සති කිහිපයක සිට රට පුරා යළිත් රෝ බිය මතුව තිබේ. මේ බුද්ධ කාලයේ අප ඇසූ රෝ බිය නොවේ. ඉන්දියාවේ රෝ හෙවත් පර්යේෂණ හා විශ්ලේෂණ අංශ රහස් ඔත්තු සේවය ගැන වන කතාන්දර ය.

1962 දී චීනය සමඟ පැවැති දේශසීමා යුද්ධයේදී ඉන්දියාවට ඔවුන්ගේ රහස් ඔත්තු සේවාවල දුර්වලකම පෙනෙන්නට පටන් ගත්තේ ය. ‘චීනය ප‍්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බව හඳුනාගැනීමට නොහැකි වීම’ ඉන්දියාව දුටුවේ බරපතළ අර්බුදයක් ලෙසයි. 1968 වනතෙක් ඉන්දියාවේ අභ්‍යන්තර බුද්ධි කටයුතු පිළිබඳ වගකීම දැරුවේ බුද්ධිඅංශ කාර්යංශය හෙවත් අයිබී ආයතනයයි. බාහිර රහස් ඔත්තු සේවා සඳහා ද ඔවුන් කි‍්‍රයා කළේය. නමුත් එවකට අගමැති වූ ඉන්දිරා ගාන්ධිට පෙනී ගියේ යුද්ධයකට පෙර එ් පිළිබඳ රහස් ඔත්තු සේවා දැන සිටිමින් රට ආරක්ෂා කරන ආකාරයේ ප‍්‍රබල රහස් ඔත්තු සේවයක ඇති අවශ්‍යතාවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස රාමේෂ්වර් නාත් කා ඕගේ ප‍්‍රථම අධ්‍යක්ෂවරයා බවට පත්කරමින් රෝ ඔත්තු සේවාව පිහිටුවීය.

ආරම්භයේදීම රෝ ඔත්තුකරුවන්ට පැවරුණු වගකීම වුයේ චීනය සහ පාකිස්ථානය පිළිබඳ ඇස ගසාගෙන සිටීමටය. එතැනින් ආරම්භ වූ රෝ ඔත්තු සේවයේ වගකීම ඔත්තු සේවාවකින් ඔබ්බට ගොස් ඉලක්කගත විදේශ තුළ ඉන්දියාවේ බලපෑම්සහගත බව ඇතිකිරීමේ විදේශ ප‍්‍රතිපත්තිය දක්වා වෙනස් විය. ගෙවී ගිය වසර 50කට අධික කාලය තුළ මෙම ඔත්තු සේවාව එම වගකීම මැනවින් ඉටු කර ඇතැයි පැවසේ.

ආරම්භක සාමාජිකයන් 250කගෙන් මෙම ඔත්තු සේවාව ඇරඹුණ ද මේ වනවිට එහි සාමාජිකයන් ගණන දහස් ගණනකි. කෙසේවෙතත් රෝ ඔත්තු සේවාවට වාර්ෂිකව ඉන්දීය රජයේ අයවැයෙන් වෙන්වන මුදල හැමදාමත් රහසකි. ඇමෙරිකාවේ සීඅයිඑ් හෝ බි‍්‍රතාන්‍යයේ එම්අයි6 වැනි රහස් ඔත්තු සේවා එ් එ් රටවල  අගමැතිවරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යංශයට වගකියනු ලබයි. එහෙත් රෝ ඔත්තු සේවය කිසිදු අවස්ථාවක එරට පාර්ලිමේන්තුවට හෝ වගනොකියන අතර එය වගවී සිටින්නේ අගමැතිවරයාටම පමණකි. රෝ ඔත්තු සේවයේ ප‍්‍රධානියා වන්නේ අමාත්‍ය මණ්ඩල ලේකම්කාර්යාලයේ (පර්යේෂණ* ලේකම්වරයායි. ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතින් පවා රෝ ඔත්තු සේවාව නිදහස් කර ඇත.

මෙරට  ඉතිහාසය හා රෝ ඔත්තු සේවාව අතර සම්බන්ධය ඇරඹෙන්නේ ඔවුන් මෙරට දෙමළ බෙදුම්වාදීන්ට සහය දැක්වීමත් සමඟයි. 1970 වනතෙක්ම එල්ටීටීඊ දෙමළ බෙදුම්වාදීන්ට පුහුණුව සහ අවි ආයුධ සැපයූ රෝ ඔත්තු සේවාව 1980දී තමිලනාඩුවේ සහයෙන් එල්ටීටීඊයේ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් ආරම්භ කිරීමත් සමඟ සහය දීම නවතා දැමුවේ ය. 1991 දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය නිසා මුළුමනින්ම එල්ටීටීඊය සමඟ සම්බන්ධය මුලිනුපුටා දැමීමට රෝ කටයුතු කළේය.

රෝ ඔත්තු සේවාවේ සාමාජිකයින් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ඊශ‍්‍රායලය ඇතුළු රටවල් ගණනාවක පුහුණුව ලැබීමට යොදවයි. එමෙන්ම ආධුනිකයන්ට අසීරු පුහුණුවත් සමඟ තාක්ෂණික ඔත්තු සේවා පිළිබඳ පුහුණුව ද එ් සමානවම ලැබේ. රෝ ඔත්තු සේවයට මුලින් බඳවා ගැනුණේ එරට පොලිස් දෙපාර්තමේන්තුවේ බුද්ධිඅංශ කාර්යංශයෙන් පමණක් වුවද මේ වනවිට ඔවුන් විශ්ව විද්‍යාලවලින් පවා සිසුන් සාමාජිකයන් ලෙස ඇතුළත් කරගනී. රෝ ඔත්තු සේවාව ඉලක්කගත රාජ්‍ය නායකයන්ගේ, ආරක්ෂක ප‍්‍රධානීන්ගේ දුරකතන ඇමතුම් සඳහා සවන්දෙන බවට ප‍්‍රකට කරුණකි.
රෝ ඔත්තු සේවය ආරම්භයේ සිටම ඇමෙරිකාවේ සිඅයිඑ් රහස් ඔත්තු සේවයේ සහය ලැබුණු ඔත්තු සේවාවකි.

පසුකාලිනව යම් අර්බුද මතුවුණ ද සීඅයිඑ් ඔත්තු සේවයේ පුහුණුව ඔවුන් නිරන්තරයෙන් අපේක්ෂා කළේය. රෝ ඔත්තු සේවය ඇතැම් අවස්ථාවලදී දුර්වලකම් පෙන්වූවද එ්වාට හේතුවී ඇත්තේ ඔවුන්ගේ නිර්දේශවලට අනුව දේශපාලන කි‍්‍රයාකාරිත්වයේ ඇති දුර්වලතාව බව විෂයේ ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි.

රෝ ඔත්තු සේවාවට මුල සිටම සහය දුන් ඇමෙරිකාවේ සීඅයිඑ් හෙවත් මධ්‍යම බුද්ධි එ්ජන්සිය පිළිබඳ ශ‍්‍රී ලංකාව තුළ නිතර ඇසෙන අනෙක් රහස් ඔත්තු සේවයයි. ඇමෙරිකාවේ දේශීය විමර්ශන එෆ්බීඅයි ආයතනය මගින් සිදුකරද්දී සියලූම විදේ්ශ ඔත්තු සේවා පිළිබඳ කටයුතු කරන්නේ සීඅයිඑ් රහස් ඔත්තු සේවාව ය. සීඅයිඑ් ආරම්භයේදී ඔවුන්ට පැවරුණු වගකීම වූයේ විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ ඔත්තු බැලීම සහ විශ්ලේෂණය පමණි. එහෙත් මේ වනවිට ඔවුන්ගේ වගකිම රහස් තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය, අගැයිම, විදේශ රහස් ඔත්තු සේවා පිළිබඳ කටයුතු හා දේශපාලනමය වශයෙන් ආරක්ෂා කිරිමේ වගකීම දක්වා පුළුල් පරාසයක පැතිර පවතී.

මෑතකාලීනව ඇතැම් අවස්ථාවලදී රෝ මෙන්ම සීඅයිඑ් රහස් ඔත්තු සේවා ජාත්‍යන්තරය ඉදිරියේ සිය විමර්ශන හමුවේ කළු පැල්ලම් ඇලවුණු අවස්ථා ගණනාවක් තිබේ. එහෙත් නිද්‍රාශීලි බව පෙනෙන්නට තිබෙන එහෙත් ජාත්‍යන්තරය තුළ අතිශය සියුම් හා රහසිගත ලෙස සිය රහස් ඔත්තු සේවාව කි‍්‍රයාත්මක කරන රටක් ලෙස සැළකෙන්නේ චීනයයි. එරට ජාතික ආරක්ෂක අමාත්‍යාංශය හෙවත් එම්එස්එස් ලෙස නම් කෙරෙන චීන රහස් ඔත්තු සේවය 1983 දි පිහිටුවීය.

මොවුන් වැඩිවශයෙන් ඉලක්ක කරනු ලබන්නේ විදේශ රහස් ඔත්තු සේවා හා විදේශ දේශපාලන ප‍්‍රතිපත්ති සම්බන්ධයෙනි. මෙම රහස් ඔත්තු සේවාව තුළ ලක්ෂයකට අධික සාමාජිකයන් පිරිසක් කටයුතු කරන බවට සැළකෙන අතර ලොව සෙසු රහස් ඔත්තු සේවාවලට සාපේක්ෂව ඔවුන්ගේ සාමාජික සංඛ්‍යාව අතින් ඉතා ඉහළ අගයක් ගන්නා බව ද පැවසේ. 2016 සිට එ් එ් අංශයට එක් කාර්යංශයක් බැගින්  එම්එස්එස් රහස් ඔත්තු සේවාව යටතේ කාර්යංශ 17ක් ස්ථාපනය කර තිබේ.

ලොව ප‍්‍රබලතම රහස් ඔත්තු සේවා ලැයිස්තුවේ ඉහළින්ම රෝ, සීඅයිඑ් සහ එම්එස්එස් යන රහස් ඔත්තු සේවා සිය නම ඔසවා තබා තිබේ. ඇතැම් අවස්ථාවල බලාපොරොත්තු නොවූ හෙලිදරව්කරුවන්ගෙන් සිය විමර්ශන ඔත්තු සේවා වැරදී ගිය ද එ් සියල්ල ආවරණය කිරීමට ද අතිතයේ පටන් ඔවුන් සමර්ථයන් ය. නිරන්තරයෙන් විදේශ ඔත්තු සේවාවලට වඩා සූක්ෂ්ම හා නවීනතම තාක්ෂණයේ ඥනයෙන් රහස් සේවාවේ යෙදෙන මොවුන් එකිනෙකා හා ජාලගතව කටයුතු කරන අවස්ථා ද එලෙස කටයුතු කරන අතරතුරම බරපතළ ලෙස විශ්වාසය කඩකරන අවස්ථා ද නැතුවාම නොවේ.

එහෙත් සීඅයිඑ් රහස් ඔත්තු සේවාව ලොව බොහෝ රටවල රහස් ඔත්තු සේවා බිහිකිරීමේ දී දායක වී නිරන්තරයෙන් ඔවුන් හා සම්බන්ධව සෙසු රහස් ඔත්තු සේවා කටයුතු කිරීමේ සූක්ෂම මෙහෙයුමේ නිරත වන බව පෙනී යයි. මෙම රහස් ඔත්තු සේවා සියල්ලන්ගේම වගකීමට දේශපාලන වශයෙන් පැවරී ඇති තම රට පිළිබඳ සෙසු රටවල් තුළ බලපෑම්සහගතභාවය ඇතිකිරීම නැතිනම් කිසියම් ආකාරයකින් විදේශයක් පිළිබඳ නිතර භීතියක් ඇතිකිරීම යන කරුණ පිළිබඳ හැමවිටම සිහියෙහි තබාගෙන කි‍්‍රයාකිරීම නුවණට හුරුය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි