ජාතියක් ලෙස අපි ඉතිහාසයේ  බොහෝ පරිත්‍යාගශීලි අය වන්නෙමු. ආහාරපාන, මිලමුදල්, ඇඳුම් පැලඳුම් පමණක් නොව  ගෙවල් දොරවල් පවා    අප මෙත් සිතින් පරිත්‍යාග කිරීමට මැළි නොවෙන ජාතියක් වන්නේය. මෙසේ කරන  පරිත්‍යාගයන් යමෙක් අවතක්සේරු කරන්නේ නම් හෝ  එම පරිත්‍යාගයන්හි තත්ත්වය බාල කර විකෘති කර වැඩි මිලකට අලෙවි කරන්නේ නම්  එය සදාචාරාත්මක නොවන ක්‍රියාවකි. එමෙන්ම  පරිත්‍යාගශීලීන්ට කරනු ලබන බරපතළ අසාධාරණයකි.

යමෙක් රුධිරය පරිත්‍යාග කරන්නේ නම් එය කරනුයේ තම ආත්මයට කුසල් රැස්කර ගැනීම සඳහාය.  ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු රුධිරය පරිත්‍යාග කර තම ජීවිතයේ අවසාන භාගයේදී මානසික සුවයක් ලබා ගැනීමට ප්‍රාර්ථනා කරති.
අප අතර සිටින ඇතැම් රුධිර පරිත්‍යාගශීලීන් තමන්ගේ රුධිරය පරිත්‍යාග කිරීම සඳහා වසරක් පාසා නිශ්චිත දිනයක් තෝරා බේරා ගෙන සිටීම විශේෂත්වයකි. මෙසේ වැඩිම වාර ගණනාවක් රුධිරය පරිත්‍යාග කළ පුද්ගයින් ඇගයීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේදී  විශේෂ වැඩපිළිවෙළක් දියත් කළේය. එහිදී ඔවුන් වඩ වඩාත් ධෛර්යමත් කිරීම හා  අන් අයට රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය යොමු වීම ලබා දීමට කටයුතු කළේය. මේ සෑම සියලු කාර්යයකම අවසාන ප්‍රතිඵලය වන්නේ රෝගී සත්කාරයම පමණකි. එම රෝගී සත්කාර සේවාවට මුළා වී අපගෙන් අඩු මිලට  ලබා ගන්නා රුධිරය භාවිත කරමින් නිපදවන විවිධ ඖෂධ වර්ගයන් අධික මිල ගණන්වලට නැවත අපටම මිලදී ගැනීමට සිදුව තිබිම ඛිෙදජනක තත්ත්වයකි.

ලංකාව තුළ යමෙක්  රුධිරය පරිත්‍යාග කරන්නේ නම් ඒ රෝගීන් සඳහාය. එය කිසි විටෙකත් මුදලට  නම් නොවන්නේය.  මෙසේ පරිත්‍යාග කරනු ලබන රුධිරය රෝගියාගෙන් රෝගියාට ලබා දීමේදී වෙනස් වන්නේය. හදිසි අනතුරකදී  තුවාල ලබන පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ රතු ෙසෙල සහ රුධිරයයි. ඩෙංගු රෝගය උත්සන්න වූ රෝගියකුට අවශ්‍ය වන්නේ ප්‍ලේට්ලට්ය. රුධිරය කැටි ගැසීමේ සංකූලතාවන් තිබෙන රෝගීන්ට අවශ්‍ය වන්නේ රුධිර ප්ලස්මාවය.

පරිත්‍යාගශීලීන් ලබා දෙන  රුධිරය රුධිර බැංකුවේ පර්යේෂණාගාරය තුළදී නවතම තාක්ෂණයන්ට  අනුව විවිධ කොටස්වලට වෙන් කරනු ලබයි. මෙහිදී රුධිරය, රතු රුධිරාණු, ප්ලස්මාව, ප්‍ලේට්ලට් ආදී වශයෙන් විවිධ සංඝටකයන්ට වෙන් කරනු ලබන්නේය. මෙම සකස් කරන  රුධිර සංඝටකයන්  මාසයක් වැනි කෙටි කාලයක් තුළදී කල් ඉකුත්  වන්නේය. මෙහිදී අතිරික්ත රුධිර කාණ්ඩයන් කල් ඉකුත් වීමට පෙර අප ඉන්දියාවට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇත්තේමු. මුලින්ම අපගේ රුධිර සංඝටකයන් මිලදී ගැනීම සඳහා එක් ඉන්දීය සමාගමක් පමණක් ඉදිරිපත් වූ නමුත් පසුකාලීනව ඇති වූ තරගකාරිත්වයත් සමග ඉන්දීය සමාගම් කීපයක්ම ඉදිරිපත් වුවේය. මේ අනුව කරන ලද  ටෙන්ඩර් කැඳවීමේදී අපගේ රුධිර සංඝටකයන් මිලදී ගැනීම සඳහා වැඩිම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම පිළිබඳ පුළුල්ව සොයා බලන ලදි. එහිදී හෙළි වී ඇත්තේ අපගෙන් ලබා ගන්නා රුධිර සංඝටකයන්ට කෘත්‍රිම දෑ සහ සත්ව රුධිරය  කවලම් කරමින් රෝගීන් සඳහා විවිධ දෑ නිෂ්පාදනය කර රටවල් වෙත අධික මිල ගණන්වලට  අලෙවි කරන බවය. එසේ අධික මිල ගණන් යටතේ ඒවා මිලදී ගන්නා රටවල් අතර අපද සිටීම කනගාටුවකි.

කෙසේ නමුත් අපගෙන් රුධිර සංඝටකයන් මිලදී ගන්නා ඉන්දියානු සමාගමක් මේ වන විටත්  සත්ව රුධිර කොටස් එක් කිරීමේ ජාවාරමක් පිළිබඳව ලෝක ආහාර හා ඖෂධ අධිකාරියේ දැඩි අවධානය යොමු වී ඇත්තේය.  මෙවන් ව්‍යාජ නිෂ්පාදනයන් හේතුවෙන් යම් ජීවිත හානියක් සිදු වුවහොත් ඒ පිළිබඳව අපකීර්තිය පැමිණෙන්නේ රුධිර සංඝටකයන් මුල්වරට අපනයන කළ රටටය. මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා අපගෙන් රුධිරය මිලදි ගන්නා සමාගම්  සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ඔවුන් සෞඛ්‍ය ඇමැතිවරයාගෙන්  කරන ලද මෙම ඉල්ලීම ක්‍රියාවට නංවන්නේ නම් අප එකතු කරන රුධිරය කල් ඉකුත්වන බැවින් එය ඉවතලෑමට සිදු වන්නේ යැයි කිසියම් පාර්ශ්වයකින් බලපෑම් එල්ල වී ඇතැයි විද්වත් පර්ෂදයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරයි. ඇමතිවරයාටත් මෙවැනි බලපෑම් කරන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බවත් මෙම ජාවාරම හේතුවෙන් අප රටට  ඇති වන අපකීර්තියට ඔවුහු වගකිව යුතු බවත් කුමුදේශ් මහතා පෙන්වා දේ.

අප සතුව වඩාත් හොඳ රසායනාගාරයක් තිබියදීත් පර්යේෂකයින් හා රුධිර පරිත්‍යාගශීලීන් සිටියදීත් අතිරික්තයන් තිබියදීත් අප ඉන්දියාවට මේවා අලෙවි කර නැවතත් ඒවා අධික මිල ගණන් යටතේ ගැනීම බරපතළ තත්ත්වයකි. එක්කෝ සෞඛ්‍ය ඇමැතිට තේරෙන්නේ නැතිය. එසේත් නොමැති නම් අපට තේරෙන්නේ නැතිය. නොතේරෙන සෞඛ්‍ය සේවාවක් දියුණු යැයි කියන්නේ මෙවැනි වටාපිටාවක් තුළද යන්න ප්‍රශ්නයකි.

ශ්‍රියානි විජේසිංහ