හේරත් මුදියන්සේලාගේ රංගන  කීර්ති බණ්ඩාර හේරත් කවුරුන්දැයි වැඩි දෙනකු නොදන්නවා විය හැකි වුවත් රංගන හේරත් නොදන්නා කෙනකු ශ්‍රී ලංකාවෙන් සොයාගැනීමට හැකිවේ යයි සිතීම අසීරුය.

ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ කැමැත්ත දිනා ඇති මීට වසර 19කට පෙර එනම් 1999 සැප්තැම්බර් මාසයේ සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමග ගාල්ලේ පැවැති  ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වමත් පාදඟ පන්දු යවන්නකු ලෙස එක්වූ රංගන, එළඹෙන නොවැම්බර් 6වැනිදා ගාල්ලේදීම එංගලන්ත පිල සමග මුහුණ දෙන ක්‍රිකට් තරගය තමන් සහභාගි වන 93 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සේම අවසන් ටෙස්ට් තරගය ලෙසින් ද සටහන් තැබිමට තීරණය කර ඇත.
මේ වනවිට ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 92කට සහභාගි වී කඩුලු 430 ක් දවාගෙන සිටින්නේ එතෙක් මතෛක් බිහි වූ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ලෝක පූජිත වමත් දඟපන්දු යවන්නා යන ගෞරවයට ද පාත්‍ර වෙමිනි.

ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූයේ මුත්තයියා මුරලිදරන් නම් වූ අති විශිෂ්ට පිට දඟ පන්දු යවන්නා හොඳින් ක්‍රියාත්මක වෙමින් සිටි යුගයකය. ඒ අනුව එකල රංගන හේරත්ට පැවරී තිබූ භූමිකාව වූයේ මුරලිදරන්ගේ සහායක පන්දු යවන්නා ලෙස කටයුතු කිරීමය.  මුරලිදරන් එක් අන්තයකින් පන්දු යවන විට අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වන රංගන හේරත්ට ඉටු කිරීමට එකල නියමිතව තිබුණේ ප්‍රතිවාදි පිතිකරුවන් සිරකොට තබා ගනිමින් ඔවුනට පීඩනය එල්ල කොට මුරලිදරන්ගේ ගොදුරු බවට පත්කිරීමය.

තමන්ට පැවරුණු කටයුත්ත ඔහු එකල සාර්ථකව ඉටුකරනු ලැබිය. ටෙස්ට් කඩුලු 800ක් දවා ගනිමින්  ලොවම වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස මුරලිදරන්ට ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට අවකාශ ලැබුණේ එබැවිනි.

කෙසේ වුවත් 2010 වසරේ මුරලිදරන්  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔහුගේ සහායක පන්දු යවන්නාගේ භූමිකාවෙන් නිදහස් වූ රංගන, ශ්‍රී ලංකාවේ ප්‍රධානම දඟ පන්දු යවන්නා ලෙස ක්‍රියාත්මක වීමට සමත් විය.

ඒ බැව් ඔහු ප්‍රදර්ශනය කරනු ලැබුවේ, 2012 වසරේදී ටෙස්ට් කඩුලු 59 ක් 2016 වසරේ ටෙස්ට් කඩුලු 57ක් හා 2017 වසරේ ටෙස්ට් කඩුලු 52ක් ලෙස දවා ගනිමිනි.

දිගු වේලාවක් එක දිගට පන්දු යැවීමට හැකිවීමත්  කැරම් බෝල් නමින් හඳුන්වන අද්භුත පන්දුවත් රංගන හේරත් පිතිකරුවන්ගේ භීිතිකාවක් බවට පත්කරනු ලැබිය.

දඟපන්දු යවන්නන්ට වඩාත් සුදුසු ආසියානු කලාපීය ක්‍රීඩාංගණවලදී මෙන්ම වේගපන්දු යවන්නන්ට ගැළපෙන පරිදි සකස් කර ඇති තණතිලි මතදී ද එක ලෙස දස්කම් දැක්වීමට  තමන්ට හැකියාව ඇති  බව 2012 වසරේ රංගන  දකුණු අප්‍රිකාවේ  පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ලකුණු 120කට කඩුලු 9ක් දවාගනිමින් පළමු වරට පසක් කර දී තිබිණි.
මතෛක් ඔහු සහභාගි වූ ටෙස්ට් තරග 92 තුළ තරගයකදී කඩුලු 10 ඉක්මවා දවාගත් අවස්ථා 9ක්ද ඉනිමකදී කඩුලු 5 ඉක්ම වූ අවස්ථා 34 ක්ද සටහන් කර ඇති අතර හොඳම පන්දු යැවීම ඔහු සටහන් කර ඇත්තේ 2014 වසරේ පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරගයකදීය.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ පළමු ඉනිමේ ලකුණු 127කට කඩුලු 9ක් ද දෙවන ඉනිමේදී ලකුණු 57කට  කඩුලු 5ක් ද වශයෙන් ලකුණු 184කට කඩුලු 14ක් දවාගෙන තිබුණි.

රංගන හේරත්ගෙන් මතු වූ ප්‍රධානම විශේෂත්වය ලෙස සැලකිය හැක්කේ ඔහුගේ පන්දු යැවීමේ  හැකියාවේ කල් ඉකුත් වීමක් නොතිබිමය. ඒ බව තහවුරු කර ඇත්තේ තමන් දවා ගත් ටෙස්ට් කඩලු 430න් කඩලු 241ක්ම 35 හැවිරිදි වියට එළඹීමෙන් පසු දවා ගැනීමෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අපේක්ෂාව වූයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග 3ටම ඔහුගේ සේවය ලබා ගැනීමටය.

එහෙත් ගාල්ලෙන් ඇරඹූ ගමන ගාල්ලෙන්ම අවසන් කිරීම රංගනගේ  අපේක්ෂාව වී තිබිණ.
එබැවින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් එළඹෙන නොවැම්බර් 6 වැනිදා ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට රොක්වී ඔහුට සමුදීම යුක්ති සහගතය.

සීවලී එදිරිවීර