නූතනයේ මෙරට පහළ වූ මහා කවියකු, විශිෂ්ට ගීත රචකයකු, හෙළ හවු‍ලේ නායකයකු හා ජාති හිතෛෂී විද්වතකු වූ කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන්ගේ සතවන සමරුව නිමිත්තෙන් 2018 නොවැම්බර් 08 වැනිදා පස්වරු 3.00ට මහවැලි කේන්ද්‍රයේදී ‍පොත් 3ක් එළිදැක්වේ.

නොමියෙන මතක
අරිසෙන් අහුබුදු කිවියාණන් විසින් රචිත කවි එකතුවකි. තමන්ගේ නෑ හිතවතුන්ගේ මෙන්ම මෙරට සමාජයෙහි කීර්තිමත්ව සිටි විශිෂ්ට පුද්ගලයන්ගේ අභාවයන්හිදී ඔවුන්ගේ මෙහෙවර අගයමින් ලියන ලද ශෝක ප්‍රබන්ධ සියයකට අධිකව මෙහි අන්තර්ගතය. මෙසේ ශෝක ප්‍රබන්ධ සමූහයක් ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

සෙත් සයුර
බෞද්ධ භක්ති කාව්‍ය හා දේව ස්තෝත්‍ර සමූහයක් මෙහි අන්තර්ගතය. එමෙන්ම බුදු බැති ගී කිහිපයක්ද වස් දොස් හැරීම සඳහා එදිනෙදා කාටත් භාවිත කළ හැකි මන්ත්‍ර කිහිපයක්ද, මේ ග්‍රන්ථයෙහි ඇතුළත්ව තිබිම මෙහි අගය වඩාත් තහවුරු කරයි. ‘බුදුගයා සෙත්කවි මාලාව’ නමින් දැක්වෙන කවි දිනපතා බුදුන් වැඳීමේදී මෙන්ම බෝධි පූජා වැනි පින්කම්වලදී ද කාටත් ඉතා පහසුවෙන් භාවිත කළ හැකි මහරු සෙත් කවි මාලාවකි.

සිල් සුවඳ – බුදු බැති ගී සරණිය
බුදු බැති ගී එකතුවකි. මෙහි එන ගී වැඩි කොටසක් මෙසේ මුද්‍රණයෙන් පළවන්නේ මුල්වරටයි. ‘ස්වසංගීත’ වැනි රූපවාහිනී වැඩසටහන්වලින් ඉදිරිපත් කරනු ලැබ ජනප්‍රියත්වයට පත් ගීතද මෙහි ඇතුළත්ය. අග්‍රගන්‍ය සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින් සම්පාදනය කරන ලද තනු සඳහා ස්වර ප්‍රස්තාරද ඇතුළත් කොට තිබිමෙන් ඉතා පහසුවෙන් ගායනය සඳහා යොදාගත හැකි වීම මෙහි විශේෂත්වයකි.