ගාලූ පුරහල් භූමියේ දී පළමුවන දකුණු පළාත් සභාවේ,ප‍්‍රථම ප‍්‍රධාන ඇමති ඇම්. ඇස්. අමරසිරි, ඝාතනය කිරීමේ ඉලක්කය ඇතිව, ඊනියා දේශපේ‍්‍රමීන් කාල බෝම්බයක් ඇටවීමට යොදා ගත්තු, මෝටර් රිය පැහැර ගන්නට උන්  ක‍්‍රියාත්මක වූයේ පෙර දින (ජුනි 27* රාත‍්‍රී දහයට විතර ය. නිවැසියන් ට ආයුධ පෙන්වා ඔවුන් බියපත් කොට, වාහනය බලහත්කාරයෙන් ඩැහැ ගැනීමටඒ සඳහා හත් අට දෙනකු ගෙන් සැදුම්ලත් කල්ලියක්,සහකාර ලේකම්වරයා ගේ නිවසට කඩා වැදුණේ මුහුණු ආවරණය කර ගෙනය.

සහකාර ලේකම්වරයා රජ්ගම මැතිවරණ කොට්ඨාසයේ හික්කඩුවේ තිරාණගම ප‍්‍රදේශයේ ය. තිරාණගම පිංකන්ද පාරේ කටුකොළිහ නම් ගම්මානයේවූ අක්කර දෙක හමාරක, තුනක පමණ වත්තක පිහිටි, කාමර අටකින් යුත් නිවෙසකය හෙතෙම පදිංචිව සිටියේය. ඉතාම ගුණගරුක, නිහතමානි මේ සහකාර ලේකම්වරයා, රාජකාරිය දේවකාරියක් සේ සලකා නිබඳව ම කටයුතු කරන්නෙකි. ඊනියා දේශපේ‍්‍රමීන් සිය දඩයම උදෙසා තෝරාගත්තේ මේ අහිංසක මනුස්සයා ගේ වාහනය යි.

මේ රාක්ෂසයන් ගේ ස්වභාවය දැක්කා විතර ය. සහකාර ලේකම්වරයා ගේ කුඩා දියණියන් දෙන්නා බයෙන් බිරාන්ත වූහ. ඒ දැරියන් අම්මා තාත්තාට තුරුළු වූහ. ඔවුන් දෙන්නා බියෙන් ගැහෙන්නට වූහ. කිසිවක් කතා කරගන්නට නොහැකි මේ පුංචි දැරියන් දෙන්නා නිවසට කඩා වැදුණු සාහසිකයන්, තම පියාණන්ට තර්ජනය කරන අයුරු දැක, ගොළුවී බලා සිටින්නේ කෙළ බිඳක් පවා, උගුරෙන් පහලට ගිලගත නො හැකිව ය. මර බියෙන් ඒ දැරිවියන්, අම්මා තාත්තා ට මුවාවී,ළපටි මුහුණු සඟවා ගත්තේ දෑස් පියාගනිමිනි.

ගිනි කඳන් අතැතිව නොහඳුන සාහසිකයන්, ගෙට කඩා වදිද්දී ලේකම්වරයා ගේ බිරියට, ඇගේ සොයුරියට, ලේකම්වරයාට හා සේවකයාටත්, ජීවිතාශාව කෙරෙහි හටගත්තේ විස්තර කළ නොහැකි තරමේ බියකි. සියල්ලෝම අන්දමන්ද වූහ.

මන්ද යත්……!
ගිනි බටවලට කිසිදු හිතක් පපුවක් නැති වග දන්නා නිසා ය. ඒවා අත දරා සිටින්නන්, හිත් පිත් නැති නරුම, රුදුරු, යක්ෂයන් පිරිසකි. තිරස්චීන, අමන රාක්ෂසයන් පිරිසකි. උනට හොඳ නරක හෝ ගඳ සුවඳ හෝ නොතේරේ. නොදැනේ. උන ගේ බහකට එකඟ නොවනා කවරකු ගේ වුව අවසන් ප‍්‍රාණවායුව වාතලයට මුසු කරන්නට, ඇබින්දකින්වත් පරක්කුවක්, ප‍්‍රමාදයක් වීමට හිතීමට ඒ අලූගෝසුවන්ට හිතක් නැත. එහෙම හිතන්නට මතන්නට උන් ගේ සූදානමකුත් නැත. ඒ බව හොඳින් ම දන්නා ලේකම්වරයා අයාගත් මුවින් විශ්මය දනවන දෑහින් මේ මහ ?, තමන් ගේ නිවහනට කඩා වැදුණු අධමයින් වෙත යොමු කළේ ඉතා අන්ත අසරණ බවෙක නෙතු ය.

‘‘මේ යක්කු මොනව කරන්න ද මේ ? කඩා පාත්වුණේ’’ ඔහු සිතට නැගුණු සිතිවිලි බුරුත්ත අතර අංක එකට මතු වූයේ ඒ ප‍්‍රශ්නය යි. තමන් කිසි දිනෙක කිසිවකුට අබමල් රේණුවක තරම් හෝ වැරැුද්දක් අකටයුත්තක් නො කළ බව ඔහු ගේ හෘදය සාක්ෂිය හොඳින් ම දනී. ඉතින්……

ඉතින්….. ඊට එහා කිසිවක් හිතාමතා ගැන්මට ඔහුට නොහැකි ය. හේ ලොකු කරගත්තු ඇස් දල්වා ගෙන සිය නිවහනට කඩාපාත් වූ නො හඳුනන තුවක්කුකරුවන් දිහා බලා හිඳියි.

‘‘පේනවා නේ ද අතේ තියෙන මේවා’’
ඔහු ඒ වදන්වැලට උත්තර බැන්දේ නැත. උන් දිහා තාමත් බලාගත්තු ගමන් ම ය. ඔහු ගේ දත කට පූට්ටු වූ සෙයකි. ඇත්තට ම කීවොත් දත කට පූට්ටුවෙලා ය.
‘‘කලබල නො කර වාහනේ යතුර දෙනවා.’’

ඔහු තමන් වෙත ගිනි බට එල්ල කරන් හිටින එවුන් වෙත මාරුවෙන් මාරුවට ඇස් රැුඳවූයේ ය. ඒ එකෙකු ගේ වත් මූණක් කටක් නො පෙනේ. ඇසෙනා හඬ වෙතට ලේකම්වරයා  මුහුණු යොමු කළේහිතට ඇති වෙච්චි මරබිය ගැන විතරක් හිත හිතා ය. ඔහුට සිය කෙලි පොඞ්ඩියන් දෙන්නා ගැන ඔක්කෝටම වඩා දැනෙන්නේ මහා බයකි.

මේ නරුමයන්….. මේ නරුමයන්….  මගේ පැටවුන් දෙන්නාට අනතුරක් කරාවිදෝ යන සැකසංකා නිසා ලේකම්වරයාට දැනෙන්නේ තම හෘදස්පන්දනය වේගවත් වන බවෙකි. හෙතෙම දහයෙන් නැහැවෙමින් ඇති සිය වුවන අත්ලකින් පිස දමමින් යළි ඒ නියෝගය නිකුත් කළ ත‍්‍රස්තවාදියා දිහා බැලී ය.
‘‘ඇයි ඇහුණෙ නැද්ද කන…. යතුර දෙනවා කාර් එකේ’’
ඒ තර්ජනය ගේ පුරා පැතිරෙද්දී ලේකම්වරයා ගේ බිරිය ඔහු අසලට එන්නට යත්න දැරුවා ය.
‘‘හ්ම්… හ්ම්… ඉන්නවා ඔහොම’’
‘‘කලබල කළොත් බල්ලො බළල්ලූ වගේ මරා දානවා….’’ එකෙක් කීය.

‘‘බය වෙන්න එපා අපි පැයකින් වාහනේ ආපහු ගෙනැවිත් දෙනවා’’අනෙකෙක් ගේ මුවින් පිටවුණු වදන් කීපය යි.
දකුණු පළාත් ආහාර, සමූපකාර, නිවාස, මහාමාර්ග, ගමනා ගමන හා ජලාපවහන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයාට වෙනත් කළ හැකි කිසිවක් නැත. උන්ගේ අණට එරෙහි වුවහොත් තම බිරිය, දියණියන් දෙන්නා ගේ ද, නෑනා ගේ ද, සේවකයා ගේ හා තමා ගේ ද ජීවිත අකාලයේ අහිමිවනවාට කිසිදු සැකයක් නැත. මුන් මේ ගිනි කඳන් එල්ල කරන් ඉන්නෙ නිකමට නොවනා වග ඔහුට අමුතුවෙන් හිතන්නට කාරණාවක් නොවේ.

‘‘ආපහු පාරක් කියන්නෙ නෑ, ඊළඟට කතා කරන්නෙ මෙන්න මේකෙන්…..’’
යමපල්ලා ගිගිරුවේ ගොරෝසු හඬිනි. ඒ ගොරෝසු හඬින් සියල්ලන් ම බලන්නට වූයේ ඒ වැකිය පිටකළ එකා ගේ නොපෙනෙන මුහුණ දිහාවට ය.

ඒ හඬට ලේකම්වරයා ගේ පැටික්කියන් දෙන්නා උඩගිහින් බිම පතිත වූවා සේ ය. රුදුරු දිවියන් රොත්තකට මැදි වූ සා පැටවියන් දෙන්නකු සේ බියපත් ඒ දැරිවියන්ට තම නිවසේ මේ සිදුවෙමින් ඇත්තේ කුමක්දැ යි හිතා ගන්නට නො හැකි ය. ඔවුන් බෝ කුඩා ය. කිරිසප්පයන් ය.

සැලෙන ගතින්සිතින් හා වතින් යුතුව ලේකම්වරයා හුනස්නෙන් නැගී පියවර කීපයක් ගොස් තම මෝටර් රියේ යතුර අතට ගත්තේ ය. ආගන්තුක අධමයෙක් සැණෙකින් ඔහුගෙන් යතුර උදුරා ගත්තේ ය.

ඌ බැහැරට යද්දී තව එකෙක් උගේ පස්සෙන් වැටුණි. සෙස්සන් තාමත් එල්ල කරගත් ගිනි කඳන්වලින් යුක්තව ලේකම්වරයා හා ඔහු ගේ බිරිය දිහාත් ඇගේ සොයුරිය දිහාත් බලා සිටින්නේ ගොදුරුවලට ඉව අල්ලන දඩ බලූ විලාසයක් පාමිනි.

දකුණු පළාත් සහා සහකාර අමාත්‍යාංශ ලේකම්වරයා හා පවුලේ ඇත්තන් සිය ප‍්‍රාණ ඇපයට ගත් ගහලයෝ නිවැසියන් සියලූ දෙනා එක කාමරයකට දමා දොරගුළු ලෑහ.

ලේකම්වරයා ගේ අංක 12 ශ‍්‍රී 7783 දරන නිසාන් සනි වර්ගයේ ලොවි පැහැ මෝටර් රිය පණගන්වා ගත් යමපල්ලන් දෙදෙනා අඳුර කපා ගෙන ඉදිරිය බලන්නේ කාල බෝම්බය ඒ තුළ ඇටවීමට යොදා ගන්නා ගරාජය වෙතට ය.

පැයකින් ආපහු වාහනය ගෙනැවිත් දෙන බව කියා එය රැුගෙන යද්දී ලේකම්වරයා තුළ පැවතියේ දෙගිඩියාවකි. හැබැයි ඒ දෙගිඩියාවෙන් වැඩි බරක් තිබුණේ ඍණ පැත්තට ය. කිසියම් ලොකු අපරාධයක් කරන්නට තම වාහනය යොදා ගැනීම උන්ගේ අරමුණ බව,උන් විසින් තෙවසරක් තිස්සේ රට පුරා සිද්ධ කරන සාපරාධී ක‍්‍රියාවන් ගැන ඇහැට පේන, කනට ඇහෙන දේවල්වලින් ඔහුට වැටහීමක් ඇත. මගේ වාහනය මුන් ගෙනැත් දෙන්නෙ නෑ…… ඔහු සෝක සිතින් කම්පාවට පත්ව කාමරේ සිටින බිරියත් කුඩා දියණියන් දෙන්නත්, බිරියගේ වැඩිමහල් සොයුරියත් සේවකයාත් වෙත අසරණ නෙතු සඟළින් බල බලා ඔහු කල්පනා කරයි. ඒකේ දෙකක් නැත. ඒත්…. ඒත්….

ලේකම්වරයා සිය මෝටර් රියේ ආසාව හිතෙන් අත් හරින්නට මහන්සි ගන්නේ ය. දැන් නිබඳව ම ඔහුගේ හිත වද විඳින්නේ මේ අළුගෝසුවන් සිය මෝටර් රිය යොදා ගෙන කරන්නට හදන්නේ මොන වගේ සාහසික අපරාධයක් ද යන්න ගැන ය. එයින් ඔහු වඩාත් දුකකටත් කනගාටුවකටත් පත්ව සුසුම්ලයි. උන් තම වාහනය පැහැර ගත්තේ කිසියම් යහපත් කටයුත්තක් කිරීමට නොවේ. මහා විනාශයක්…. අපරාධයක්….. වින්නැහියක් කොතැනක හෝ කිරීමට බව ඔහු සිත කියන්නට පටන් ගනිද්දී ලේකම්වරයා සිරගත වී සිටින තම නිවහනේ ම කාමරයේ දී හෙළුෑ සුසුම්වැල්වලින් ඇති වූ උණුසුමක තරම…….

වාහනය පැහැර ගත්තු දේශපේ‍්‍රමී අපරාධකරුවන්, සාහසිකයන්, ත‍්‍රස්තවාදීන් බෝම්බය ඒ තුළ අටවා පසුදාට පහන් වී හෝරාවක එකහමාරක තරම් වෙලාවක් ඉක්ම ගිය තැන එය ගාල්ල බලා ධාවනය කළේ මාතරගේ සිරිසේන අමරසිරි නම් දකුණු පළාතේ ප‍්‍රථම ප‍්‍රධාන ඇමතිවරයා ප‍්‍රමුඛ ඊනියා දේශපේ‍්‍රමීන්ට විරෝධීව නගර සභා පරිශ‍්‍රයේ රැුඳී සිටින දේශද්‍රෝහීන් පිරිසක් ජීවිතයෙන් සදහට ම සමුගන්නා ආකාරය මනැසින් සිතුවම් කර කර ය.

ගාල්ල මහ නගර සභාවේ ප‍්‍රධාන පිවිසුමේ, ආරක්ෂාවට හුන් කිසිවකු හෝ, අංක 12 ශ‍්‍රී 7783 දරන මෝටර් රිය කිසිදු පරීක්ෂාවකට ලක් කරන්නට, පියවර නොගත්තේ එය නගර ශාලා පරිශ‍්‍රයට ඇතුළු කිරීමට ඇවැසි විශේෂ අවසර පතක් තිබූ හෙයිනි. ඊටත් වඩා එහි ඉදිරි වම්පස අසුනේ පළාත් සභාවේ අති උතුම් මන්ත‍්‍රී උත්තමයකු අසුන් ගෙන සිටින නිසාවෙනි. රිය පැදවූ එකා වාහනය නතර කරන්නට හැදුවේ ඇම්. ඇස්. අමරසිරි උන්නැහේගෙ වෙඩි නොවදින ඇම්බැසඩර් වර්ගයේ නිල රිය නවත්වා තබනා ස්ථානයේ ය. ඒත් ඊට අවසරයක් ආරක්ෂක රැුකවල් හි යෙදී හුන් නිලදරුවා ගෙන් නො ලැබුණි. එහෙයින් ඊට  මඳක් ඔබ්බෙන් එය ගාල් කරලූ නරලොවට ආ යමපල්ලෝ, සැණෙකින් නගර සභා පරිශ‍්‍රයෙන් වාෂ්ප වී ඈතට වී පෙරවරු 10. 53 වන තුරු උන් ඇටවූ මාරක බෝම්බය පිපිරීමෙන් ඇති වන මහ විනාශය දැක ගැනීමේ නොතිත් ආසාවකින් ඉන්නට ඇති බව නම් සහසුද්දෙන් ම කිව හැකි ය.

අමරසිරි ඉලක්ක කරගත් බෝම්බය, සහකාර ලේකම්වරයා ගේ මෝටර් රියෙහි ඇටවීමට ප‍්‍රධාන හේතුව සේ සටහන් කළ හැක්කේ එය පළාත් සභා රැුස්වීම පැවැත්වෙන ගාලූ පුරහල් පරිශ‍්‍රයට බාධාවකින් තොරව ගෙනයෑමට ඇති හැකියාව මැනවින් දන්නා හෙයිනි. ඔහු ගොදුරු කරගන්නට දේශපේ‍්‍රමීන් විසින් ඊට විසිඑක් දිනකට පෙර ගත් උත්සාහය ව්‍යර්ථ විය. උ න් ගේ ඒ උත්සාහය ව්‍යර්ථ වූවත් ඇම්. ඇස්. උන්නැහෙ ගේ ආදරණීය බිරිය වූ, එස්මී අමරසිරි ගේ ජීවිතය නිමා කරන්නට ඒ සාහසික නඩයට හැකිවිණි. ඒ  1989 ජුනි මස හත් (07* වැනි දා ය.

ඇගේ ජීවිතය අහිමි කළ මේ මෘගයන්, තිරස්චීනයන් ඊට පසුව සැලසුම් කරන ලද්දේ පළාත් සභා රැුස්වීමට සහභාගි වීමට පැමිණි විට, මාතරගේ සිරිසේන අමරසිරි, නැත්නම් රටේ කවුරුත් දන්නා හැටියට ඇම්. ඇස්. අමරසිරි ඝාතනය කරන්නට ය. සිය බිරියගේ වියෝගය හේතුවෙන් අමරසිරි ප‍්‍රධාන ඇමතිවරයා එදා පළාත් සභා මාසික රැුස්වීමට සහභාගි නොවුණා විය හැක. කොහොම හරි එදා පළාත් සභා රැුස්වීමේ අසුන් ගන්නට හේ නො ආවේ ය.

ජීවිත හතරක් බිලිගෙන, තවත් විසිහතර දෙනකුට තුවාල සිදුකර, දේපොළ රැුසකට ද අලාභහානි කරමින් ගාලූ නගරයේ හදවතේ දී, පුපුරුවා හැරීමට ඒ මාරක කාල බෝම්බය ඇටවූ වාහනය හිමිකාර දකුණු පළාත් ආහාර සමූපකාර නිවාස, මහාමාර්ග, ගමනාගමන හා ජලාපවහන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයා හා අහිංසක කුඩා දැරියන් දෙන්නාත් ඔවුන් ගේ මව හා ලොකු අම්මාත් සේවකයාත් කාමරයක හිරකොට දොර අගුළු ලා ඔවුන් නිවාස අඩස්සියේ රඳවා ගත් කුරිරු සාහසික ‘දේශපේ‍්‍රමීන්’ එක එකා හීන් සැරේ ඒ නිවසින් නික්ම ගියේ අහල පහලක හෝ කිසිවකුටත් සැකයක් ඇති නොවන පරිද්දෙනි. අන්තිමට ඒ නිවසේ හුන් අපරාධකරුවන් දෙන්නා දහවල් එකට පමණ ලේකම් නිවසින් බැහැර වන විට මේ අහිංසක පවුල පුරා පැය දහතුනක් උන්ගේ හිරකරුවන්, හිරකාරියන් බවට පත්ව සිටිය වග දන්නේ, ඊනියා දේශපේ‍්‍රමීන් සේ රට හමුවේ පෙනී සිටි මේ අපරාධකරුවන් හා සහකාර ලේකම්වරයාත් ඔහු ගේ පවුලේ ඇත්තනුත් විතරක් ය.

සුගතපාල මැන්දිස්
sugathapalamnendis@gmail.com