‘‘මොනවද………. කොරන්නෙ… ම්…. ම්…. හු….. මැරෙන්න ද හදන්නෙ. තව මේ වගේ බෝම්බ කීයක් ඇද්ද දන්නෙ කවුදැ… යනව….කො….. ….. යනව….. කො…..’’

මේ අවාසනාවන්ත බිහිසුණු සිද්ධියේ දසුන් මගේ කැමරා කාචයට හසුකර ගනිමින් හුන් මා අසලට කඩියකු මෙන් ආ උප පොලිස් පරීක්ෂක සිරිමාන්න මගේ ඇඟට ගොඩ විය.

සැබැවින් ම ඔහු එසේ මා ඇමතුවේ කෝපයකින් නොවේ. ඊනියා දේශපේ‍්‍රමීන් තවත් බෝම්බයක් දෙකක් වුව පුපුරුවන්නට අටවා ඇතැයි හටගත්තු සැකයෙනි. නැතිව මා කෙරෙහි වූ නොහිතකින් නොවේ.

පොලිස් පරීක්ෂක සිරිමාන්න මට එසේ කීවේ ඔහු කී දේ පයිසෙකට ගණන් නොගෙන ඔහුගේ වදන් නො පිළිගනිමින් විවිධ පැතිවලට දුව දුව මේ ඛේදවාචකයේ විනාශය මගේ කැමරාවේ සටහන් කර ගන්නවා දැකය.

යළිත් වරක් උප පොලිස් පරීක්ෂක මා ඇඟට කඩා පැන්නේය. මෙන්ඩිස්….. මනුස්සයො….. මොකද මැරෙන්න ද හදන්නෙ…. කිව්වහම අහල මෙතැනින් ටිකක් ඈත් වෙලා ඉන්නවකො….’’ සිරිමාන්න කේන්තියක් තවරා ගෙන එහෙම කීවත් මං බීරි අලියකු සේ යැ.

මා කිසිවක් කීවේ නැත. කියන්නට තරම් වචන ගලපා ගන්නට මගේ දිවට වචන එන්නේ නැත. එන වචනය වුව කටින් පිට නොවේ. ඒත් මගේ කැමරාව ඒ පැත්තට මේ පැත්තට එල්ල වීම ඉබේට මෙන් සිද්ධ වේ.

මම පින්තූර ගනිමින් ඊනියා දේශපේ‍්‍රමීන්ගේ සාහසික අපරාධයක සටහන් කැමරාවට රිංගුවා ගත්තු මා ඊළඟට ඇස් හොඳින් යොමු කරද්දී බෝම්බයට හසුව මියගිය පුද්ගලයන් හා වේදනාවෙන් පීඩිතවූ තුවාලකරුවන් මහමෝදර ඉස්පිරිතාලෙට ගෙනියන්නට පොලිසිය ක‍්‍රියාශීලීව සිටින හැටිත්…. නගර ශාලා භූමිය මෙන් ම ගාලූ කොළඹ මහ පාරත් ජනශූන්‍ය වී ඇති හැටිත් නෙත ගැටිණි.

ගාමිණි අබේවර්ධන මන්ත‍්‍රීවරයා නගර ශාලා භූමියේ වැටී සිටින තුවාලකරුවන් දෙන්නකු සිය ගෝලබාලයන් එක්ක ඔසවා අංක 32 ශ‍්‍රී 6317 දරණ ඔහුගේ අලූත් ම අලූත් පැජරෝවට දාගෙන මහමෝදර ඉස්පිරිතාලෙ පැත්තට ඉගිලෙනවා මනෙත ගැටුණේ ඔය අතරේය.

කාල බෝම්බයට ගොදුරුව මිහිමව වැළඳගත් අහිංසක පුද්ගලයන් ගෙන් සිව් දෙනකුගේ ප‍්‍රාණ නිරුද්ධය. මරුමුවට පත් වූ හතර දෙනාගෙන් දෙන්නකු පොලිස් රාලහාමිලාය. එක් පොලිස් රාලහාමි කෙනෙක් ගාල්ල පොලිසියේ රාජකාරියේ නිරත වූවෙකි. අනෙක් රාලහාමි මාතර පොලිසියේය. අනෙක් දෙන්නා සිවිල් වැසියන්ය. ඒ මාරක බෝම්බයෙන් තුවාල ලද පුද්ගලයන් විසි හතර දෙනකු මහමෝදර මහ ඉස්පිරිතාලෙ පහේ වාට්ටුවටත් එකොළහෙ වාට්ටුවටත් ඇතුළත් කරන ලද්දෙ පොලිසිය විසිනි. ඒ තුවාලකරුවන් බොහෝ දෙනකු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ රියැදුරන් හා ආරක්ෂක රැුකවල් කාර්යයේ නියැළි සිටි පොලිසියේ පිරිස්ය. සිවිල් වැසියන් කීප දෙනකු ද තුවාල ලැබුවේ කිසියම් හෝ අවශ්‍යතාවයක් උදෙසා ගාලූ නගරයට ඇවිත් ගාලූ කොළඹ පාරේ ගමන් කරමින් සිටියාට දේශපේ‍්‍රමීන්ගේ දඬුවමකට යටත්ව මෙනි.
ඒත් එක්කම නගර ශාලාවට තරමක් නුදුරෙන් ගාලූ පාරේ කොතැනක හෝ තවත් බෝම්බයක් මේ දැන් පිපිරූ රාවයක් පැතිරිණි. ඒත් ඒ පැත්තට කිසිවකුට හෝ යා ගන්නට නො හැකි සේය.

පොලිසිය මහජන ආරක්ෂාව උදෙසා ක‍්‍රියාත්මක වී පුරහල් භූමිය හා ඒ අවට තහනම් කලාපයක් කරන්නට පියවර ගත්තේය.
වාහනයක අංක තහඩුවක් අතක තබාගත්තු ගාල්ල සහකාර පොලිස් අධිකාරි යූ. සී. ද සිල්වා නගර සභා භූමියට යළි ආ ගාමිණි අබේවර්ධනට පෙන්නා ඇහුවේ මේ නොම්මරේ තිබුණු වාහනය මතක ද කියායි. සහකාර පොලිස් අධිකාරි සිල්වා අත තිබුණේ මෝටර් රියක 12 ශී‍්‍ර 7783 දරණ අංක තහඩු කැබැල්ලකි.

‘‘අංකෙ නං හොඳට මතකයි. ඒත් හරියට ම කියන්න බෑ කාගෙ වාහනේ ද කියා’’ ගාමිණි අබේවර්ධනගේ පිළිතුර විය.
දැන් දැන් පොලිසියට ඇති ප‍්‍රශ්නය 12 ශ‍්‍රී 7783 අංකය දරණ මෝටර් රිය කාගේද යන්නයි. බෝම්බයක් අටවා ලූ ඒ රිය නගර සභා භූමියට ඇතුළු කිරීමට නම් ඒ වාහනයේ හිමිකරුට ඊට අවශ්‍ය විශේෂ අවසර පතක් නිකුත් කර තිබිය යුතු්තේය. එසේ නම්…. එසේ නම්…. ඒ අවසර පත‍්‍රලාභියා කවරකුද?

දැන් මේ වන විට ගාලූ නගරය දිස්වන්නේ පාළුවට ගිය පුරවරයක් බඳුය. පාරේ දුවන නේකාකාර වාහන බෝම්බය පිපිරීමත් එක්ක ඇහැකට පේන්නට නැත්තේය. කඩි ගුලක් ඇවිස්සුණාක් මෙන් නේකාකාර අවශ්‍යතා ඉටුකර ගන්නට ඈත එපිට ගම් දනව්වලින් ගාල්ලට අදෙමින් හුන් ජනී ජනයා මෙලෝ සිහියක් නැතිව ගේ දොර බලා යෑමේ අපේක්ෂාවෙන් ගාල්ල මධ්‍යම බස්නැවතුම් පොළට ගාල් වී සිටී. ඒත් බස් පොළේ නතර කර තිබූ පෞද්ගලික බස් රථ රියැදුරන් මගී ජනයා කෙරෙහි අනුකම්පාවක් නැති බව කියා පාමීන් තමන්ගේ ගමන් වාරය අත්හැර දමා පණ එපා කියා බස් හිමියාගේ ගෙදර දොර බලා ඉගිල්ලෙන අයුරු කියා පාන්නේ ඔවුන්ගේ වසල ගතිය හැර අන් කුමක් දැ යි මම මට ම කියා ගතිමි.

ඊළඟට මගේ දෙපා ගෑටුවේ ගාලූ කොටුවටය. කොටුවේ උසාවි සංකීර්ණය පැත්තටය. එහි ද ඇත්තේ බොහෝ කලබලකාරී ස්වභාවයකි. දකින හැම මුහුණක ම ඇත්තේ බියෙන් හා නොසන්සුන් බවෙන් පිරුණු සටහන්ය. නීතිඥ සමූහයා ද එක පොදියට දෙතුන් පොළකට ගුලි වී කතා කරන්නේ මේ මාරක බෝම්බය දැඩි ආරක්ෂාකාරී පියවර රැුසක් මධ්‍යයේ පවත්වන්නා වූ දකුණු පළාත් සභා රැුස්වීම පැවැත්වෙන නගර ශාලා පරිශ‍්‍රයට කාල බෝම්යක් අටවා මෝටර් රියක් ගෙනැවිත් නතර කර තිබුණේ කෙසේ ද යන්නයි. එය උභතෝකෝටිකයකි හැම කෙනකුට ම.

එය නිසාන් වර්ගයේ මෝටර් රියක් බවට ආරංචියක් පැතිර ගියේය. රතු පැහැ අංක 12 ශ‍්‍රී 7783 දරණ මෝටර් රිය දකුණු පළාත් සභාවේ ආහාර, සමූපකාර, නිවාස, මහාමාර්ග, ගමනා ගමන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ රිය බව තහවුරු කර ගත් පොලිසිය එදා හැන්දැ වරුවේ පටන් එහි කාල බෝම්බයක් අටවා පළාත් සභාව පැවැත්වෙන ගාලූ පුරහල් පරිශ‍්‍රයේ ගාල් කෙරුණේ කෙසේදැයි පරීක්ෂණ ඇරඹුණේ ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිස්ස ඒකනායක මහතා බෝම්බයෙන් මියැදුණු ඇත්තන්ගේ මරණ පරීක්ෂණය පැවැත්වීමට දුන් නියෝගය ප‍්‍රකාරව වැඩි දුර පරීක්ෂණ කරද්දීය. හැබැයි ඒ නියෝගය මහේස්ත‍්‍රාත්වරයා දෙන්නට පෙරත් වාහනේ හිමිකරු ගැන හෝඩුවාව පොලිසිය අහුලා ගෙන හමාරය.

ඒ මාරක බෝම්බය ඇටවූ මෝටර් රිය අයිති පඝාත් අමාත්‍යාංශ ලේකම්වරයා එදා රාජකාරියට වාර්තා කර නො තිබීම නිසා පොලිසිය ට ප‍්‍රශ්නයක් වූයේ එසේ නම් වාහනය නගර ශාලා භූමියේ ගාල් කෙරුණේ කෙසේ ද යන්නයි. ඒ ලේකම්වරයා බොහොම ඍජු වූත් අවංක වූත් මහත්මා ගතිගුණයන් ගෙන් සපිරි පුද්ගලයකු සේ කවුරුත් දැන හැදින සිටින්නෙක් සේ ප‍්‍රචලිතය.

නගර ශාලා පරිශ‍්‍රයේ දී දේශපේ‍්‍රමීන් විසින් කාල බෝම්බයක් දකුණු පළාත් සභා මාසික රැුස්වීමට එන ප‍්‍රධාන ඇමතිවරයා ඉලක්ක කර පුපුරුවා හැරියත් ඔවුන්ගේ අභිප‍්‍රාය ඉටු නොවී අසරණයන් සිව් දෙනකු මරුමුවට පත් වී තවත් විසි හතර දෙනකුට තුවාල සිදු කිරීම කෙරෙහි බොහෝ දෙනාගේ අපවාදයට ඔවුන් ලක්විය.

මේ අනුවේදනීය සිද්ධිය දිවයිනට යොමු කිරීම උදෙසා මා තත්පර වී මා කොටුවේ පිහිටි අප හේමපාල අබේවික‍්‍රම නම් ව්‍යාපාරික මිතුරාගේ නිවසට රිංගුවේ ඊළඟට සිද්ධියේ ඡුායාරූප පත්තරේ පළ කරන්න ඉක්මනට එන සේ ප‍්‍රවෘත්ති කතුවර උපාලි තෙන්නකෝන් කළ නියමය ප‍්‍රකාරවය.

ඒත්…..
මා කොළඹ යා යුතුය. මොන බාධක හමුවේ වුව දිවයින කන්තෝරුවට යා යුත්තේය. එසේ නම්….. එසේ නම්. ඒ සඳහා කිසියම් උපක‍්‍රමයක් යොදා ගන්නට ඇවැසිය.
මම මගේ මිතුරු පොලිස් නිලධාරියකු වෙත පිය මැන්නෙමි.

‘‘මොකද මචං…. ’’
‘‘කොළඹ යන්න එපා යැ….
‘‘ඉතින්…..’’
‘‘බස් නෑ නේ….’’
හ්ම්…… පොඞ්ඩක් ඉන්න කො’’

ඔහු මාතර පැත්තේ සිට ආ කතරගම කොළඹ බසයකට මා නැංවූයේ රියැදුරාට කිසිවක් පැවසීමෙන් පසුවය.

ලබන සතියට:- පළාත් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ මෝටර් රියේ කාලබෝම්බය ඇටවූ අයුරු…
සුගතපාල මැන්දිස්

Untitled-15