සිංහබාහු නාට්‍යයේ සිංහයත් මනමේ නාට්‍යයේ වැදි රජත් දික්තල කාලගෝල නාට්‍යයේ දික්පිටිය ලෙසත්, ඔබේ හදවත් සොරාගත් ඔහු නමින් ජයනාත් බණ්ඩාරය.බොහෝ දක්ෂතාවලින් ‍පොහොසත් ඔහු වේදිකාවේ සිටින අව්‍යාජ මිනිසෙකි.  මේ සොඳුරු කලාකරුවා වෙනුවෙන් මේ ඉඩ වෙන්කරන්න සිතුවේ ඔහුගේ තොරතුරු දැනගන්නටය.

කොහොමද ඔබට වේදිකාවට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
පාසල් යන කා‍ලේ ඉඳලා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ කා‍ලේ විෂයක් විදිහට නාට්‍ය ඉගෙන ගන්න තිබුණේ නෑ. ඒ නිසා අපිම එකතුවෙලා නාට්‍ය ලිව්වා. නාට්‍ය හැදුවා. තුමිඳු දොඩන්තැන්නගේ අරුන්දතී නාට්‍යයට රංගනයෙන් දායක වුණා. එහිදී මට හොඳම නළුවා යොවුන් සම්මානය ලැබුණා. ඊට පසුව තමයි සරච්චන්ද්‍ර නෝනා මට සිංහබාහු නාට්‍යයේ සිංහයාට වගේම මනමේ නාට්‍යයේ වැදි රජ්ජුරුවන්ට රඟපාන්න කතා කළේ. ඊට පසුව දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. මම නරි බෑණා නාට්‍යයේ රොඩ්නි අයියා එක්ක නරියාගේ චරිතය නිරූපණය කරනවා. ඒ නාට්‍යයේ විවිධ චරිත කරන්න මට අවස්ථාව ලැබෙනවා. ලූෂන් බුලත්සිංහලයන්ගේ රතුහැට්ටකාරි නාට්‍යයේත් රඟපාන්න ලැබුණා. එහෙම තමයි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ.

මිනිසුන්ගේ සිත්වල රැඳෙන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා නේද?
වැදි රජ්ජුරුවෝ සිංහයා, දික්පිටිය කියන චරිත ලංකාවේ වේදිකාවේ තියෙන සදාකාලික චරිත වෙලා තියෙනවා. ඒක අපට හරිම ගෞරවයක්. බොහොම සීමිත පිරිසක් තමයි වේදිකා නාට්‍යවල ඉන්න අපිව දන්නේ. වේදිකාව කියන්නේ කාටවත් බොරු කරන්න පුළුවන් තැනක් ‍නෙවෙයි. ඒ දේ නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න ඕන. සිංදු කියන්න නටන්න වගේම රඟපාන්න වෙනවා. වේදිකාව නිසා අපිට ශක්තිය වගේම තරුණකම ලැබෙනවා.

ඔබ මනමේ නාට්‍යයේ වැදි රජ ලෙසත් දිසාපාමොක් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. කොහොමද ඒ අත්දැකීම?
සරච්චන්ද්‍ර මහත්මයා මනමේ නිෂ්පාදනය කරන දවසේ ඉඳන්ම බොහෝ දර්ශන වාරවලදී දිසාපාමොක් ලෙස චරිතයට රංගනයෙන් දායක වෙන නළුවාම තමයි වැදි රජ ලෙස රංගනයෙන් දායක වෙන්නෙත්. ඒ දේ නළුවට ලොකු අභියා්ගයක්. බොහොම සංයමයෙන් සියුම්ව බැරෑරුම්ව වයසක කෙනෙක්ගේ චරිතයක් කරලා වැද්දා කියන හරිම රොමැන්ටික් චරිතයක් නිරූපණය කරන්න වෙනවා. එවැනි අන්ත දෙකක චරිත දෙකක් කිරීම ලොකු අභියෝගයක්. මම සම්බන්ධ වෙද්දී සරච්චන්ද්‍ර මහත්මයා ජීවතුන් අතර නැහැ. අපට ගුරුහරුකම් ලැබෙන්නේ සරච්චන්ද්‍ර නෝනගෙන්.

වසර කීයක් ඒ චරිතවලට රංගනයෙන් දායක වුණාද?
අවුරුදු දහසයක් ඒ චරිතවලට රංගනයෙන් දායක වුණා. වසර දෙකක කාලයක් වෙනවා මම සිංහයගෙන් ඉවත් වෙලා.

ඇයි ඒ චරිතවලින් ඉවත් වෙන්නෙ?
සරච්චන්ද්‍ර නෝනා හැමවෙ‍ලේම අපට පස්සේ පරපුරක් හැදුවා. මට පස්සේ සිංහයෝ දෙන්නෙක් ඇය හදලා ඉන්නවා. මමත් අනෙක් අයට අවස්ථාව දෙන්න ඕන. ලලිතා සරච්චන්ද්‍ර මහත්මියයි තීරණය කරන්නේ මම සිංහයා කරනවාද නැද්ද කියන එක. වැදි රජ්ජුරුවන්ගේ චරිතෙනුත් මම ඉවත් වුණා. නමුත් ඇය මට නැවත කතා කළා වැදි රජ්ජුරුවන්ට රංගනයෙන් දායක වෙන්න. දැන් මට වයස අවුරුදු 49ක් වෙනවා. ශක්තිය ජවය ඒ චරිතවලට අවශ්‍යයි. මම කැමැති නැහැ දුර්වල රංගනයක් කරන්න.

* සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ ඔබට කීවද ඉවත් වෙන්න කියලා?
නැහැ. මම තමයි හතරවෙනි සිංහයා. මට පසුව සිංහයෝ දෙන්නෙක් ඉන්නවා. කවදාවත් මාව ඕන නැහැ කියලා මැඩම් කියලා නැහැ. මමම හිතලයි ඒ චරිතවලින් ඉවත් වෙන්නේ.

වේදිකා නාට්‍යයක චරිත සාර්ථක වන්නේ නිතර නිතර අභ්‍යාස කිරීම මගින්. ඔබ හොඳම කාලෙදි නාට්‍යයෙන් ඉවත්වීම නිසා ඒ චරිතවලට අසාධාරණයක් වුණා කියලා හිතෙන්නෙ නැද්ද?
මම අවුරුදු දහසයක්ම සිංහයටත් වැදි රජ්ජුරුවන්ටත් රඟපෑවා. මම මගේ දුව ලැබෙන්න කලින් ඉඳන්ම තමයි සිංහයා ලෙස රඟපෑවේ. දුව යොවුන් වයසේ සිටියත් මම සිංහයා ලෙස රඟපානවා. මම හිතනවා දැන් හොඳම කාලය ඉවත් වෙන්න කියලා. ඒ දේ තමයි වෘත්තීය නළුවෙක්ගේ වෘත්තීය ලක්ෂණය.

ඔබට වේදිකා නාට්‍ය බොහොමයක ලැබෙන්නේ ප්‍රධාන චරිත. ඒ ගැන මොකද හිතෙන්නෙ?
නළුවෙකුට ජීවිතේටම ඇති සිංහබාහු නාට්‍යයේ සිංහයා ලෙස රඟපෑමම. ඒ කණ්ඩායමේ ඉඳීමෙන් ජීවිතේ ගැන ඉගෙන ගන්නා ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් හරිම අභියෝගාත්මකයි. එහෙම ප්‍රධාන චරිත ලැබිම වාසනාවක්. ඒ දේ තමයි අපි නිරෝගි කරලා තරුණ කරන්නේ. අපේ අනෙක් දේවල් කරන්න මානසික සුවය ලැබෙන්නෙත් ඔය චරිත නිසයි කියලයි මම හිතන්නේ. මගේ දක්ෂතාව, වාසනාව, සාමූහික බව නිසයි මෙවැනි චරිත මට ලැබිලා තියෙන්නේ.

ඔබ පුංචි තිරයේ නිර්මාණවලට දායක වුණු ප්‍රමාණය බොහොම සීමිතයි නේද?
ටිකිරි රත්නායක මහත්මයාගේ මුතුකුඩ මැණිකේ ටෙලි නාට්‍යයෙයි නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සල් සපු නා නාට්‍යයේයි රඟපෑවා. නාලන් මෙන්ඩිස් මහත්මයා එක්ක වැඩ කරන්න ‍ලේසියෙන් පුළුවන්. ඔහු හරිම වෘත්තීමය විදිහට වැඩ කරන කෙකෙන්. අද නිර්මාණවලට ගොඩක් අය බොරු කරනවා. වෘත්තිමය විදිහට අද ටෙලි නාට්‍යවල වැඩ වෙන්නෙම නැහැ. ඒ නිසා තෝරාබේරා ගැනීමක් කරලා තමයි ටෙලි නිර්මාණයක් භාර ගන්නේ.

*සිනමාව ඔබට අකැපද?
ඒ දේ මගෙන් මගහැරිලා තියෙනවා. ඇත්තටම ඒකට මම වගකියන්න ඕන කියලා හිතෙන්නෙ නැහැ. සිනමා නිර්මාණ කරන අයට අපිව මගහැරිලයි කියලා හිතෙන්නෙ. ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා සිනමාවට සම්බන්ධ වෙලා වැඩ කරන්න.

වේදිකා නාට්‍යවලින් ලබා ඇති අත්දැකීම් එක්ක නිර්මාණකරණයට යොමු වෙන්න තවම අදහසක් නැද්ද?
ලබන අවුරුද්දේ එහෙම අදහසක් තියෙනවා මගේම නාට්‍යයක් කරන්න.

මොනවද අලුත් තොරතුරු?
ජාතික රූපවාහිනියේ වැඩසටහනක් මෙහෙයවනවා රංග භූමි කියලා. ඒ වගේම බුද්ධක දමයන්තගේ වෙරෝනිකා පසුව ඇවිත් කියන වේදිකා නාට්‍යයෙත් සචිත්‍ර රාහුබද්ධගේ මම කැමැතිම චොකලට් මෙයා ආස බිස්කට් වේදිකා නාට්‍යයෙත් වගේම අනෙක් නාට්‍යවලටත් රංගනයෙන් දායක වෙනවා.

පෞද්ගලික විස්තර මතක් කළොත්?
මමයි මගේ බිරිඳයි දුවයි පුතයි ඉන්නවා. ඒ අයගේ උදව්ව නිසයි මම මෙතැන ඉන්නේ. ඇත්තටම මගේ සාර්ථකත්වයේ ගෞරවය ලැබෙන්න ඕන ඒ අයටයි. ඒ වගේම මම වැඩ කරන ආයතනවලත් මට ලොකු සහයෝගයක් දෙනවා.

තිළිණි කරුණාරත්න