ජීවන වියදම දිනෙන් දින ඉහළ යමින් පවතින්නේය. එදාවේල පිරිමසා ගැනීමට මිනිසුන් ගන්නා උත්සාහය අද වන විට කාට කාටත් රහසක් නොවන්නේය.  සොච්චම් මුදල රැගෙන වෙළෙඳ‍පොළ වෙත යන හෝ කඩපිල වෙත යන පාරිභෝගිකයා සොයන්නේ අඩුමිලට ඇති භාණ්ඩය. එහි ගුණාත්මක තත්ත්වය කුමක් වුවත් ඔවුන්ට කමක් නැත.

ගුණාත්මක ඒවා සොයන්නේ නම් බඩට කන්නට වෙන්නේ  නැති බව ද ඔවුන් දන්නේය. අඩු මිලට බඩු සොයන පාරිභෝගිකයන් සිටිනා වෙළෙඳ ‍පොළක් තුළ ඔවුන්ව තව තවත් සූරා කන්නට කූට වෙළෙඳුන් පිරිසක් බිහිවීමද අරුමයක් නොවන්නේය. මේ වන විට වෙළෙඳ‍පොළ තුළ ශරීර සෞඛ්‍යයට අහිතකර වර්ණක, රසකාරක, සුවඳ ගන්වන රසායනිකයන්, මිශ්‍රකරමින් බොහෝ පාරිභෝගික ද්‍රව්‍යයන් අලෙවි කරන්නේය. මෙම ගනුදෙනුව මගින් පාරිභෝගිකයින් සූරාකමින් වෙළෙඳුන් තම මඩිය තර කර ගැනීමද නොරහසකි.

මේ වන විට වෙළෙඳ‍පොළ තුළ අලෙවි වන තත්ත්වයෙන් බාල ආහාර පාන අතර ‍පොල්තෙල්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ‍පොල් තෙල් දේශීය ආහාරයකි. මෙය ශරීර සෞඛ්‍යයට අගුණ නොවුවද එක්තරා කාලයකදී මේවා ශරීරයට අගුණ යැයි ප්‍රසිද්ධ වූවේය. එහෙත් පසු කාලීනව කරන ලද පරීක්ෂාවන්ට අනුව ‍පොල්තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර නොවන බව හෙළි විය. කොහොම නමුත් ‍පොල් තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර නොවුවද එය ගුණාත්මක භාවයෙන් ඉහළ ස්ථානයක තිබෙන බැවින් මිල අධිකය. ලැබෙන සොච්චම් මුදල ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බැවින් හැම විටම පාරිභෝගිකයා උත්සාහ  කරනුයේ මිලෙන් අඩු ආහාර ලබා ගැනීමටය. මිලෙන් අඩු මෙන්ම ‍පොල්තෙල් ලෙස භාවිත කළ හැකි ආහාරයක් ලෙස ෆාම් ඔයිල් ගැන කූට වෙළෙඳුන්ගේ අවදානය යොමු වූවේය.

විශාල වශයෙන් නිෂ්පාදනය නොකළද සුළු වශයෙන් අප රට තුළ නිපවන “ෆාම් ඔයිල් “ නිෂ්පාදනය කරන ශාකය වන්නේ “කටු‍පොල්ය.” දිය උල්පත් සිඳී යාමට පවා මෙම ශාකය හේතුවක් වන බව පරිසරවේදීහු අනතුරු අඟවා ඇත්තේය. මෙය පරිසරයට පමණක් නොව මෙයින් නිපදවන තෙල් පවා ශරීරයට අහිතකර තත්ත්වයක් උදා කරන්නේය.  එහෙත් මෙතරම් අහිතකර තත්ත්වයන් උදාකරන ෆාම් ඔයිල් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන මැ‍ලේසියාවෙන් හා ඉන්දුනීසියාවෙන් අප ද ආනයනය කරන්නේය.

මෙසේ ආනයනය කරන ෆාම් ඔයිල් කොළඹ වරායට සේන්දු වන්නේ විශාල බැරල්වලය. මෙසේ බැරල් පිටින් ආනයනය කරන ෆාම් ඔයිල් ‍පොල් තෙල් සමග මිශ්‍රකර ඉතාමත් අඩු මිලට වෙළෙඳ‍පොළ තුළ අලෙවි වන්නේය.
අප මේ සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ‍ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතාගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ මෙවන් අදහසකි.

“ෆාම් ඔයිල්” මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්නේ ඉන්දුනිසියාවේ සහ මැ‍ලේසියාවේ. ඔවුන් කටු‍පොල්වල මදය හා කටුව භාවිත කර ෆාම් ඔයිල් නිෂ්පාදනය කරනවා. මේ නිෂ්පාදනයෙන් අනතුරුව ඉතිරිවන අතුරු ඵලයෙන් නැවතත් ෆාම් ඔයිල් නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය තමයි අපේ රටට විශාල බැරල්වල පුරවලා එවන්නේ. මොකද ෆාම් ඔයිල් නිපදවන රටවල් මේ අවශේෂ ද්‍රව්‍යයන්ගෙන් නිපදවන ෆාම් ඔයිල් භාවිත කරන්නේ නැහැ. ඒවා අමුතු දුර්ගන්ධයක් එනවා. රසෙත් යම් වෙනසක් වෙනවා. ශරීර සෞඛ්‍යයට කොහෙත්ම සුදුසු නැහැ.

බාලසූරිය මහතා පෙන්වා දෙන ආකාරයට වෙළෙඳ‍පොළ තුළ අලෙවි වන මිශ්‍ර කරන ලද තෙල් අඩු මිලට වෙළෙඳ‍පොළ තුළ අලෙවි වීමේ ඔයිල්වල පසුබිම් කථාව එසේ වුවද අද වන විට පාරිභෝගිකයින්ට අකමැත්තෙන් හෝ ඒවා මිලට ගැනීමට සිදුව ඇත්තේ ආර්ථික වශයෙන් පසුබා සිටින බැවිනි.

ශාකමය  නිෂ්පාදනයන් සත්ත්වමය නිෂ්පාදනයන්ට වඩා ශරීර සෞඛ්‍යයට ගුණදායක වන්නේ නම් ෆාම් ඔයිල් ශරීරයට ‍පොල්තෙල් මෙන්  හිතකර නොවන්නේ ඇයිද යන්න ගැටලුවකි.

‍පොල්තෙල්වල ඇත්තේ  සංතෘප්ත මේදයන්ය. එසේම ෆාම් ඔයිල්වලද ඇත්තේ සංතෘප්ත මේදයන්ය. සංතෘප්ත මේදයන් අන්තර්ගතව වුවද ෆාම්ඔයිල්වලට වඩා ‍පොල්තෙල් ගුණදායක් වන්නේ කෙසේද යන්න අපි  විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතාගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ මෙවන් අදහසකි.

“ෆාම් ඔයිල්වල මෙන්ම ‍පොල් තෙල්වලත් තියෙන්නේ සංතෘප්ත මේදය. සංතෘප්ත මේදය ශරීරයට හිතකර වන්නේ නැහැ. මොකද සංතෘප්ත මේදය ශරීරය තුළදී විවිධ රසායනික ක්‍රියාවන් හේතුවෙන් කොලෙස්ටරොල් නිෂ්පාදනය කරනවා. නමුත් ‍පොල්තෙල්වල තියෙන්නේ කෙටි මේද අම්ලයන් ශරීරය තුළදී කොලෙස්ටරෝල් බවට පරිවර්තනය වෙනවා නම් එය ඉතාමත් සුළු වශයෙන් තමයි සිදුකරන්නේ. ඒත් “ෆාම් ඔයිල්” තුළ තියෙන්නේ දිගු මේද අම්ලයන්. මේවා ශරීරය තුළදී අනිවාර්යයෙන්ම කොලෙස්ටරෝල් බවට පරිවර්තනය වෙනවා. ඒකයි මේවා ශාකමය ආහාරයක් වුණත්  එහි අන්තර්ගතව පවතින රසායනික ද්‍රව්‍යයන් ශරීරය තුළදී සිදුකරන වෙනස්කම් විවිධයි.

කෙසේ නමුත් ශාකමය තෙල් අතර සූරියකාන්ත තෙල, ඔලිව් තෙල්, සෝයා තෙල් ශරීරයට වඩත්ම ගුණදායක වන්නේ ඒවා ආහාරයට ගැනීමෙන් ශරීරය තුළදී කොලෙස්ටරෝල් නිෂ්පාදනය නොවේ. එයට හේතුව වන්නේ එහිි අන්තර්ගත වන්නේ අසංතෘප්ත මේදයන් බැවිනි.

ආර්ථික පසුබිම කඩාවැටීම හේතුවෙන් කූඨවෙළෙඳුන් වෙළෙඳ‍පොළ තුළ කරණම් ගසමින් විවිධ අයුරින් මුදල් ඉපයීමට කටයුතු කරන්නේය. ඔවුහු තරුපහේ හෝටල්වල එක් වරක් භාවිත කරන ලද ‍පොල් තෙල් එකතු කර ඒවාට ෆාම් ඔයිල් මිශ්‍රකර නැවතත් පාරිභෝගිකයන්ට අලෙවි කරති. මෙසේ තෙල් වර්ගයන් නැවත නැවත අධික උෂ්ණත්වයන් තුළදී රත්වීම මගින් එහි ඇතිවන රසායනික විපර්යාසයන් ශරීර සෞඛ්‍ය තුළදී විවිධ රෝග තත්ත්වයන් ඇති කරනු ලබයි.

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ආර්ථික වශයෙන් කඩා වැටෙන පාරිභෝගිකයා ශරීර සෞඛ්‍යයෙනුත් කඩා වැටීම රටක අභාග්‍ය කාලයක් උදා වීමේ පෙර ලකුණු නොවන්නේද?

ශි‍්‍රයානි විජේසිංහ