ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පිළිකාවේ ග්‍රහණයට නතුවෙමින් පවතී. දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවද පිළිකාව හේතුවෙන් ආර්ථික හා සමාජීය ගැටලු රැසකට මුහුණ දෙමින් පවතී. පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කෘත්‍රිම ආහාර චර්යාවන් හඳුනා ගෙන ඇත. මේ අතරින් සකස් කර ලද මස් අනුභවය පිළිකා වර්ග රැසකට හේතු  වන බව ලොව පුරා සිදු  කර ඇති පර්යේෂණවලින් සොයාගෙන ඇත.

සකස් කරන ලද මස් යනු මොනවාද?
සකස් කරන ලද මස් යනු විවිධ රසායනික ද්‍රව්‍යයන් යෙදීම  මගින් දිගු කලක් තබා ගැනීම සඳහා පිළියෙල කරන මස් වර්ගය. කල් තබා ගැනීමට අමතරව මස්වලට වැඩි  රසයක් හා වර්ණයක් ලබා දීමද මෙම රසායනික ද්‍රව්‍ය මගින් සිදු කරයි.
සොසේජස්, මීට් බෝල්ස්, හැම්බේකන් බර්ගර් ආදිය මෙසේ සකස් කරන ලද මස් වර්ගවලට උදාහරණ වේ.

මස් සකස් කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මොනවාද?
සෝඩියම් නයිට්‍රයිට් හා සෝඩියම් නයිට්‍රේට් යනු මස් සකස් කිරීමේදී බහුලව යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කීපයකි. මෙම රසායනික අඩංගු ආවරණයක මස් බහා තැබිම හෝ මස් තුළට එන්නත් කිරීම මගින් මස් සකස් කිරීම සිදු කරනු ලබයි. එසේ ඇතුළු කරනු ලබන රසායනිකයන් මගින් මස් ඉක්මනින් නරක් වීම වළක්වන අතර සකස් කළ මස්වල ඇති රෝස පැහැති වර්ණය හා වැඩි රසයක් ලබා දීමද හානිකර බැක්ටීරියාවන් වර්ධනය අඩාළ කිරීමටද උපකාරි වේ.

සකස් කරන ලද මස් අනුභවය හේතුවෙන් පිළිකාවන් ඇති වන්නේ කෙසේද?
සකස් කරන ලද මස් අනුභවය හේතුවෙන් පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයකි. ඉන් ප්‍රධාන වන්නේ සෝඩියම් නයිට්‍රයිට් හා නයිට්‍රේට් යන රසායනික ද්‍රව්‍යයන්ය. මේවා අන්තර්ගත මස් අනුභව කළ පසුව ආමාශය තුළදී සිදුවන ප්‍රතික්‍රියා කිහිපයක අතුරුඵලයක් ලෙස නයිටේ‍රාසොආමින්  නම් පිළිකාකාරී රසායනිකය බවට පත්වේ.
මීට අමතරව සකස් කරන ලද මස් අධික උෂ්ණත්වයේ පිසීමේදී තවත් පිළිකාකාරක ජනනය වේ.

සකස් කරන ලද මස් බොහොමයක් රතු මස් වර්ග වේ. රතු මස් බහුලව අනුභවයද පිළිකා ඇති කිරීමට හේතුවක් වන බව අද වන විට වටහා ගෙන ඇත. එසේම සකස් කරන ලද මස්වල අඩංගු අධික තෙල් ප්‍රමාණය මෙන්ම ඒවා දිගු කලක් ගබඩා කර තැබිමේදී ජනනය වන වෙනත් සාධක නිසාද පිළිකා ඇති වීමට හේතුවක් වේ.

සකස් කරන ලද මස් අනුභවය නිසා පිළිකා ඇති වන බව පර්යේෂණවලින් තහවුරු කර තිබේද ?
පිළිකාව පිළිබඳව පර්යේෂණ සිදු කරන ලොව ප්‍රධාන ආයතනයක් මගින් විවිධ පිළිකා සඳහා බලපාන හේතු අතරින් සකස් කළ මස් අනුභවය සෘජුවම බලපාන බව තහවුරු කර ඇත.

සකස් කරන ලද මස් අනුභවය හේතුවෙන් බහුලව ඇති වන පිළිකා වර්ග මොනවාද?
සකස් කළ මස් අනුභවය මිනිසාගේ සිරුර තුළ පිළිකා වර්ග රැසක් ඇති කිරීමට දායක වේ. මේවා අතුරින් බඩවැල්වල ඇතිවන පිළිකා ප්‍රධාන තැනක් ගන්නේය. එසේම ගලනාලය, ආමාශය හා අක්මාව ආශ්‍රිත පිළිකා අවදානම ද සැලකිය යුතු ලෙස ඉහළ නැංවේ. කාන්තාවන්ගේ පියයුරු පිළිකා හා පුරුෂයින්ගේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සඳහා ද සකස් කළ මස් අනුභවය බලපායි.

මේ අනුව සකස් කරන ලද මස් ඔබගේ ආහාරයට එක් කර ගන්නේද නැද්ද යන්න පිළිබඳව එක්වරක් නොව දෙවරක්ම සිතා බැලීම වැදගත් වන්නේය.

වෛද්‍ය – මේඛලා ප්‍රනාන්දු
පශ්චාත් වෛද්‍ය උපාධි (මානව ‍පෝෂණ)  ආයතනය