මේ අප අයත් වන සූර්ය ග්‍රහ මණ්ඩලයේ අබිරහසක් ගැන කතාවකි. දැනට මෙම  ග්‍රහ මණ්ඩලයේ සිටින්නේ ග්‍රහයින් අට දෙනකු පමණක් බව අපි කවුරුත් දනිමු. මෙයට කලකට ඉහත ග්‍රහයින් නව දෙනකු සිටි බව සැලකුණු මුත් ප්ලූටෝ යනු ග්‍රහයකු සතු විය යුතු ඇතැම් ලක්ෂණ පෙන්නුම් නොකරන වස්තුවක් ලෙස තීරණය කිරීම නිසා එය ග්‍රහයකුගේ තත්ත්වයෙන් ඉවත් කරනු ලැබිණි. ග්‍රහයින් සංඛ්‍යාව අටක් බවට පත් වූයේ ඒ අනුවය. නමුත් දැන් වසර කිහිපයක සිට සූර්ය ග්‍රහ මණ්ඩලය පිළිබඳ කිසියම් අබිරහසක් තාරකා විද්‍යාඥයින්ගේ සිත් තුළ හොල්මන් කරමින් සිටියි. එනම්, මේ වන විට අප හඳුනාගෙන සිටින ග්‍රහයින්ට පිටින් මෙම ග්‍රහ මණ්ඩලයේ ඈත අඳුරු කෙළවර අපට නොපෙනී තවත් ග්‍රහයකු සැඟවී සිටිනවාද යන්නයි. මෙවැනි ග්‍රහයකු සිටින්නට සියයට 85ක පමණ ඉඩක් ඇති බව ඇතැම් විද්‍යාඥයින්ගේ විශ්වාසය බව පෙනේ.

තවමත් අපේ ඇසට නොපෙනී සිටින මෙවැනි ග්‍රහයකු සිටිය හැකිය යන අදහස මුල් වරට ඉදිරිපත් වූයේ මෙයට වසර තුනකට පමණ පෙරය. චැඩ් ටෘජිලෝ, ස්කොට් ෂෙපර්ඩ්, කොන්ස්ටින් බැටිජින්,  මයිකල් බ්‍රවුන් වැනි තාරකා විද්‍යාඥයින් විසින් කරන ලද නිරීක්ෂණ සහ ගණනය කිරීම් මෙම අබිරහස් ග්‍රහයා පිළිබඳ සැකය කරළියට ගෙන ඒමට බෙහෙවින් ඉවහල් විය. මුලින්ම ඔවුන්ට නිරීක්ෂණය කිරීමට ලැබුණේ දැනට සූර්ය ග්‍රහ මණ්ඩලයේ කෙළවරේම සිටින ග්‍රහයා වන නෙප්චූන්ට එපිටින් ගමන් කරමින් ඇති කුඩා ආකාශ වස්තූන් රැසක ගමන් මාර්ගයන්හි කිසියම් අසාමාන්‍යතාවක් පවතින බවයි. මෙහිදී සෙද්නා, 2012 වීපී 113, ගොබ්ලින් ආදී නම්වලින් හැඳින්වුණු වස්තූන් කිහිපයක් වෙත ඔවුන්ගේ විශේෂ අවධානය යොමු විය. සූර්ය ග්‍රහ මණ්ඩලයේ කෙළවර ඇති ග්‍රහයින් සාමාන්‍යයෙන් සූර්යයා වටා ගමන් කරන්නේ බොහෝ දුරට වෘත්තාකාර ගමන් මාර්ගවලය. නමුත් ඉහත කී වස්තූන්හි ගමන් මාර්ග ඊට වඩා බොහෝ දිගැටි ඉලිප්සාකාර හැඩයක් ගන්නා බව ඔවුන්ට නිරීක්ෂණය කළ හැකි විය. මේ අතරින් ගොබ්ලින් නැමැති වස්තුවෙහි ගමන් මාර්ගය සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන්ම ඔවුන්ට තහවුරු කරගත හැකි වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේය. එය කලින් කී ලෙසම සූර්යයා වටා ගමන් කරන්නේ වෘත්තාකාර හැඩයකට වඩා දිගැටි හැඩයකට හුරු ගමන් මාර්ගයක් ඔස්සේය. ගොබ්ලින් සූර්යයාට ආසන්නම ස්ථානයේ දී එය සහ සූර්යයා අතර දුර කි.මී. බිලියන 10 ක් පමණ වෙයි. සූර්යයාට ඈතින්ම පිහිටද්දී එම දුර  කි.මී. බිලියන 345 කට ආසන්න වන බව පැවසේ. ප්ලූටෝ, සූර්යයාට දුරින්ම පිහිටන විට  එයත් සූර්යයාත් අතර දුර වන්නේ කි.මී. බිලියන 7 ක් පමණි.  මේ අනුව ගොබ්ලින් ගමන් කරන්නේ කෙතරම් ඈතින්ද යන්න ගැන අවබෝධයක් ඇති කර ගත හැකිය.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ කෙළවර ඇති සෙසු ග්‍රහයින් දළ වශයෙන් වෘත්තාකාර  මාර්ගවල ගමන් කරද්දී ඉහත කී ගොබ්ලින්, සෙද්නා වැනි වස්තූන් ඊට වඩා දිගැටි කක්ෂයන්හි ගමන් කරන්නේ මන්ද යන්න සම්බන්ධයෙන් කිසියම් න්‍යායක් ඉදිරිපත් කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.  ඔවුන් කල්පනා කරන්නේ අපේ ඇසට නොපෙනී අප ග්‍රහ මණ්ඩලයේ අඳුරු ඈත කෙළවරක තවත් ග්‍රහයකු සැඟවී සිටින්නට ඉඩ ඇති බවයි. කලින් කී ගොබ්ලින් වැනි වස්තූන්ගේ ගමන් මග අසාමාන්‍ය බවක් ගැනීමට හේතුව මෙම අබිරහස් ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණය විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

විද්‍යාඥයින්ගේ අනුමානයන්ට  අනුව මෙම නව වෙනි ග්‍රහයා යෝධ ග්‍රහයකි. ගණනය කිරීම්වලට අනුව පෙනී ගොස් ඇත්තේ එය පෘථිවිය මෙන් දස ගුණයක් පමණ විශාල විය හැකි බවයි.  එමෙන්ම මෙම ග්‍රහයා එක් වරක් සූර්යයා වටා යාමට අවුරුදු 15,000 ක පමණ කාලයක් ගත හැකි බවක් ද මේ වන විට ගණනය කර තිබේ. මෙම අබිරහස් ග්‍රහයා ගමන් කරන්නේ සූර්යයාගේ සිට කි.මී. බිලියන 90ත් බිලියන 150ත් අතර දුරකින් විය හැකි බවට ද මේ වන විට අනුමාන කෙරේ. මෙය සූර්යයාගේ සිට නෙප්චූන්ට ඇති දුර මෙන් විසි ගුණයකට ආසන්න දුරකි.

තවමත් මෙම ග්‍රහයා නිශ්චිත වශයෙන් සොයාගෙන නැති නිසා එයට නිශ්චිත නමක් ද නැත. නව වෙනි ග්‍රහයා (Planet Nine) ලෙස ද, එක්ස් ග්‍රහයා (Planet X) ලෙස ද බොහෝ තැන්වල එය හඳුන්වනු දැකිය හැකි වෙයි. කෙසේ නමුත්, යම් හෙයකින් මෙවැනි ග්‍රහයකු සොයා ගැනීමට හැකි වුවහොත් එයට නමක් යෝජනා කිරීමේ අයිතිය හිමිවන්නේ එය සොයා ගන්නා තැනැත්තන්ටය. නමුත් අවසානයේ දී එම නම ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් අනුමත කරනු ලැබිය යුතුය. මෙවැනි ග්‍රහයකු සැබැවින්ම සිටින්නේ නම්, එය සොයා ගැනීම තාරකා විද්‍යාඥයින්ට පහසු නොවනු ඇති බවට ද අදහස් පළ වෙයි. ඒ, පෘථිවියේ සිට ඉතා විශාල දුරකින් පිහිටා තිබිම නිසාය. නමුත් මේ වන විට තිබෙන ඉතා දියුණු, නවීන දුරේක්ෂ මගින් මෙම ග්‍රහයා (එවැන්නක් තිබේ නම්) ඉක්මනින් සොයා ගැනීමට හැකි වනු ඇති බවට ද ඇතැම්  විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.  සැබැවින්ම එවැනි ග්‍රහයකු නොසිටී නම් ඉහත කී ගොබ්ලින්, සෙද්නා වැනි වස්තූන්ගේ අසාමාන්‍ය හැසිරීම පැහැදිලි කිරීම සඳහා වෙනත් න්‍යායක් සොයා ගැනීමට ද විද්‍යාඥයින්ට සිදුවනු ඇත. එම අලුත් න්‍යාය කුමක් වනු ඇත්ද යන්න ද කුතුහලය දනවන කාරණයක් බව පැවසිය හැකිය.

නිහාල් පීරිස්
Untitled-6 Untitled-7 Untitled-8