ඔහු දකින කවුරුත් සිතන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙසය. ඉංග්‍රීසි භාෂාව යම් පමණකින් හැසිරවීමටද ඔහු දක්ෂතාවක් දක්වන්නේය. තිස්හය හැවිරිදි වියෙහි පසුවන ඔහු අපි සුනිල් නමින් හඳුන්වමු. සුනිල් දකින කවුරුත් සිතන්නේ අවුරුදු 25ක 30ක ධනවත් තරුණයෙකු ලෙසය. නමුත් සැබවින්ම සුනිල් එක්දරු පියෙකු විය. සුනිල්ගේ සුහදශීලීතාව නිසා ඔහුට මිතුරන් රැසක්ද සිටියේය. නමුත්, ඔහුගේ මිතුරන් කවුරුවත් සුනිල් කරන්නේ කුමන රැකියාවක්දැයි නොදැන සිටියේය.

සුනිල් සිය බිරිඳ සහ දරුවා සමඟ එක් ස්ථානයක වැඩි කාලයක් වාසය නොකිරීමට වග බලා ගත්තේය. ඔහු සිය දරු පවුල සමඟ වැඩිපුරම වාසය කළේ දෙමටගොඩ, මරදාන සහ බොරැල්ල ආදී ප්‍රදේශවල කුලී නිවාසවලය. මේ නිසා සුනිල් පිළිබඳව කිසිවකුගේ වැඩි අවධානයක් යොමු නොවීය. සුනිල් සෑම දිනකම ටයි කෝට් ඇඟලාගෙන අව්කණ්ණාඩියක්ද පැලඳ, දිලිසෙන තරමට මදින ලද අලුත් සපත්තු කුට්ටමක්ද දමාගෙන කුලී නිවසින් පිටව යන්නේය. ඔහු නැවත නිවසට පැමිණියේ රෑ බෝ වූ පසුවය.

වැලිකඩ ‍පොලිස් බල ප්‍රදේශයට අයත් රාජගිරිය සුපිරි නිවාස සංකීර්ණයක නිවාස කීපයකට ඇතුළු වූ අයෙකු මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලකා ඇතැයි වැලිකඩ ‍පොලිසියට ඉකුත් අගෝස්තු මාසයේ පැමිණිලි කීපයක් ලැබි තිබුණි. වැලිකඩ ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලගේ මහතා මෙම පරීක්ෂණ කටයුතු බාරදෙනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක රොෂාන්ද සොයිසා මහතාටය. මෙම සොරකම් කරනු ලැබුවේ කවුරුන් විසින්දැයි යන්න සම්බන්ධව ‍පොලිස් පරීක්ෂක රොෂාන්ද සොයිසා මහතා සිය කණ්ඩායමේ ‍පොලිස් කොස්තාපල්වරුන් වන (38722) රංජිත්, (48389) නන්දන, (81721) කුමාරතුංග, (83774) සුධීර, (90469) සුධීර යන නිලධාරීන් සමඟ පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

‍පොලිස් නිලධාරීන් මෙම සොරකම සිදුකරනු ලැබුවේ කවුරුන් විසින්දැයි දිගින් දිගටම පරීක්ෂණ සිදුකරනු ලැබූහ. කොල්ලකරු විසින් නිවාසවල රන් ආභරණ සහ මුදල් පමණක් සොරකම් කරගෙන ගොස් තිබුණි. නිවසේ තිබූ විදුලි උපකරණ හෝ වෙනත් කිසිවක් සොරකම් කර නොතිබිම පිළිබඳවද ‍පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු වන්නට විය. අනෙක් කරුණ නම් පෞද්ගලික ආරක්ෂක අංශ සහ සී. සී. ටී. වී කැමරා පද්ධති පවා තැන තැන සවිකර තිබෙන මේ නිවාස සංකීර්ණය තුළ මෙවන් සොරකමක් සිදුවූවේ කෙසේද යන්න ‍පොලිසියට පවා ප්‍රහේලිකාවක් විය.

ඒ අනුව ‍පොලිස් නිලධාරීන් එම සුපිරි නිවාස සංකීර්ණයේ නිවාසවල සවිකර තිබෙන සී. සී. ටී. වී. කැමරා දිගින් දිගටම පරීක්ෂා කළේය. ‍පොලිස් නිලධාරීන් කැමරා දත්ත දිගින් දිගටම පරීක්ෂා කරගෙන යද්දී එක් පුද්ගලයකු පිළිබඳව දැඩි අවධානයක් යොමු විය. කළු කලිසමකින් හා සුදු අත්දිග කමිසයකින් සැරසී සිටි ඔහු නිල් පැහැති කෝට් එකක් දමාගෙන සිටියේය. කෝට් එකටම ගැළපෙන නිල් පැහැති ටයි පටියක් සහ නිල් පැහැති අව්කණ්නාඩියක් පැලද සිටියේය. ජැන්ඩියට හැඳ පැලඳ සිටි මේ පුද්ගලයා මෙම නිවාස සංකීර්ණයේ පදිංචි අයෙකු නොවන බව තහවුරු කර ගත්තේය. ‍පොලිස් නිලධාරීන් මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු වඩාත් පුළුල් ලෙස සිදුකරද්දී අනාවරණය වූයේ මෙවැනි ආකාරයට ජැන්ඩියට හැඳ පැලඳගත් අයෙකු දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ වත්තල ආදී ‍පොලිස් බල ප්‍රදේශවල සුපිරි නිවාස සහ තරු හතරේ පහේ හෝටල්වලින් මුදල් රන් භාණ්ඩ සොරකම් කර අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශවල අධිකරණවලට ඉදිරිපත් කර ඇති බවය.

‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ මෙම පුද්ගලයා වෙන කිසිවෙකු නොව සුනිල් බවය. ඒ අනුව සුනිල් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකඩ ‍පොලිසියේ නිලධාරීන් දැල එලුවේය. ඒ අනුව මෝදර ප්‍රදේශයේදී සුනිල් අත්අඩංගුවට ගැනීමට ‍පොලිස් නිලධාරීන්ට හැකිවිය. ඒ අනුව ‍පොලිස් නිලධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී කෝටිපතියකු ලෙස පෙනී සිටි සුනිල්ගේ තොරතුරු රැසක් අනාවරණය වන්නට විය.

සුනිල් උපත ලබා ඇත්තේද කොළඹදීය. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේද මරදාන ප්‍රදේශයේ විදුහලකිනි. සාමාන්‍ය පෙළ දක්වාවත් අධ්‍යාපනය නොලද ඔහු අතරමඟදීම පාසල් ගමන අත්හැරියේය. ඔහු කුඩා කල සිටම වැඩිපුරම ගැවසුනේද මරදාන ප්‍රදේශයේමය. වරෙක ඔහු කුලී වැඩ කර කීයක් හෝ උපයා ගත්තේය. කුමන කටයුත්තක් සිදුකර හෝ උපයා ගන්නා මුදල් සුනිල් වැය කළේ මත්පැන් පානය කිරීමට හෝ මත්ද්‍රව්‍ය පානය සඳහාය. නැත්නම් කැසිනෝ ක්‍රීඩාවටය. මේ නිසා සොරකම් කර හෝ මුදල් ඉපැයීමට සුනිල් පෙළඹුණේය.

සුනිල් මීට අවුරුදු හත අටක සිට අලුත් කටයුත්තක් සිදු කළේය. එනම් කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස හැඳ පැලඳගෙන සුපිරි නිවාස සංකීර්ණවලට සහ සුපිරි හෝටල්වලට ගොස් මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමය. සුනිල් ඇතැම් ධනවත් කාන්තාවන්ද මිතුරු කරගෙන සිටියේය. එම කාන්තාවන් සමඟ ඔහු සුපිරි නිවාසවලට ගොස් අනෙකුත් නිවාස ගැන තොරතුරු රහසේ බලාකියා ගත්තේය.

ටයි කෝට් පැලඳ, අව් කණ්නාඩි පැලඳ එන සුනිල් ගැන සුපිරි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් කිසිදු සැකයක් නොසිතූහ. ආරක්ෂක නිලධාරීන්ට ඔහු පැවසුවේ තමන් ව්‍යාපාරිකයෙකු බවය. ඔහු සිය මිතුරු කෝටිපති ව්‍යාපාරිකයෙකු හමුවීමට යන බව පවසමින් දහවල් කාලයේදී නිවාසවලට ගොස් කිසිවෙකු නොමැති එම නිවාසවල ජනේලයකින් නිවසට ඇතුළුවී මුදල්, රන් භාණ්ඩ සොරකම් කළේය.

තවත් වරෙක ඔහු සුපිරි හෝටල්වලට  ගියේ එහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමිනි. හෝටලයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කාමර පරීක්ෂා කරන මුවාවෙන් ඔහු කාමරවල ලාච්චු ආදියෙන් මුදල් සොරකම් කළේය. කෙසේ හෝ මෙලෙස මුදල් සොරකම් කරද්දී ඔහු හෝටල් ආරක්ෂක නිලධාරීන්ගේ ඇස ගැටී ‍පොලිස් අත්අඩංගුවට පත්විය. මේ නිසා සුනිල්ට කිහිප අවස්ථාවකදීම රක්ෂිත බන්ධනාගාර ගතවන්නටද සිදුවිය.

මෙලෙස සොරකම් කරන මුදලින් ඔහු කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණේය. මත්පැන් හෝ හෙරොයින් පානය කළේය. වසර අටක කාලයක් තිස්සේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස රඟපෑ සුනිල්ට සිදුවූයේ අවසානයේ හිරේ තපින්නටය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com