තෘප්තියක්  සියල්ලක්හිම…. පානය හමාර කරනා තේ කෝප්පයක අදහස් ගණනාවක් හරහා ගලා යන්නාවූ දොඩමළු සංවාදයක, නිමා කරන ලද රාජකාරියක, ස්වභාවධර්මයේ අසිරිමත් ජායාරූපයක ව්‍යාපාරික කරුණක් අබියස විරාමයක – සුදු පැහැති ඒප්‍රනයක- සිනහවක පවා මම දැක ඇත්තෙමි.

බොහෝ දේවල්වලටත් වඩා හැමදේ ගැනමත් මේ තරම් සැලකිලිමත්කමක් ඔහුගේ පෞරුෂය පුරාම පවත්වා ගන්නේ හිතාමතාමද නැත්නම් එය ස්වභාවිකද යන්න ඇසගැටෙන්නා වූ බොහෝ වාරයන්වල නැවත නැවතත් මම කල්පනා කරන්නෙමි.

සමහර විට ඒ දීර්ඝ කාලීන – පුහුණුවක් – ශික්ෂණයක් අබියස නෙළා ගත් අස්වැන්නක් විය හැක…. ඇන්ජලෝ වික්‍රමසූරිය. වොල්වින් වික්‍රමසූරියට හා ශාන්ති වික්‍රමසූරියට 1966 අවුරුද්දේ නුවරදී උපන්න පුතණුවන් ඔහුය… සංසාරය චක්‍රයක් නම් ඇන්ජලෝ ස්ථානගත වන්නේ නියමිතම ලක්ෂයකය… ඒ ඔහුගේ අනාගතයට පරිසරය කලින්ම තෝතැන්නක් වූවා වැනිය.

නුවර ශාන්ත අන්තෝනි පාසල් ශිෂ්‍යයකු වන ඇන්ජලෝ වික්‍රමසූරිය පාසල් දිවිය පුරාවට කැපී පෙනෙන්නේ – දිදුළන ශිෂ්‍යයකු ලෙසය.

ඒ දවස්වල ක්‍රිකට් තමයි හැමදෙයක්ම. හැමෝම හිතුවේ මම දිගටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඉඳියි කියලා. ඒත් ඒ කාලෙත් නිවාඩුවට මං කරන්නේ වත්තේ පැළ හිටවන එක. වත්තේ පැළ වෙනස් තැන්වල තිය තියා හදන එක.
අදටත් ඇන්ජලෝ පවසන්නේ ක්‍රිකට් තරුවක – සමරු සිනහවකිනි. පාසල් කාලය තුළදී තම අධ්‍යාපනික පුහුණුව හමාර කරන ඇන්ජලෝ පාසල් දිවියෙන් උකහා ගත් දැනුමත් – ක්‍රීඩා පිටියෙන් ලැබුණ පන්නරයත් රැගෙන තම අභිමතය උදෙසා සමාජගත වන්නේය.

එතැනදී මං තේරුම් ගත්තා මගේ ඇඟේ තියෙන්නේ මොකද්ද කියලා…. වතු අධිකාරිවරයෙක් ලෙස පුහුණු වෙන්නත් – ගුවන් හමුදා ගුවන් නියමුවෙක් වෙන්නත් මං අයැදුම් පත්‍ර දැම්මා. ඒ කා‍ලේ හොඳ රැකියාවක් සඳහා ලොකු තරගකාරීත්වයක්  තිබුණා. ඒ අයදුම් පත්‍ර දෙකටම පිළිතුරු ලැබුණා. නමුත් අම්මයි තාත්තයි මම ගුවන් හමුදාවට බැඳෙනවාට කැමති වුණේ නැහැ. ඒ හින්දා මම තේ වැවිලි කර්මාන්තයේ වැවිලි කරුවෙක් ලෙස අවස්ථාව තෝරගත්තා.

සැබවින්ම – ඔහුටත් වඩා ඒ තෝරාදීම සිදුකරන්නට ඇත්තේ ෙදෙවයයි. කුඩා කාලයේ සිටන්ම ඇන්ජලෝ වික්‍රමසූරිය සමඟම පැමිණි ඒ සැබැඳියාවයි – ඒ බව දැනුදු මට පවා සාක්ෂාත් කරගත හැක…

බොහෝ සෙයින් කතාබහ කරන මාතෘකා අගිස්සක – මැදක – මුලක බොහෝ විට හැම ඉසව්වක්ම ගහකොළ ගැනය.
තම අනාගත අභිමතාර්ථ ඉටු කරගැනීමෙහි ලා පියනගන තරුණයකුට මෙම ගහ කොළ හා සබැඳියාව කෙත් යායක්ම වන්නට ඇත.

ඒ කා‍ලේ දහස් ගණනින් ලැබුණු ඉල්ලුම් පත් අතරින් හොඳම විසිපස් දෙනාට මූලික පරීක්ෂණයෙන්ම මාව තේරුණා. ඒකෙනුත් හොඳම 5 දෙනා අතරට, ඊට පස්සේ මට හම්බවෙන්නේ ලොයිනොන් කියන වතුයාය. ඒ 1987 අවුරුද්දේ කණ්ඩායමෙන්ම හොඳම ආධුනික සහකාර වතු අධිකාරීවරයා විදිහට.

වෘත්තීය වේදියෙක් ලෙස වතුවගාවට යොමුවන ඇන්ජලෝ තුළ ඇති සොබා දහමට ඇති ළබැඳියාව – ගහ කොළට තියෙන ළෙන්ගතුකම ඔහුව බොහෝදුරට ඇරලවන්නේය.

එකල ශ්‍රී ලංකා තේ වතු වගාවට බොහෝම සක්‍රීය සමයක් විය. ප්‍රථම වරට වැවිලිකරුවෙකු ලෙස තේ වගාවට අත්‍පොත් තබන ඇන්ජලෝ ඉන්පසු ප්‍රධාන කළමනාකාර ධුරය දක්වා එන්නේ නොසැලෙන අරමුණකිනි.

ඕනෑම දෙයක් ගැන රාජ්‍ය තාන්ත්‍රිකව හෝ නීත්‍යානුකූලව හෝ ව්‍යුහාත්මකව හෝ යම්කිසි හැඩරටාවක් ආකෘතියක් තිබුණද ඇන්ජලෝ වික්‍රමසූරිය සම්බන්ධයෙන් එය එතරම්ම වැදගත් කමක් උසුලන්නේ නැත. මන්්දයත් ඔහු හැම වැඩක්ම කරන්නේ ඔහුගේම විලාසිතාවකට- තමන්ටම හිතෙනා කලාවකටය, පුරුදු සංවේදනයකටය.
ඒ බොහෝ කෝණයන්ගේ අපූරු නිර්මාණශිලීත්වයක් මුල්තැන ගන්නේය. ඔහුට අනුව ඔහු ආකෘති ගත වන්නේ එතැනින්ය. ඒ නිසාම අභියෝගද ඇති නොවුණාද නොවිය හැක.

කොතැනක හරි අභියෝගයක් නැත්නම් – එතැනින් සාර්ථක ගමනක් යන්න බැහැ. සාර්ථක ගමනක් යන්න නම් මාර්ගය අනිවාර්යෙන්ම අභියෝගාත්මක විය යුතුයි. තරගකාරී විය යුතුයි. ඒ තුළයි නිර්මාණශිලීත්වයට ඉඩ හැදෙන්නේ. තේ කෝප්පයේ ඉඳන් දලු ගොවියාගේ පවු‍ලේ බර පවා සමාගමේ කාරණා…

ඒ කාරණා බොහෝ දුරට සුළු පටු ගැටලු නොවෙයි. මොකද අපි තරග කරන්නේ අපි ගැටෙන්නේ ගෝලීය කරණය වූ ලෝකයක වෙළඳ‍පොළක. ජාත්‍යන්තරයත් එක්ක. දලු ගොවියාගේ, දලු නෙළන්නාගේ සිට කළමනාකරුවන් දක්වා ඝෘජුව හා වක්‍රව දායක වන හැම පුද්ගලයකුගේම වගකීම කොයි මොහොතකවත් පැහැර හරින්නට බැහැ…
ඒ සියල්ලටම ඇන්ජලෝ නිරතුරු නැගෙන මන්දස්මිතයකින් මුහුණ දෙන්නට ඇත.
සමහර දොරවල් වැහෙන විට සමහර දොරවල් ඇරෙන්නේ ස්වාභාවික න්‍යායකටය.

වතු යායෙන් ඔබ්බට ඇන්ජලෝව ගෙන එන්නේ ඔහු තුළ පවතින්නා වූ තම අභිමතය කරා පියනගන්නා වූ නිවැරදි නිර්මාණශීලී සංකල්පගත අරමුණුයි.

2000 අවුරුදේ මම සම්බන්ධ වෙනවා ඇමරිකානු සමාගමකට. එතකොටත් ඒ තරම් ලොකුවට ගැටෙන්න පෙර අත්දැකීම්වත් – අනුකරණ පුහුණුවක්වත් තිබුණේ නැහැ. නමුත් අද වෙනකොට අපි ඉතාම සාර්ථක ලෙස ඇමරිකානු වෙළෙඳ‍පොළ ජය අරගෙන තියනවා. ඒක මගේ විතරක් නමෛයි අපි හැමෝගේම රටක් විදිහට ලොකු සතුටට කරුණක්.

තනතුරෙන් තනතුරට අත්දකිමින් පන්නරයට පත්වෙන ඇන්ජලෝ වගා කරන්නේ තේ පැළ පමණක්ම නොවේ. ඔහු වැවූ තේ පැළ අද තවදුරටත් නැතිවුණද ඔහු නිසා හැදුණු මිනිසුන් තවමත් ඒ වතුවලය.

දලු ගොවියාගේ පවු‍ලේ ගැටලුවක් පවා සමාගමේ නිෂ්පාදන ගුණාත්මක භාවය කෙරෙහි බලපානවා. ඒ අය අපි එකම කණ්ඩායමක්. මගේ දැක්ම එයාලව ආර්ථික වශයෙන් ඔසවා තබන අතරම යහපත් හෙටක් වෙනුවෙන් වැඩ කිරීමේ උත්සාහවන්ත මානසික මට්ටමක්ද ඔවුන් තුළ ඇති කිරීමයි.

පුවත්පත් සාකච්ජාවම අරමුණු ගතව නොව රාජකාරී මට්ටමෙන් හෝ හමුවන අවස්ථාවලත් ඇන්ජලෝ පවසන්නේය. ඔහු රකින මානුෂීයත්වයත් ගහකොළට ඇති ළෙන්ගතුකමත් සැබවින්ම වෙනස්ම පෞරුෂයක් ඔහු කෙරෙහි ආ‍ලේප කරන්නට ඇත. මා මුලින්ම හේතු කාරණා සෙවූ සැලකිල්ල හා පිළිවෙළ පිටුපස ඇත්තේද ඒ සබඳතාව වන්නට ඇත.
ජීවිතයේ හැම දෙයක්ම ගේනවා. ඒ අතරින් හොඳ නරක, හරි වැරදි කියන අන්ත දෙක හරි වැදගත්. හැම අවස්ථාවකදීම තමන් ඉන්න තැන තමන් ගන්න තීරණය හරිද හොඳද කියල හිතන්න පුළුවන්නම් ඒ තීරණ බොහොම ශක්තිමත්.

තේ රස මෙන්ම ජීවිතයේ රසද ඔහු රසගන්වන්නේ එවැනි න්‍යායකයට. මට කවදාවත්ම තියෙන දේ ඒ විදියටම කරන්න බැහැ. මොකක් හරි නිර්මාණශීලි වෙනසක් කරන්න ඕනේ. එහෙම කිරීමේ ඇහැක්, නැතිනම් හැකියාවක් මගේ සංවේදන වල තියෙනවා. අපි නිරන්තරයෙන්ම දේශීය තේ කෝප්පයේ රස සමග විවිධ රසවර්ග මිශ්‍ර කිරීම ගැන පර්යේෂණ කරමින් ඒ සඳහා වෙනමම වෙළඳ‍පොළක් පවත්වාගෙන යනවා.

එහිදී වුවත් ඇන්ජලෝ, පරීක්ෂණයක ප්‍රතිඵලයකින් වත් දැඩි ලෙස සැලසුම් කරන ලද ඇසුරුමක කල්ගත කරමින් ගන්නා ඡායාරූපයකින් වත් පහසුවෙන් සෑහීමකට පත්වන්නේ නැත. බොහෝ දෙනකුට නොපෙනෙන ඔහුටම පෙනෙනා දැක්මකට  සමහරවිටක පුංචි එහාමෙහා කිරීමකින් ඒ සියල්ලක්ම සම්පූර්ණත්වය අවසානයේ තෘප්තිය ළඟා කරන්නේය.

වෙළෙඳ‍පොළට ඉදිරිපත් කරන හැම තේ කෝප්පයකම තියෙන්නේ අපේ දේශීය සාඩම්බරයයි. ජාත්‍යන්තර වෙළඳ‍පොළ ජයගත් දේශීය තේ කෝප්පයේ රසය පිටු පස ඇත්තේ හැමදේම – හොඳ විදියට හරි විදියට සිදු කළා වූ කාර්යභාරයයි. දලු ගොවියාගේ ඉඳන් මුළු කණ්ඩායකම සාර්ථකත්වයයි.

දීප්තිමත් දෙනතින් ඇන්ජලෝ පවසන විට මට සිහි වන්නේ අරගලයක් ජය ගත් කැරලි කරුවෙකුගේ දෙඇස් රටාවක්ය.
ශ්‍රී ලංකාවේ පමණක් ශ්‍රමිකයන් 7000කට පමණ ඔහු සැබෑ නායකයෙකි. තමන්ගේ දහඩිය බිඳුවක් වෙනුවෙන් පවා වටිනාකමක් ලබාදෙන ප්‍රධානියෙකි.

මෙතැන අද මෙහෙම ඉන්න ජීවිතයේ හුඟක් දේවල් මට කැප කරන්න වුණා. අව්ව වැස්ස නින්ද කියන එක කාලාන්තරයක්ම වැදගත්කමක් තිබුනේ නැහැ. පෞද්ගලික ජීවිතයේ පවා දේවල් කැප කළේ වෘත්තිය වෙනුවෙන්. නමුත් දැන් ඒ සිහිනය හඹාගෙන ගිහින් ඉවරයි. ඒ කැප කිරීමේ ප්‍රතිඵල රටක් විදිහටත් අපිට අත්විඳින්න පුළුවන්. ජීවිතයේ වැය කරපු හැම දුෂ්කර පියවරකම වටිනාකමක් තියෙනවා.

නිවාඩු දවසටත් ගෙදර නොඉන්න ඒ වෙනුවෙන් සුරතල් නෝක්කාඩු කියන ලොකු දුව කෙනුලිත්, බොරුවට තරහ වෙන්න දන්න දඟකාර අකිත්මාත් හැම විටම සිනහවකින්ම ඇන්ජලෝගේ ජීවිතය දරා ගන්නා දිලූත් ඔහුගේ ජීවිතයේ හරයයි.

තේ කෝප්පය ජීවිතයේ රසයයි. සියල්ලක්ම අවසානයේ ඉදින්මට මෙසේ ලිවිය හැක. ඔහු දක්ෂම වතු අධිකාරිවරයෙක්. සාර්ථකම කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්,  ඒ හැම දෙයටම යටින් ගෝචරයි. නායකයෙක්, බහුතරයක් මිනිසුන්ව, ගහ කොළද රැකබලා ගන්නා.

රුවන්ති පෙරේරා