දම්සරා’ නම සේම දැහැමි වූ යුවතියකි. කිසිදා මවුපියන්ගේ සිත රිදවීමට අකමැති වූ ඇය සැමදාම සිතූවේ මවුපියන් කැමති මනමාලයකු හා සරණ යෑමටය. දැහැමි මෙන්ම සුන්දර යුවතියක වුවද ඇය කුඩා කලදී සිත යොමු කරනු ලැබූයේ ඉගෙනීමට පමණකි. හොඳින් ඉගෙනීමේ කටයුතු හමාර කරනු ලැබූ ඇය සරසවි වරම්ද ලැබුවාය.

සරසවියේදී ඇයගේ සෙනෙහස පතා කොතෙකුත් යෞවනයන් පැමිණියද ඇය ඒ සියලු දෙනාටම පැවසුවේ තමා උපාධිය නිම කරන තෙක් ඒ පිළිබඳව නොසිතන බවයි. උපාධිය සම්පූර්ණ කළ ඇය රැකියාවක් කරන අතරතුර මවුපියන් ඇයට සුදුසු සහකරුවකු සොයනු ලැබිය. මනමාලයන් කිහිප දෙනකුම ඇය බැලීමට පැමිණියහ. ඒ අතුරින් මවුපියන් වැඩි වශයෙන් කැමැත්ත පළ කළේ ඉෂාන්ට බැවින් දම්සරාද, ඉෂාන් පිළිබඳ සිත් යොමු කරන්නට විය.
“ඉෂාන් අනිත් හැමෝටමත් වඩා වත් ‍පොහොසත්කම් ඇති දරුවෙක්. ඒ  වගේද ඒ කොල්ලා අරක්කු සිගරැට් කටේ තියන්නේ නෑ කිව්වා. අද කා‍ලේ ඒ වගේ කොල්ලෙක් හොයාගන්න පුළුවන්ද? රූපෙත් ඉතින් වරදක් කියන්න බැහැනේ. දුවගේ වාසනාව තමයි.”

දම්සරාගේ මව ඇයට පැවසුවේ එබඳු කතාවකි. පියාද එය අනුමත කළ බැවින් ඉෂාන් තම අනාගත සහකරු ලෙස භාරගැනීමට දම්සරා එකඟ විය.

හතර වරිගයේ නෑ පිරිවරගේ ආශිර්වාදය මැද ඉෂාන් සහ දම්සරා යුවතිපතීන් විය. සියලු දෙනාගේම අදහස වූයේ එය දම්සරාගේ වාසනාව බවයි. එහෙත් එය සැබැවින්ම එසේ නොවිණි.
gunasekara
මුලින්ම දම්සරාට ඇයගේ යහළු යෙහෙළියන් අතුරින් පිරිමි යහළුවන් ඉවත් කිරීමට සිදුවිය. ඉන්පසුව මග තොටේදී හෝ පිරිමියකු සමග කතාබහ කිරීම ඇයට තහනම් විය. එපමණක්ද නොවේ ඥාතීන් හා හිතවතුන් අතර සිටි පිරිමියකු සමග හෝ දම්සරා දොඩමළු වුවහොත් එදිනට මුළු නිවසම එකම යුද පිටියක් බවට පත්විය. දම්සරා කවර හෝ පිරිමියකු සමග කතාබහ කරනවා දුටුවහොත් එය හොර රහසේ වීඩියෝගත කරන පුරුද්දක්ද ඉෂාන්ට පැවතුණි. එම වීඩියෝපටය පෙන්වමින් ඔහු හා අයථා ඇසුරක් පවතිනවාද යන්න විමසමින් රණ්ඩු සරුවල් ඇතිකර ගැනීමට ඉෂාන් පෙළඹෙයි.
ඉෂාන් සිදු කරනු ලබන මෙබඳු ක්‍රියාවන් දරු දෙදෙනා නිසා ඉවසා සිටීමට දම්සාරා පුරුදුව සිටියද කල්යාමේදී ඉෂාන් විසින් ඇය රාජකාරි කටයුතු සිදුකළ කාර්යාලයටද කතාකර ඇය පිළිබඳව සොයා බැලීමට පුරුදු වූ පසුව සේවා ස්ථානයේ පිරිස විවිධ අයුරින් ඇයට අවලාද නගන්නට විය.

“හොරයක් නැත්නම් ඇයි අනේ හස්බන්ඩ් දම්සරාව ඔය තරම් සැක කරන්නේ..”
“දැන් සිල් පවාරණය කළා වගේ හිටියට මොකද මෙයා මොන මොනව හරි හොර වැඩ කරනව ඇති අනේ…”
සේවා ස්ථානයේ පිරිස මෙබඳු කතා පැවසීම දම්සරාට ඉවසුම් නොදුණි. අවසානයේ ඇය තීරණය කරනු ලැබුවේ ඉෂාන්ගෙන් වෙන්වීමටයි.

“ඔය දේවල්වලට ඔච්චර කලබල වෙන්න එපා. ඉෂාන්ව මනෝ උපදේශනයකට අරගෙන යන්න බලන්න. මිස් දම්සරා ඔය ඉවසුවා වගේ තව ටිකක් ඉවසලා බලලා වැඩ කරන්නකෝ…”

කාර්යාලයේ වැඩිහිටි කාන්තාවක දම්සරාගේ ගැටලුව දැන දුන් උපදෙස පිළිගත් ඇය, ඉෂාන් මනෝ උපදේශන සේවාවක් වෙත යොමු කරනු ලැබිමෙන් පසුව ඉෂාන් හා කතාබහ කරමින් සිටි මනෝ උපදේශකවරයා ඔහු මෝහන නිද්‍රාවට පත් කරනු ලැබිය.

“මම අම්මගෙ ආදරේ නැතිව හැදුණු දරුවෙක්. දැන් මම අම්මා කියන්නේ මගේ තාත්තගේ දෙවැනි බිරිඳට. මගේ අම්මා මම ලැබිලා ටික කාලෙකින් අපේ තාත්තගේ නෑදෑ වෙන කෙනෙක් එක්ක යාළුවෙලා අපිව දාලා ගියා කියලයි තාත්තා කිව්වේ.

අම්මා වුණත් ගෑනියෙක් නිසා විශ්වාස කරන්න එපා, කියන කතාවයි මගේ තාත්තා නිතරම මට කිව්වේ. ඒ නිසා මට හැමෝම ගැන තියෙන්නේ සැකයක්. දම්සරාට මම හරි ආදරෙයි. එයා හොඳයි කියලත් මම දන්නවා. ඒත් එයා ගැන මගේ හිතට සැකයි. ඒ සිතුවිලි නැතිකර ගන්න මට හරි අමාරුයි. එයාට දුක් දීලා මමත් හරියට විඳවනවා.”

මෝහන නිද්‍රාවේදී ඉෂාන් කී බස් අසා සිටි මනෝ උපදේශකවරයා ඔහුගේ සිතෙන් එම අහිතකර සිතුවිලි ඉවත් කර ඔහුගේ මනස සුවපත් කර මෝහන නිද්‍රාවෙන් අවදි කරනු ලැබූයේ ඉෂාන්ට, දම්සරාට පමණක් නොව අසරණව සිටි ඔවුන්ගේ දරු දෙදෙනාටද නව ජීවයක් දෙමිනි.