ.

වහාම කැරලි මර්දන කණ්ඩායම් සහ ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සංස්ථා පරිශ්‍රයට කැඳවීමට ඉහළ ‍පොලිස් නිලධාරීන් කටයුතු කළහ. කාමරයක් තුළ සිරකරගෙන සිටින හිටපු අමාත්‍යවරයා මුදා ගැනීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. අවසානයේදී ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමක් හිටපු අමාත්‍යවරයාට අන්දවා සූක්ෂම ලෙස ඔහු කාමරයෙන් පිටතට ගැනීමට එම බළකායේ නිලධාරීන් කටයුතු කළහ. ඒත් එක්කම වෙඩි තැබූ ඇමැති ආරක්ෂක ‍පොලිස් සැරයන්වරයා වහා අත්අඩංගුවට ගැනීමට දෙමටගොඩ ‍පොලිසිය කටයුතු කළේය. දැන් ඔහු සිටින්නේ රිමාන්ඩ් භාරයේය. දෙමටගොඩ ‍පොලිස් ස්ථානාධිපති විජිත පෙරේරා පවසන්නේ තමන් වෙඩි නොතබන ලෙස කියද්දී ඇමැති ආරක්ෂකයා වෙඩි තැබූ බවය.

මට යාළුවෝ දෙන්නෙක් කතා කරලා කිව්වා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හතළිහකගෙන් පමණ යුතු කණ්ඩායමක් සමග සංස්ථාවට ඇවිත් වාහනයකට ෆයිල් පටවනවා කියලා. මම වහාම සංස්ථාවට ආවා. ඒ වෙලාවේ හිටපු ඇමැතිවරයාත් එළියට ආවා. ඇමැතිගේ පිරිස මාව ඇදලා දැම්මා. මට පහර දුන්නා. දෙමටගොඩ ‍පොලිසියේ ස්ථානාධිපති කිව්වා වෙඩි තියන්න එපා කියලා. ඒ වචනයවත් අහන්නේ නැතිව ඇමැතිගේ ආරක්ෂකයෙක් වෙඩි තිබ්බා. ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශය එසේ තහවුරු කරන්නේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේය.

මම පිටරට ඉඳලා 28 වැනිදා උදේ ලංකාවට ආවේ. සංස්ථාවේ හතරවැනි මහ‍ලේ මගේ අමාත්‍යාංශ කාමරය පිහිටා තිබෙන්නේ. මම අමාත්‍යාංශයේ ‍ලේකම්ට කිව්වා මගේ යතුරු ටික ගන්න කවුරුහරි එවන්න කියලා. එතුමා කිව්වා පැය භාගයක් ඇතුළතදී අතිරේක ‍ලේකම්වරයෙක් එවන්නම් කියලා. මම සංස්ථාවේ පහළ මහ‍ලේ වාඩිවෙලා ඉද්දී නාගරික මන්ත්‍රී කෙනෙක් බිලා ඇවිත් මට නරක විදිහට කතා කළා. මගේ ආරක්ෂකයින් ඔහුව එළියට දැම්මා. වැඩ තහනමට ලක්ව සිටින වෘත්තීය සමිති නායකයෙක් ඇතුළු පිරිසක් යකඩ ‍පොලු, ක්‍රිකට් පිති අරගෙන මට පහර දෙන්න ඇතුළට එන්න උත්සාහ කළා. මම හිටියේ කුඩා කාමරයක. මගේ ආරක්ෂක අංශයේ කෙනකුගේ පිස්තෝලය උදුරනකොට එයා පිස්තෝලයෙන් වෙඩි තියලා තියෙනවා. ඔවුන් මාව පැය තුනක පමණ කාලයක් සිරකරගෙන හිටියා. මගේ ආරක්ෂකයින් සිටින්නේ මාව ආරක්ෂා කිරීමටයි. මියගිය පුද්ගලයා ගැන මම කනගාටු වෙනවා. යැයි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග කියන්නේය.

මෙම වෙඩි තැබිමට විරෝධය දක්වමින් සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ඉකුත් 28 දා රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ඇරඹූහ. ඉන්ධන බෙදා හැරීම ඇතුළු කටයුතු නවතා දමන බව ඔවුහු කියා සිටියහ.මෙම වර්ජන තත්ත්වයත් සමග දිවයින පුරා ඉන්ධන හල් අසල දිගු ‍පෝලිම් දක්නට විය.29 වැනිදා දහවල් වෙද්දී ඉන්ධන හල් බොහොමයක ඉන්ධන තොග අවසන්ව තිබුණි. ඉන්ධන හල් අසල දැඩි රථ වාහන තදබදයක්ද විය.ඒ තත්ත්වය මත ඇමැති ආරක්ෂකයා පමණක් අත්අඩංගුවට ගෙන බලා සිටීමට ‍පොලිසියට ඉඩක් නොවීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 29 වැනිදා සවස හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගත්තේය.කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී ඔහු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරියේය.

ඛනිජ තෙල් සංස්ථාවේ නොසන්සුන්කාරී තත්ත්වය ඒත් එක්කම අවසන් වූවද අවසානයේ කුඩා දරුවෙකුට ආදරණීය පියකු සේම, බිරිඳකට ආදරණීය සැමියකු සදහටම අහිමි වී ගියේය. වෙඩි වැදී මියගිය රංගන පුෂ්ප කුමාර රාජපක්ෂගේ අවසන් කටයුතු ඉකුත් 31 වැනිදා ගම්‍පොළදී සිදු කෙරුණි. ඔහුගේ දෙහැවිරිදි දරුවාගේ උපන් දිනය මෙමස පළමුවැනිදාට යෙදී තිබූ නිසා අවසන් කටයුතු 31 දා සිදු කිරීමට පවු‍ලේ ඥාතීන් තීරණය කළහ.

මගේ මහත්තයා නිවාඩුවට ගෙදර ඇවිත් ආපසු වැඩට ගියේ පසුගිය 22 වැනිදායි. මගේ මහත්තයා කාටවත් කරදරයක් කරන කෙනෙක් නොවෙයි. වැඩට ගිය මගේ මහත්තයාට මේ අපරාධය කළ සියලුදෙනාම අත්අඩංගුවට අරගෙන මහත්තයාට සාධාරණය සිදුකරන ලෙසයි මම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ. යැයි වෙඩි වැදී මිය ගිය ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයාගේ බිරිඳ වන ගම්‍පොළ කලාප අධ්‍යාපන කාර්යාලයයේ සේවයේ නියුතු ධනුෂිකා බණ්ඩාරනායක මහත්මිය හැඬූ කඳුළින් කියා සිටියාය.

වෙඩි වැදීමෙන් මිය ගිය රංගන පුෂ්ප කුමාර රාජපක්ෂ 36 හැවිරිදි එක්දරු පියෙකි. ඔහු කුරුණෑගල, ඇඹෝගම ප්‍රදේශයේ උපන් අයෙකි. සිය විවාහයෙන් පසු සිය බිරිඳගේ ගම්ප්‍රදේශය වන ගම්‍පොළ, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචියට ඔහු පැමිණියේය.

රංගන ඛනිජ තෙල් සංස්ථාවේ සේවයට සම්බන්ධ වී ඇත්තේ 2005 වසරේදීය. ඔහු කා සමගත් සුහදව කටයුතු කළ අයකු බව ප්‍රදේශවාසීහු කියා සිටිති.
රංගනගේ බිරිඳ වැඩිදුරටත් මෙසේද කියා සිටියාය.

සිද්ධිය වූ දිනට පසුවදා උදේ මට දුරකථන ඇමතුම් කීපයක්ම ලැබුණා. මහත්තයාට තුවාල වෙලා රෝහල්ගත කර ඇති බවයි ඒ ඇමැතුම්වලින් මට කිව්වේ. මහත්තයා වැඩ කරපු තැන කලබලයක් ඇතිවුණා කියලා මම දැනගෙන හිටියේ නෑ. යැයි ඇය පැවසුවාය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail.com
ඡායාරූප : සජීව චින්තක කහඳගමගේ