ලොව පුරා සංචාරකයින්ගේ වැඩිම ඉල්ලුමක් සහිත හා ජනප්‍රියතම සංචාරක මාර්ගෝපදේශ සඟරාව වන ‘ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් 2019 වසරේ සංචාරය කිරීමට ලොව ඇති හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබ තිබේ.

ලෝන්ලි ප්ලැනට් යනු සංචාරක මාර්ගෝපදේශ ‍පොත් ප්‍රකාශන ආයතනයකි. 1973 වසරේ සිට ක්‍රියාත්මක ලෝන්ලි ප්ලැනට් ආයතනය විසින් නිකුත් කරන සඟරාව සංචාරකයින්ට ඉතා විශ්වසනීය ලෝකයේ අංක එකේ සංචාරක මාර්ගෝපදේශ ‍පොත වේ. පසුගිය දශක හතරක් පුරා ලෝන්ලි ප්ලැනට් විසින් සංචාරක මාර්ගෝපදේශ ‍පොත් මිලියන 145ක් ප්‍රකාශයට පත් කර ඇති අතර එයට කැපවූ ලැදි සංචාරකයන්ගෙන් ගෝලීය ප්‍රජාවක් නිර්මාණය වී ඇත.

ලොව සංචාරය කිරීමට හොඳම රටවල් සහ කලාප ලෝන්ලි ප්ලැනට් විසින් වාර්ෂිකව නම් කරනු ලබයි. ඒ අනුව පසුගියදා නිකුත් වූ ලෝන්ලි ප්ලැනට් වාර්තාවේ නම් කර තිබූ 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 10 පිළිවෙළින් මෙසේය.

ශ්‍රී ලංකාව, ජර්මනිය, සිම්බාබ්වේ, පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕටොමේ සහ ප්‍රින්සිපේ දූපත්, බේලීස්ලබන වසරේදී සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම සඳහා ලෝන්ලි ප්ලැනට් විසින් හේතු වශයෙන් දක්වා ඇත්තේ අලුත් සංචාරක නිකේතන, වඩාත් හොඳ ප්‍රවාහන සබඳතා සහ ඉහළ යමින් පවතින සංචාරක ක්‍රියාකාරකම්ය.

නිමක් නොමැති වෙරළ, විශාල ඉතිහාසයක් පුරා දිවෙන නටබුන්, විශාල අලි රංචු, උණුසුම් පිළිගැනීම, දියමත ලිස්සා යන සර්ෆින්ග් ක්‍රීඩාව, විනෝදජනක දුම්රිය, අඩු මිල ගණන්, ප්‍රසිද්ධ තේ සහ රසයෙන් අනූන කෑම වර්ග නිසා ශ්‍රී ලංකාව නොවැළැක්විය හැකි සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති බව ලෝන්ලි ප්ලැනට් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මිශ්‍ර ආගම් සහ සංස්කෘති, පැරණි වෙහෙර විහාර, පහසුවෙන් ළඟා විය හැකි වනජීවි කලාප, වැඩි වෙමින් පවතින සර්ෆින්ග් දර්ශන සහ දශක ගණනාවක සිවිල් ගැටුම්වලින් පසු ඒ කිසිත් නොතකා මිත්‍රත්වයෙන් සහ උණුසුම් අයුරින් පිළිගන්නා එහි වැසියන් මේ වන විටත් සංචාරකයින්ගේ සැලකිල්ලට භාජනය වී තිබෙනවා. ශ්‍රී ලංකාව නැවත ප්‍රාණය ලැබූ රටක් යනුවෙන් ලෝන්ලි ප්ලැනට් කර්තෘ ඊතන් ගෙලබර් (Ethan Gelber) 2019 වසර සඳහා වන ප්‍රකාශනයේ දක්වා තිබේ.

ලෝන්ලි ප්ලැනට් පවසන පරිදි ශ්‍රී ලංකාවේදී නැරඹිය යුතු ස්ථාන මෙසේය.
1. ගල් විහාරය – ‍පොළොන්නරුව
2. අභයගිරි දාගැබ – අනුරාධපුරය
3. වටදාගෙය – ‍පොළොන්නරුව
4. ලෝකාන්තය – හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
5. බුදුරුවගල – වැල්ලවාය
6. මුල්කිරිගල ගල් විහාර – තංගල්ල සහ ඒ අවට
7. කන්දසාමි කෝවිල – ත්‍රිකුණාමලය
8. උඩවලවේ ජාතික උද්‍යානය – උඩවලව
මීට අමතරව ලෝන්ලි ප්ලැනට් විසින් ශ්‍රී ලංකාවේදී විඳගත යුතු අත්දැකීම්ද නම් කර තිබේ.
1. තංගල්ල අවට ඉස්තරම් වෙරළ තීරය
2. දුම්රිය ගමන් – ඇල්ල
3. උඩවලව ජාතික උද්‍යානය
4. පෞරාණික අනුරාධපුරය
5. සීගිරි පර්වතයේ ඉහළට
6. බුන්දල ජාතික උද්‍යානය
7. ශ්‍රී පාද වන්දනාව
8. මහනුවර සංස්කෘතික නගරය
9. මහහැරිය නොහැකි ගාලු කොටුව
10. ආරුගම්බේ සර්ෆින්ග් ක්‍රීඩාව
11. සනීප ගෙන දෙන ආයුර්වේදය විඳින්න
12. මිරිස්සේ තල්මසුන් නරඹන්න
13. නැගෙනහිර නැවුම් වෙරළ තීරය – නිලාවේලි
14. ශ්‍රී ලාංකික ආහාර
15. හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය
16. හපුත‍ලේ තේ වගාව
17. යාපනය සහ දූපත්
18. කොළඹ කෞතුකාගාරයේ යටත්විජිත යුගය
19. ‍පොළොන්නරුවේ ආස්චර්ය සම්පන්න ප්‍රතිමා
20. කොළඹ වෙළෙඳ සංකීර්ණ

වසර තිහකට ආසන්න කාලයක් පැවැති සිවිල් යුද්ධය අවසන්වීමත් සමග ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. යුද්ධය අවසන් වීමත් සමග යාපනය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් ඔස්සේ වැටී ඇති දුම්රිය සේවා යළි බලගැන්වීම මෙන්ම අලුතින් ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතියද සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා බලපා ඇත.

මෙරට මුහුදේදී නිල් තල්මසුන් නිරීක්ෂණය සහ මධ්‍යම කඳුකරය හරහා වැටී ඇති දුම්රිය ගමන් ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත. 2009 වසරේදී සංචාරකයින් 447,890ක්, ශ්‍රී ලංකාවට පැමිණි අතර එය 2017 වසර වන විට එම සංඛ්‍යාව 2116407 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් විය.

මෙම ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් නිකුත් කළ වාර්තාව මෙරටට කොතරම් වැදගත්ද යන්න පැහැදිලි වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්ද කිරීම නිසාය.

2015 වසරේ සිට මේ ආණ්ඩුව ක්‍රියා කළේ සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛස්ථානයක් ලබාදීමටයි. අද වන විට එහි ප්‍රතිඵල ලැබි තිබෙනවා. ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව මුල් ස්ථානයට නම් කිරීම මෙරට සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් වෙනවා. නමුත් මෙම ප්‍රතිඵලයෙන් සෑහීමකට පත් වී සංචාරක ව්‍යාපාරයේ වැඩකටයුතු නතර කළ නොහැකියි. මෙම ප්‍රතිඵලය ආරම්භයක් පමණක් බව කිව යුතුයි.

මෙරට අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. ඒ කෙටිකාලීනව විදේශ ආදායම් ඉපයිය හැකි ව්‍යාපාරයක් ලෙසයි. සංචාරක ව්‍යාපාරය යටතේ විශාල හෝටල් පමණක් නොව, නිවාස ආශ්‍රිත නවාතැන් දීම, කුඩා කඩ සාප්පු හා අවන්හල් ආදිය ඇති කරමින් අප ඉදිරියට යා යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළේය.

ලෝන්ලි ප්ලැනට් යනු සංචාරක ප්‍රවෘත්ති සම්බන්ධ ප්‍රවීණයින්. ඔවුන්ගෙන් ලැබුණු මේ සහතිකය ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණයක් වගේම එමගින් මෙරටට ගෝලීය සංචාරක සිතියමේ නිසි ස්ථානය ලැබිම සතුටට කරුණක්. මෙම ප්‍රචාරය මගින් අප රටට පැමිණෙන සංචාරකයින් සීත සෘතුවේ හා මෙම වසරෙන් ඔබ්බට වැඩි වෙතැයි අපේක්ෂා කරනවා. යැයි අප කළ විමසුමකදී සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

ඉෂාර රත්නකාර
පැතුම් වික්‍රමරත්න

Untitled-8 Untitled-9 Untitled-10 Untitled-11