1983 අප්‍රේල් 8 වැනි දින  තිරගත කරන ලද ‘චණ්ඩි සිරියා’ එක්සත් සිනෙරු ඉදිරිපත් කිරීමකි. මෙහි නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රෝහිණී ජයකොඩි විසිනි. 19 වැනි වියේ රූමත් නව යොවුන් යුවතියක්ව සිටියදී අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන් ආරම්භ කළ ඇගේ සිනමා ගමන අවසන් වූයේ චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කිරීමෙනි. ඒ ‘හැංගි හොරා’ සහ ‘චණ්ඩි සිරියා’ ය. චිත්‍රපට හැට ගණනකට ආසන්න ගණනක රඟපෑ ඇය අපේ කාන්තා අධ්‍යක්ෂ ගොන්නට එකතු වූයේ කාන්තාවන් චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදීම බෙහෙවින් විරල වූ අවදියකදීය.

ඒ.වී. රාජ් අධ්‍යක්ෂණය කළ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ අහංකාර ස්ත්‍රී ලෙස චරිත නිරූපණයේ යෙදුණ රෝහිණී එක රැයකින් සිරිලක සතර දිග්භාගය පුරාම ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් විය. එකම චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමෙන් ප්‍රශංසනීය ජනප්‍රසාදයක් ලැබිමට ඇය සමත් විය. ඇය අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ චරිතයට බෙහෙවින් කැමති බව පවසා ඇත. අනෙක් චිත්‍රපටවල චරිතවලට කැමති වුවත් ‘අහංකාර ස්ත්‍රී’ චරිතය තමාට විශේෂ වූ චරිතයක් බව ඇගේ හැඟීමයි.

රෝහිණී ජයකොඩි රඟපෑ චිත්‍රපට අතුරෙන් ‘වැදිබිම, සූරසේන, වනමෝහිණි, සුභද්‍රා, සතුටයි කඳුළයි, සිහිනය, සූර චෞරයා, ඉපදුණේ ඇයි, හැංගි හොරා’ ප්‍රමුඛස්ථානයේලා සැලකිය හැක. වසර විසි ගණනක් පුරා දිවා රාත්‍රී දෙකෙහිම සිනමා ක්ෂේත්‍රයෙහි නියැළී සිටිමින් ඇය ලත් අත්දැකීම් සම්භාරය ප්‍රයෝජනයට ගැනීමෙන් ‘හැංගි හොරා’ අධ්‍යක්ෂණය කළාය. ඇගේ දියණියන් වන සන්ධ්‍යා සහ වීණා ජයකොඩිද සිනමා නිළියන් වූවාය. ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතිය ලෙස ඇය සූර චෞරයා හි රඟපෑ අතර පසුව දියණිය වීණාද ගාමිණීගේ තිරයේ පෙම්වතිය වීම විශේෂත්වයකි.

ඇය අනුකාරක චිත්‍රපටවල බෙහෙවින් රඟපෑවාය. එහෙත් ‘හැංගි හොරා’ චිත්‍රපටයෙන් ඒවායින් මිදෙන්නට ඇය තුළ පැවති ඕනෑකම බෙහෙවින් පෙනේ. ඇය මෙහි සංගීත නිර්මාණය සඳහා යොදාගත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්නය. ඔහු තනු නිර්මාණය කළ, නිහාල් ඒ. ජයසිංහ පද නිර්මාණය කළ, හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක ගැයූ හංසරාණි ආදරේ ගීතය බෙහෙවින් ජනප්‍රිය විය.

‘හැංගි හොරා’ චිත්‍රපටයට එකල සිනමාලෝල රසික කැල උණුසුම් ප්‍රතිචාර දැක්වූහ. එයින් දිරිමත් වූ ඇය චණ්ඩි සිරියා ඉදිරිපත් කළාය. චණ්ඩි සිරියා ඇයගේ සාර්ථකත්වයේ ප්‍රතිඵලයකි. එහි කතාවද ඇයගේ වන අතර චණ්ඩි සිරියා චරිතය නිරූපණය කළේද ඇය විසින්මය. ඉන් පසුව චරිත තුනක් වටා ගෙතුණ සමාන්තර රේඛා නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කිරීමට මහත් බලා‍පොරොත්තුවකින් යුතුව කටයුතු සම්පාදනය කර තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය රූගත කිරීමට නොහැකි විය.

එකල සිංහල රිදී තිරයේ දඟකාරිය ලෙස නම් දරා සිටි රෝහිණී, ලැබෙන ඕනෑම චරිතයක් සජීවී ලෙස නිරූපණය කිරීමට සහජයෙන් ලත් දක්ෂතාවයෙන් යුතු විය. රෝහිණී කිසි විටෙකත් අනුන් හෙළා නොදුටුවාය. ක්ෂේත්‍රයේ කිසිවකු විසින් දැක්වෙන හොඳක් විනා නරකක් කිසි විටෙක කතා නොකළාය. අධ්‍යක්ෂණයේදීත් රංගනයේදීත් නිසඟ හැකියාවක් ඇති නවකයන්ට අතහිත දීමට ඇය නිතර සූදානමින් සිටියාය. ඇය අධ්‍යක්ෂණය කළ චණ්ඩි සිරියා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රෝහිණී තෝරාගත්තේ නවකයෙකි. එම තේරීම බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට භාජනය විය. නිහාල් ගමගේ නම් එම නළුවා පසුව හොඳ රඟපෑමක් ඉදිරිපත් කළ නිසා රෝහිණී සතුටට පත් විය.

චිත්‍රපට කීපයක රඟපෑ නිළියක් වූ කුමුදුමලී ද සිල්වාද සිනමාවට හඳුන්වා දුන්නේ ඇය විසිනි. මිය යනවිට පනස් හය වැනි වියේ පසු වූ රෝහිණී වීණා, නිරූපමා, ඩග්ලස්, මර්වින් යන දරුවන් සිව්දෙනකුගේ මවකි.

‘චණ්ඩි සිරියා’ කතා තේමාව මෙසේය. චණ්ඩි සිරියා මැදිවියේ කතක්. ඇගේ සැමියා අනතුරකට මුහුණ පා එක් පාදයක් බිඳී ඔත්පලව සිටිනවා. ඔහුට කිසිදු රැකියාවක් කළ නොහැකිය. එක්තැන්ව සිටින සැමියාගේ සියලුම කාර්යයන් චණ්ඩි සිරියා විසින් කරනු ලැබෙනවා. පති භක්තිය මුදුන් මල්කඩක් සේ රකිමින් සලකමින් චණ්ඩි සිරියා තම ස්වාමියා පිළිබඳ යුතුකම් ඉටු කරනු ලබයි. ඇය පරිත්‍යාගශීලී හදවතින් ඔහුට සලකයි. වෘත්තීය පුහුණුවක් හෝ ප්‍රමාණවත් අධ්‍යාපන තත්ත්වයක් නැති ඇය මුදල් උපයන්නේ සොරකමිනි. එහෙත් ඒ පිළිබඳ කිසිවක් ඇගේ සැමියා නොදනී.

කාලය ගෙවී යත්ම සිය බිරිඳගේ රැකියාව පිළිබඳ කුතුහලයක් ඔහු තුළ ඇති වේ. තම බිරිඳගේ උතුම් පරිත්‍යාගශීලීත්වය නොදන්නා ඔහුගේ සැකයට හසුවන්නේ බිරිඳගේ චරිතයයි. සැමියා අනුමාන වශයෙන් හෝ තමා සැක කරනු ඉවසිය නොහෙන චණ්ඩි සිරියා සිඟමන් යැද ජීවිතය ගෙන යෑමට සිතයි. මෙසේ සිඟමන් යදින ඇයට සල්ලිකාර මුදලාලි කෙනකු මුණගැසේ. ඔහුගේ නිවසේ ලැගුම් ගන්නා ඔවුන් කංසා ව්‍යාපාරයකට සම්බන්ධ වීමේ අනියම් චෝදනාව මත ‍පොලිස් අත්අඩංගුවට පත් වේ.

මෙවන් කතා පුවතක් ඔස්සේ විකාශනය වන ‘චණ්ඩි සිරියා’ ෙදෙවයට සරදම් කරමින් ජීවන යාත්‍රාව බාධක රළ පතර අතරේ වේගයෙන් ඉදිරියට පැද යන චරිත රැසක් සහිතව හැඳින්විය හැක.

මේ චිත්‍රපටයේ දෙබස්, තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය ලක්ෂ්මන් සෙනෙවිරත්නගෙනි. කැමරා අධ්‍යක්ෂණය මර්සලින් එස්. පෙරේරාගෙනි. සංස්කරණය සිරි කේ. විතාරණගෙනි. අංග රචනය රෙජී ද සිල්වාගෙනි. ශබ්ද පරිපාලනය කේ.පී.කේ. බාලසිංහම්ගෙන් වන අතර රසායනාගාර කටයුතු එස්. තිරනාවුකරසු සහ වී. සිවදාසන්ගෙනි.
සැකසුම විජය චිත්‍රාගාරයේය. නිෂ්පාදන කළමනාකරණය ඇන්ටන්ට් ද සිල්වා වන අතර සංගීතය පී.එල්.ඒ. සෝමපාලගෙනි. ගීත ප්‍රබන්ධය ආචාර්ය අජන්තා රණසිංහ, සිරිල් ඒ. සීලවිමල සහ සුනිල් විමලවීරගෙනි.

ගීත ගායනය ක්ලැරන්ස් විජේවර්ධන සහ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගැයූ දරු නැළවිලි ගීයක් ඉන්ද්‍රාණි තනිව ගැයූ විරිදු ගායනයක් සමූහ ගීතයක් සහ ක්ලැරන්ස් තනිව ගැයූ ගීතයක් ඇතුළත් විය.

නළු නිළියන් රෝහිණී ජයකොඩි, නිහාල් ශ්‍රීකාන්ත ගමගේ, අග්‍රා සජීවනී, අනුෂ්කා මැදිවක, කුමුදුමලී ද සිල්වා, පුෂ්පා කාන්ති අක්මීමන, සමන්ති ලැනරෝල්, බි.ඇස්. පෙරේරා, ෆේ‍රඩී සිල්වා, බි.පී. වික්‍රමසිංහ, ලිලියන් එදිරිසිංහ, සුරේන් එදිරිසිංහ, උදුලා දාබරේ, පර්ල් වාසුදේවි, අනුර මැදගොඩ, පියදාස විජේකෝන්, බර්ටි ගුණතිලක, රෙක්ස් කොඩිප්පිලි.
මෙය සිංහල සිනමා වංශ කතාවේ 535 වැනි චිත්‍රපටයයි.

ඔස්කා මෙන්දිස්