මම සන්තුශ් කුමාර් මීගමුවෙ.
ඔහු කතා කළේ පැකිලෙමින්ය. තම වැඩපළේ තත්ත්වය හරි මදි යැයි ඔහුට සිතෙන්නට ඇත. දිනෙන් දින නූතනත්වය කරා පිය මනින කොළඹ තුළ මෙවන් පැරණිතම ගොඩනැගිල්ලක් තිබිමම එක්තරා විදිහක අපූරු ආස්වාදයකි. එය සබන් නිෂ්පාදනාගාරයකි. අයිතිකරු සන්තුශ් කුමාර්ය.

මට බිරිඳයි, දරුවො දෙන්නෙකුයි ඉන්නවා. තව අක්කලා දෙන්නෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා. අම්මයි, තාත්තයි ජීවතුන් අතර නෑ. සබන් බිස්නස් එක මුලින්ම පටන් ගත්තේ තාත්තා. මමත් ඕ ලෙවල් කරායින් පස්සේ මේසන් වැඩ, කොසු, ඉදල් හදන වැඩ කළා. නමුත් දියුණුවකට එන්න බැරිවුණා. පස්සෙ තමා මේ රස්සාව තෝරාගත්තේ. තාත්තා තමා කිව්වේ කැමති නම් සම්බන්ධ වෙන්න කියලා.

විශාල ප්‍රමාණයේ තෙල් බැරල්, කුට්ටි ලෙස නිෂ්පාදනය කළ නිල් සබන් එහි සැම තැනම පාහේ දක්නට ලැබිණි. වැඩපළ යම් අඳුරක තිබුණු අතර, ‍පොළොවද තෙල් නිසා ඇලෙන ස්වභාවයකින් පවතී. මා ඉදිරිපිට සන්තුශ් විටින් විට කතා කරති.

තාත්තා බිස්නස් එක පටන් ගත්තේ 74දි. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 15ක් වෙනවා. එදා ඉඳන් මං බිස්නස් එක ඇදගෙන යනවා. පිටකොටුවේ සබන් හදන තැන් තව තිබුණා. නමුත් දැන් ඉතුරුවෙලා තියෙන්නේ මේක විතරයි.
ලාභයක් කියලා නෑ ඉතින්. පරණ වෙළෙන්දෝ ඇවිල්ලා අරන් යනවා. තොග පිටින්, සිල්ලර පිටින්. මං යටතේ දැන් තුන්දෙනෙක් වැඩ කරනවා. ඒ අයත් තාත්තගේ යටතේ වැඩ කරපු අය.

රූපවාහිනියේ, ගුවන්විදුලියේ හා වෙළෙඳ‍පොළේ අප නිතර දෙවේ‍ලේ දකින, අහන සබන්වලට වඩා වෙනස් හැඩයක් සන්තුශ් හදන සබන්වල ඇත. අනෙකුත් සබන් කවර මෙන් නොව සන්තුශ්ගේ සබන් කවරය වෙන්නේ පත්තර කොළයක්ය.

කර්මාන්තය කරගෙන යාමේදී ලාභ අලාභ, කරදර, කම්කටොළුවලට මුහුණ දෙමින් සන්තුශ් තවමත් නොසැලී තම ගමනේ යෙදෙයි. සරල බව සහ සොඳුරු සිනහව ඔහුටම බද්ධ වී ඇති සෙවණැලි සේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇවිත් තත්ත්වය පරීක්ෂා කරනවා. සමහර අය බඩු අරගෙන සල්ලි නොදී යනවා. හිතට සතුට දැනෙන එකම දෙය බඩු ගත්ත අය අපට දෙන ගුණාත්මක ප්‍රමිතිය. උසාවියේ නීතිඥ මහත්වරු පවා ඇවිත් අපේ සබන් ගන්නවා.

කර්මාන්තයේ පුරෝගාමියා වුණේ අම්මගේ තාත්තා. අපේ තාත්තත් මං වගේම එක එක රස්සා කරලා හෙම්බත් වුණාමයි කර්මාන්තයට අත ගහලා තියෙන්නේ. අපි කලබල කාලෙත් අමාරුවෙන් හරි කර්මාන්තය කරගෙන ගියා. 83 දී මේ කඩෙත් එක්ක එක දිගට තිබුණු සබන් ෆැක්ටරි කිහිපයක් විනාශ කරලා බඩු උස්සලා ගිනි තිබ්බා. ආයෙ කර්මාන්තය ගොඩනැගුවේ අම්මගේ රත්තරන් බඩු උකස් කරලා ගත්ත සල්ලිවලින්.

මේ කර්මාන්තය දෙයියෝ දුන්නු තුටු පඬුරක්. සීයා කිව්වෙත් මේක කරොත් කාටවත් අත පාන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. අපට ප්‍රචාරයක් දීලා මේ කර්මාන්තය තව මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන්. නමුත් ඒකට ලොකු මුදලක් වැයවෙනවා. එහෙම කළොත් සබන් කෑල්‍ලේ මිලත් වැඩි කරන්න වෙනවා. දැනට සබන් කැටයක සිල්ලර මිල රුපියල් 40යි. අපි වෙළෙන්දන්ට කැටයක් රුපියල් 30ක මිලට දෙනවා.

සබන් ෆැක්ටරියේ මඳ අඳුරේ හිඳ එහි ඇරඹුම ගැන තවදුරටත් සෙවීමට මා පෙළඹවූයේ එයටම ආවේණික වූ පැරණි ගුප්ත බවය.

තාත්තා ඉස්සර වැඩ කරලා ගෙදර එන්නේ මාස තුනකට සැරයක්. මෙතැන වැඩ කරන අයත් දන්නේ මේ කර්මාන්තය විතරයි.

විටෙන් විට ඔහුගේ සබන් ජීවිතයේ දිය වූ මතකයන් කතා කරයි.
83 කාලෙ තමයි සබන් කර්මාන්තයේ ස්වර්ණමය යුගය. තාත්තා ණය අරන් තමා බිස්නස් එක ඇදගෙන ගියේ. කුවේට්, මාලදිවයින් වගේ රටවලට පවා අපි සබන් ඇරියා. නමුත් භීෂණ කාලයේදී මේ ගොඩනැගිල්ල සමතලා වුණාම ලොකු දුකක් ඇතිවුණා.

අනිත් මනුස්සයා එක්ක වෛරයක් ඇතිවුණේ නැද්ද?
මම මැදට පැන්නෙමි.
නෑ. ඒක හයියක් කරගත්තා නැගිටින්න.

මේ ජීවිතේට හුරුවෙලා ඉන්නේ මම. කොළඹ අවුරුදු ගාණක් හිටියට එහේ මේ වගේ ඇවිදින්න යන්න ලැබෙන්නේ නෑ. උදේට එනවා, හවසට යනවා. පුතා වුණත් කියන්නේ සබන් බිස්නස් මෙහෙම කරන්නේ නෑ කියලා. බිස්නස් එක මොඩිෆයි කරලා ගන්න එක තමයි එයාගේ අරමුණ. මං කිව්වා කැමැත්තක් කියලා. එයාලත් සමාජයෙන් තැළිලා, ‍පොඩිවෙලා එන්න එපැයි. මාත් මෙතැනට ආවේ එහෙමයි.

‍පොළොවේ කඳුළින් උපන් මිනිසුන් සමාජය තුළ හැසිරෙන ආකාරය අමුතුවෙන් ප්‍රගුණ කළ යුතු නැත. ව්‍යාපාරිකයකු ලෙස සන්තුශ් කරන්නේ ‍ලේසි පහසු සෙල්ලමක් නොවේ. වත්මන් දේශපාලනය ගැන ඔහුට තිබුණේද බොහෝ අයට මෙන් කලකිරුණු දෘෂ්ටියකි.

අපි උත්සාහ කරන්න ඕනේ එයාලගෙන් වැඩ ගන්න. වැඩ කරන අය එක්ක වුණත් වෙලාවකට ගනුදෙනු කරද්දි හරි අමාරුයි. එහෙම වෙලාවකට ඔළුව අතගාලා හරි වැඩේ කරගන්න ඕනේ. දේශපාලනය ගැන නම් තියෙන්නේ කලකිරීමක්. මේ කතා කරන කාලයත් අපරාදේ. තාත්තා දුන්නු උපදේශය තමයි සේවකයා එක්කත් කේන්ති ගන්න හොඳ නෑ. ‘ඔයාට හොඳ නම් ඔයා කරන්නකෝ’ කියලා ඉන්නෝනේ අපි. හිතන්න ඕනේ අපේ වැඩේ සේවකයා ලව්වා කරගන්න එක. වෙලාවකට ගැටලු ඇතිවුණාම ‍පොඩි ‍පොඩි දෙබස් ඇතිවෙනවා. ඒ වෙලාවට උපරිම ඉවසීමෙන් සාකච්ඡා කරලා ප්‍රශ්නය විසඳා ගන්නවා. චෙක්වලට එහෙම මං  බඩු දෙන්නේ නෑ. එයාලා එකවුන්ට් නම්බරයක් දීලා සල්ලි දැම්මොත් බඩු යවනවා. නැත්නම් චෙක් එකක් දීලා බඩු දෙන්න කියලා කියනවා. ඊට පස්සේ කොළ කෑල්ල විතරයි. ඒ වගේ පාඩු සිද්ධවෙලා තියෙනවා.

මිනිස්සු මට ආදරෙන් කතා කරනවා. සමහර අය පුළුවන් නම් යටිකූට්ටු වැඩක් වුණත් කරනවා. සල්ලි දීලා හිත පිනෙව්වොත් තමා එයාලත් අපිට ආදරේ කරන්නේ. උපකාර කරන වෙලාවට උපකාර කරනවා. ඔය වගේ වාතාවරණයක තමයි ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ.

අපේ කතාවට පෙර වැඩපළේ නිර්මාතෘවරයා ලෙස සන්තුශ් තමාව හඳුන්වා දුන්නේ නැත. ඔහු නිහඬව අත දිගු කර දුමෙන් කළුව ගිය හා තෙල් බැරල්වලින් වැසී ගිය බිත්තියක රාමුකර එල්ලා තිබූ පින්තූරයක් පෙන්නුවේය.

තාත්තා තමා මට හිටපු හොඳම සේවකයා. එයා කියලා දුන්නා එකක්වත් මං ඔයාට කියලා දෙන්නේ නැහැ. ඔයා සමාජයයි, මිනිස්සුයි ආශ්‍රය කරලා ජීවත් වෙන්න ඉගෙන ගෙන ආවොත් ඒක තමයි ජයග්‍රහණය කියලා. කියමනක් තියෙනවානේ ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ වෙන්නෝනේ කියලා. එයා තරුණ කා‍ලේ අම්පාර පැත්තේ හාල් මෝලක වැඩ කෙරුවා. ඒ වැඩ කරගෙන ඉද්දි තමයි ඒ පැත්තේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් සිංහල ඉගෙන ගත්තේ. ඒ සාධු තමන්ගේ ජීවිතේ ගොඩනගන්න ගොඩක් ගුරුහරුකම් දුන්නා කියලා තාත්තා අපිට කියලා තියෙනවා.

වෙනස් සංස්කෘතීන් තම ජීවිතය කරගත් මිනිසුන්ගේ වෙනස් හැඩයක් ඇති බව මම කලක සිට තේරුම් ගනිමින් ඉන්නෙමි. සන්තුශ්ගේ සංස්කෘතික ජීවිතය ගැන තොරතුරු විමසා බලන්නට මට තිබුණේ නොතිත් ආශාවකි.
අපි දීපවාලි සමරන්නේ නෑ. සිංහල අවුරුදු තමා සමරන්නේ. අපි මලයාලම්. සීයයි, ආච්චියි මුලින් කේරළයේ හිටියේ.

පස්සේ තමා මෙහෙට ආවේ. එහේ අපේ නෑයෝ ඉන්නවා. ඉඩකඩමුත් තියෙනවා. එයාලා අපි වගේ දෑතේ කර්මාන්ත කරන්නේ නෑ. තාත්තා ඉන්නකොට දෙපාරක් ඉන්දියාවේ ගියා. මාත් යන්න කැමැතියි. ඒත් සල්ලි නෑනේ. හෙට ඉරිදා නිසා ළමයින්ව පල්ලියට ගෙනියනවා. මොකද අපේ ගෙවල් ගාව පල්ලි තියෙන්නේ. එයාලා ඉගෙන ගන්නේ කතෝලික දහම. පුතා කතෝලික. දුව මෙතෝදිස්ත. සිකුරාදා, අඟහරුවාදා කෝවිලටත් යනවා. පල්ලියේ මංගල්‍යයටත් උදව් කරනවා. ගමේ අයත් එක්ක සහයෝගයෙන් ඉන්නවා. මොන දේ වුණත් ‍පොඩ්ඩ ‍පොඩ්ඩ කෙරුවොතින් හරි.

අසූව කා‍ලේ මේකේ මිනිස්සු වැඩ කළේ ෂිෆ්ට් එකට. උදේ කට්ටියක් වැඩ, රෑට කට්ටියක් වැඩ. අපි පාට තුනකින් සබන් හදනවා. රෝස, නිල්, කහ. ඉස්සර කොළ පාට තිබුණා. නමුත් ඉල්ලුම අඩු නිසා ඒක ටිකක් නවත්තලා තියෙන්නේ.

සබන්වලට අමතරව පිඟන් හෝදන ලික්විඩ් එකක්, වොෂින් පවුඩර් එකක් හදන්න මේ දවස්වල යොමුවෙලා තියෙනවා. ඒකට ක්ෂේත්‍රයේ අයගෙන් උදව්, උපදෙස් ලැබෙනවා.

මා සමග කතාබහ කිරීම සන්තුශ් මදිපුංචිකමක් යැයි සිතුවේ තම වැඩපළේ තත්ත්වය නිසාය. නමුත් සන්තුශ්ගේ සබන් ෆැක්ටරිය අබලන් වුවද සන්තුශ්ගේ මානුෂික සුවඳින් එයට අපූරු හැඩයක් ගෙනැවිත් ඇති බව දැනුණි. තවමත් සන්තුශ් මට මල්ගුඩියේ ගැමි මිනිසකු සේ  මට දැනේ, හැඟේ.

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු