රයන් කීවට නම් ඔබ ඔහුව හඳුනන්නේ  නැතුව ඇති. හැබැයි ලයනල් සඳුන් කීවොත් නම් ඔහුව නොහඳුනන කෙනෙක් නැතුව ඇති. රූපවාහිනි තිරයේ අපි දකිනවට වඩා හාත්පසින්ම වෙනස් වූ ඔහු ගැන  රිවිසරසියේ ඉඩක් වෙන්කරන්න අපිට අවස්ථාව ලැබුණා.  මේ ලයනල් සඳුන්වත් නීල පබලු හි රඟපාන මාරසිංහවත් ‍නෙවෙයි. සැබෑම රයන්…

ඉතින් කොහොමද ජීවිතේ?
ජීවිතේ හරි හොඳයි. කාලය සතුටින් ගෙවීගෙන යනවා.

මොනවද මේ දවස්වල වෙන්නේ?
මේ දවස්වල නීල පබලු සහ දවෛනි ඉනිම එක්ක වැඩ කරගෙන යනවා.  ඊට අමතරව උදුම්බරා නවතම සිනමා නිර්මාණය තුළින් මාව දැකගන්න පුළුවන්.  ඒ වගේම තවත් ආරාධනා ලැබුණු නිර්මාණ කිහිපයක් තියෙනවා.  තව ඉතින් සුපුරුදු පරිදි ප්‍රසංගවලටත් සහභාගි වෙමින් මගේ සුපුරුදු සුබසාධක වැඩත් කරගෙන සතුටින් ජීවිතේ ගත කරනවා.

දවෛනි ඉනිමේ ලයනල් සඳුන්ට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළ ඇති?
ඇත්තටම ගොඩක් හොඳ ඉහළ ප්‍රතිචාරයක් මට ලැබෙනවා. සාරංග මෙන්ඩිස් මහතාට  වගේම සමස්ත දෙරණ ආයතනයටත් දවෛනි ඉනිම අපේ සියලු දෙනාටමත් ඒ මම ලබන ප්‍රතිචාරයට  මම ස්තුතිවන්ත වෙන්න ඕනි.

ගොඩක්ම බැණුම් අහන්න වෙන්න ඇති ?
ඔව් මේ මෑතකදී අවුරුදු 94ක විතර අම්මා කෙනෙක් මං ළඟට ඇවිත් ‘පුතේ මට  තමුසෙව පේන්න බෑ අයිසේ’ කියලා මාව බදාගත්තා. ඒ තරම් සුන්දර ප්‍රතිචාර මට ලැබෙනවා. ඒ තමයි මගේ වයසකම රසිකාවිය.  ඉතින් මම නිහතමානීව සතුටු වෙනවා මේ මට ලැබෙන ප්‍රතිචාරවලට.

ඔබ කළු චරිතම රඟපාන්නේ ඇයි?
ඒ මම ආස කළ චරිතවලට. ඒ නිසාම මට ලැබෙන්නෙත් කළු චරිත. නුදුරේදීම මම සෑහෙන ආන්දෝලනාත්මක  චරිතයක රඟපාන්න නියමිතයි. මම හිතනවා රයන් මිනිස්සු අතර ඉන්නෙ ඒ කළු සුන්දර චරිත නිසා කියලා.

මාරසිංහගෙන් ඒ වගේ කළු චරිතයක්?
ඔව්. නීල පබලු නාට්‍යයේ මාරසිංහ එහෙමත් නැත්නම් ‘මාරේ කියන්නෙත් කාර්යාලයක් පසුබිම් කොටගත් එවැනි චරිතයත්. ලයනල්ටත් මාරෙටත් මේ දවස්වල එක හා සමානව ප්‍රතිචාර බෙදිලා යනවා.

ඔබේ බාහිර පෙනුම ඔබව එක්තරා චරිත සංඛ්‍යාවකට සීමා කරනවා නේද?
මම බර්ගර් ජාතිකයෙක්. ඉතින් මම ඇත්තටම  සරමක් ඇඳගෙන කුඹුරක දුවන්න වගේ කීවොත් මම කොච්චර අස වුණත් මම ඒ චරිත ප්‍රතික්ෂේප කරනවා.  මොකද මට සරමක් අඳින්නත් බෑ. ඉතින් එහෙම බලනකොට මට රඟපාන්න තියෙන්නේ සීිමිත චරිත ටිකක් විතරයි. හැබැයි මම ඒ සීමිත චරිත ටික  ඇතුළේ මගේ උපරිමය කරලා  පෙන්වනවා.

රඟපෑමේ මූලික අරමුණ මුදලද?
කොහෙත්ම නෑ. රඟපෑමේ මූලිම අරමුණ සමාජ සුබසාධනය. මම රංගනයෙන් උපයන අන්තිම රුපියලත් අනාථ වූ දරුවන් සහ පිළිකා රෝහ‍ලේ ජීවිත ඉල්ලන අපේම මිනිස්සු වෙනුවෙනුයි මම වැය කරන්නේ.

ඔබ  එහෙම කරන්නේ හුදු ජනප්‍රියත්වය උදෙසා ද?
නෑ. මම එහෙම කරන්නේ පින් එකතු කරගන්න. මැරෙන්න ඔන්න මෙන්න කියලා පින් පස්සේ දුවනවට වඩා ඇයි අපිට දැන් ඉඳන්ම ඒ දේවල්වලට යොමු වෙන්න බැරි.  කලාකරුවටත් වගකීමක් තියෙනවා සමාජය ගැන.

ඒ කියන්නේ ඔබ වගකීම් සහිත කලාකරුවෙක්?
මම ‍පොඩි කා‍ලේ බඩ පිරෙන්න කාපු අවස්ථාවලට වඩා වැඩියි බඩගින්නේ හිටපු අවස්ථා. ඉතින් මම හොඳටම බඩගින්න අඳුරනවා. රෝමානු කතෝලිකයෙක් හැටියට දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබිලා තියෙන්නෙත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන්න. ඉතින් කලාකරුවෙක් වීම හයියක්. මට මේ ගමන යන්න.

ඔබ කමාන්ඩෝ නිලධාරියෙක්. ඇයි රැකියාවෙන් ඉවත් වෙලා රඟපාන්න ආවේ?
මගේ සේවා කාලය කමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර දොළහක්. කාලෙකදී මට වෙඩි වැදිලා බෝම්බ ප්‍රහාරවලට ලක්වෙලා ආබාධිත වෙනවා.  ඊට පස්සේ මම ඉන් ඉවත් වෙලා විශාල   පිරිසකගේ සහයෝගය මත රඟපාන්න එකතු වෙනවා. බුද්ධික ජයරත්නයන් නිසා දේදුනු වැස්ස චිත්‍රපටයෙන් ආරම්භ වුණු ඒ ගමන දැන් සෑහෙන දුරක් සාර්ථකව මම ඇවිත් තියෙනවා.

කමාන්ඩෝ නිලධාරියෙක් වුණු ඔබට රඟපෑම ‍ලේසි ද?
රඟපෑම ‍ලේසි නෑ. නමුත් ඉගෙන ගන්න පුළුවන්.  මම නම් වශයෙන් නොකියා ඉන්නම් මඟ හැරෙන නිසා. ඒ තරමට ප්‍රවීණයන්ගෙන් සහයෝගය මට ලැබුණා. රයන් කියන  රංගන ශිල්පියාව ගොඩනඟන්න. අදටත් අඩුවක් නැතුව ඒ සහයෝගය හා ආශිර්වාදය මම ලබනවා. ඒ අතින් මම හරි වාසනාවන්ත කලාකරුවෙක්.

 පවු‍ලේ තව කවුද ඉන්නේ ඔබට?
අම්මයි තාත්තයි නංගියි එක්ක තමයි මම ඉන්නේ. එයාලා නම් හිතුවේ මගේ ජීවිතේ තනිකරම නරක පැත්තට යොමු වේවි කියලා. නමුත් දෙවියෝ මට පෙන්නපු පාර දිගේ ඇවිත් අද මේ ඉන්න තැන ගැන හැමෝම ආඩම්බර වෙනවා.

දැන් තනියම හිටියත් ඇති කියලා හිතෙන්නේ නැද්ද?
ඒ ගැන දැන්ම කතා නොකර ඉමු.  ළඟදීම කතා කරන්න ඒක මාතෘකාවක් වේවි

නඳුනි ආරියවංශ