මධ්‍යම කඳුකර ප්‍රදේශවල වගා බිම්වල මහා පරිමාණයෙන් භාවිත කරන පළිබෝධනාශක වර්ග කැලණි ගඟ ඇතුළු ජල මූලාශ්‍රවලට එකතුවීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි විශ්වවිද්‍යාල ඇතුළු පරිසර අංශ විසින් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. එපමණක් නොව කර්මාන්තශාලාවලින්ද ජල මූලාශ්‍රවලට විශාල ලෙස අපද්‍රව්‍ය එකතුවන බව අනාවරණය වී ඇත. මේ තත්ත්වය හේතුවෙන් එම මූලාශ්‍රවල ජලය භාවිත කරන්නන්ට විවිධ රෝගාබාධ පවා සෑදීමේ ප්‍රවණතාව වැඩි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කාබනික ගොවිතැන මෙරට ව්‍යාප්ත කරන්නට වරින් වර බලයට පත්වන රජයන් උත්සාහ ගනු ලැබූවද,  තවමත් ගොවීන් බොහෝ දෙනකු පුරුදු වී සිටින්නේ සිය වගාබිම්වලට මහා පරිමාණයෙන් පළිබෝධනාශක යොදන්නටය. පළිබෝධනාශක බෙදා හරින සමාගම් විසින් ගොවීන් පළිබෝධනාශක සඳහා පෙළඹවීමද ඊට දැඩිලෙස බලපා ඇතැයි සඳහන් කළ හැකිය. පළිබෝධනාශක නිෂ්පාදනය කරන ඇතැම් බහුජාතික සමාගම් මේ සඳහා මුදල් වියදම් කරන අවස්ථාවන්ද තිබේ. කෙසේ වෙතත් ඉවක් බවක් නොමැතිව පළිබෝධනාශක වගාවන්ට යෙදීම නිසා වර්ෂා දිනවලදී පස සේදී යාමෙන් වස විස විශාල ප්‍රමාණයක් ජල පද්ධතිවලට එකතු වේ.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය සඳහන් කරන පරිදි ඉකුත් වසරේදී (2017) කෘමිනාශක මෙට්‍රික් ටොන් 658.03ක්ද, වල්නාශක මෙට්‍රික් ටොන් 1298.32ක්ද, දිලීර නාශක මෙට්‍රික්ටොන් 664.12ක්ද ආනයනය කර ඇත. මීට අමතරව, මෙරටදී පළිබෝධනාශක නිෂ්පාදනය කිරීම සඳහා කෘමිනාශක මෙට්‍රික් ටොන් 17.74ක්ද, වල්නාශක මෙට්‍රික් ටොන් 90ක්ද ආනයනය කර තිබේ. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය සඳහන් කරන පරිදි ඉකුත් වසරවලට සාපේක්ෂව 2017 වසරේදී පළිබෝධනාශක වර්ග ආනයනය ක්‍රමයෙන් අඩු වී ඇත. ඊට බලපා ඇත්තේ රට තුළ පැවති නියං තත්ත්වය හේතුවෙන් ගොවීන් බොහෝ දෙනකු වගා කටයුතු සිදු නොකිරීමය. කෙසේ වෙතත් කඳුකර ප්‍රදේශවලින් ගංගා ඇතුළු ජල මූලාශ්‍රවලට පළිබෝධනාශක විශාල වශයෙන් එකතු වේ.

පළිබෝධනාශක ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය නිසා මෙලෙස වැඩි වශයෙන්ම දූෂණයට ලක් වූ ගංගා පද්ධති අතරට කැලණි ගඟ සහ මහවැලි ගඟ එකතු වී තිබේ. මෙරට දූෂිතම ගංගාව බවට මතෛක් වාර්තා තබා ඇත්තේ කොළඹට පානීය ජලය බෙදාහරින කැලණි ගඟය. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ ලෝකයේ දූෂිතම ගංගාව බවට මහවැලි ගංගාව පත්වෙමින් තිබෙන බවය.

කොළඹට පානීය ජල අවශ්‍යතාවයෙන් සියයට අසූවක්ම සපුරාලනු ලබන කැලණි ගඟ කිලෝමීටර් 145 ක දිගකින් යුතුය. වර්ග කිලෝමීටර් 2292ක ප්‍රදේශයක් පුරා කැලණි ගංගාව පැතිරී ඇත. නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කයන් කැලණි ගඟ ආවරණය කරනු ලබයි. මෙරට ජනගහනයෙන් සියයට 25 කට වැඩි පිරිසක් පදිංචිව සිටින්නේ කැලණි ගංගා නිම්නයෙහිය. අතීතයේදී ඉතා සුන්දරව කැලණි ගඟ පැවති බව අනාවරණය වේ. නමුත්,  අද වන විට ලංකාවේ දූෂිතම ගංගාව බවට කැලණි ගඟ පත්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ පර්යේෂණයක් මගින් සඳහන් කරයි. පිරිපහදු කළ සහ නොකළ කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය බැහැර කිරීම, කෘෂිකාර්මික අපද්‍රව්‍ය සහ නිවාසවලින් ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා කැලණි ගඟ දැඩි දූෂණයට ලක්ව තිබේ. කොළඹට පානීය ජලය සැපයීම සඳහා කැලණි ගඟේ ජලය සපයාගනු ලබන්නේ අඹත‍ලේ ප්‍රදේශයෙනි. නමුත්, මෙම ප්‍රදේශයේදී ගංගාව දැඩි ලෙස දූෂණයට ලක් වේ.

2010 සහ 2012 කාලය අතරතුරදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැලණි ගඟේ ජලයේ තත්ත්වය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළේය. තල්දූව පාලම, සීතාවක තොටු‍පොළ, වක් ඔය (අතු ගංගාව), පූගොඩ තොටු‍පොළ, පූගොඩ ඇළ, හංවැල්ල පාලම, පුස්සැලි ඔය, මහ ඇළ, කඩුවෙල පාලම, රග්ගහවත්ත ඇළ, වැලිවිට පාලම, වික්ටෝරියා පාලම යන ස්ථානවලින් ජල සාම්පල ලබාගෙන මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණය සිදුකළේය. ජලයේ ආම්ලිකතාව, රොන් මඩ ප්‍රමාණය, ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය, ෙජෙව රසායනික ඔක්සිජන් අවශ්‍යතාව, රසායනික ඔක්සිජන් අවශ්‍යතාව, නයිට්‍රේට්, ‍පොස්පේට්, ජලයේ තිබෙන බැරලෝහ ප්‍රතිශතයන් මෙහිදී පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී අනාවරණය වූයේ බැර ලෝහ පවා ජලයේ අන්තර්ගත වී තිබෙන බවය. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන පරිදි තල්දූව සහ සීතාවක ප්‍රදේශයන්හි ජලයෙහි තත්ත්වය ගඟෙහි පහත් ප්‍රදේශ හා සැසඳීමේදී ඉතා අඩු තත්ත්වයක පවතින බවය. එම ප්‍රදේශයේදී ගංගාවේ ජලයේ අඩංගුව තිබූ බැරලෝහ ප්‍රතිශතය සියයට හතක් බවය. එය සාමාන්‍ය අගයට වඩා විශාල ප්‍රමාණයක් බවද එම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

සෞඛ්‍යාරක්ෂිත භාවයෙන් අඩු ඉතා දූෂිතම ජලය පවතින ස්ථානය ලෙස වාර්තා වී ඇත්තේ රක්ගහවත්ත ප්‍රදේශයයි. ඊට ප්‍රධාන හේතුව නම් එම ප්‍රදේශයේදී කැලණි ගඟට බියගම කර්මාන්තපුරයේ අපජලය එකතුවීමයි. මෙහිදී ගඟට වැඩි වශයෙන් එකතු වන්නේ රසායනික අපද්‍රව්‍යයන්ය. පූගොඩ ඇළ සහ වක්ඔය ඔස්සේ කැලණි ගඟට අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකතු වේ. මීට අමතරව මැණික් ගැරීම, ගංගා ඉවුරු ඛාදනයට ලක්වීම නිසා ගඟට එකතුවන රොන්මඩ ප්‍රමාණයද අතිවිශාලය.

කැලණි ගඟේ ප්‍රධාන ජල ‍පෝෂක ලෙස කෙහෙල්ගමු ඔය සහ මස්කෙළිඔය හඳුන්වාදිය හැකිය. තේ වගාවට යොදන අධික විෂවල් නාශක වර්ග මස්කෙළිය ඔයට සෝදාගෙන යන්නේය. ඒවා අවසානයේදී තැන්පත් වන්නේ කැලණි ගඟෙහිය. එමෙන්ම කඳුකර ප්‍රදේශවලින් විශාල රොන්මඩ ප්‍රමාණයක් මහවැලි ගංගාවට එකතු වේ. කඳුකර ප්‍රදේශවල සිදුවන මහා පරිමාණ පාංශු ඛාදනය අවම කිරීම සඳහාද මතෛක් නිශ්චිත වැඩපිළිවෙළක් සැකසී නැත. කඳුකරයට අධික ලෙස වැසි වසිද්දී කැලණි ගඟ කොළඹදී දැකගත හැකි වන්නේ මඩ ගොහොරුවක් ලෙසිනි. මේ නිසා ජල පිරිපහදු කටයුතුවලටද විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ, භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය පසුගිය දිනවලදී මහවැලි ගඟේ ජලය සම්බන්ධව පර්යේෂණයක් සිදුකළාය.

ඇය පවසන පරිදි ඉන්දුනීසියාවේ සිට්‍රම් ගංගාව, ඉතාලියේ සර්නෝ ගංගාව, සැනාරෝ ගංගාව, ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ගංගාව, පිලිපීනයේ මෙරිලාවෝ ගංගාව, චීනයේ කහ ගඟ, ඊශ්‍රායලයේ ජෝර්දාන් ගඟ, ඉන්දියාවේ යමුනා ගඟ, බංග්ලාදේශයේ බූරි ගංගාව, ආජන්ටිනාවේ මැටෙන්සා ගංගාව, ඉන්දියාවේ ගංගා නම් ගංගාව දැඩි ලෙස දූෂණයට ලක්ව ඇත. එම ලැයිස්තුවට මෙරට දිගම ගංගාව වන මහවැලි ගඟද එකතුවීමේ අවදානමක පවතී.

අධික වර්ෂා කාලයේදී පමණක් නොව වියළි කාළයේදීද මහවැලි ගංගාවට රසායනික ද්‍රව්‍ය එකතුවීම ඉහළ මට්ටමක පවතී. කඳුකර වගා බිම්වලට අධික ලෙස යොදන ‍පොහොර, වර්ෂා ජලයට සේදී ගොස් අවසානයේ එකතු වන්නේ ගංගා, ඇළ, දොළවලටය. ඉන් මහවැලි ගඟ ප්‍රධාන තැනක් හිමිකර ගනී. එමෙන්ම වගාවන්ට යොදන රසායනික ද්‍රව්‍යද ජලයට එකතු වේ. කඳුකරයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා රැසක අපද්‍රව්‍ය ක්‍රමයෙන් ගලා බසින්නේ මහවැලි ගංගාවටය. මේ නිසා මහවැලි ගඟ පාරිසරික වශයෙන් විශාල අවදානමකට ලක්ව ඇතැයි සඳහන් කළ හැකිය.

කඳුකරයේ ජල මාර්ගවලින් බොහෝ දෙනෙක් පානීය ජලය සපයා ගනිති. වතුකම්කරුවන් බොහෝ දෙනෙක් මේ ජලය භාවිත කරන්නේ උණු කිරීමකට පවා ලක් නොකරය. විෂ සහිත ජලය භාවිතා කිරීම නිසා ඇතිවන රෝගාබාධ තත්ත්වයන් අනාවරණය නොවන අවස්ථාවන්ද බොහෝය. එමෙන්ම, ගංගාවලට පළිබෝධනාශක කොපමණ ප්‍රමාණයන්ගෙන් එකතු වන්නේද යන්න පිළිබඳව මෙරට තුළ තවමත් පුළුල් ආකාරයෙන් පර්යේෂණ සිදුවී නැත. ඊට ප්‍රධාන හේතුව ලෙස විශ්ව විද්‍යාල බලධාරීන් කියා සිටින්නේ එම පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවය. කැලණි ගඟට සාපේක්ෂව අනෙකුත් ගංගා සම්බන්ධවද පර්යේෂණ සිදුවිය යුතුව ඇත.
සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com