කැප්ටන් ඩෝසන් කුලූන තමයි ශ‍්‍රී ලංකාවේ තියෙන උසම සිහිවටන කුලූණ, කැප්ටන් ඩෝසන් කුලූන තියෙන්නේ කොළඹ – නුවර පාරේ හමුවන උසම ස්ථානයේ. ඒ කියන්නේ කඩුගන්නාව නගරයට ඉස්සෙල්ලා හමුවෙන සුදු පාට උස කුලූන තමයි කැප්ටන් ඩෝසන් කුලූන. මේ කුලූන ඇයි මෙතන ඉදි කරලා තියෙන්නේ ? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය?

කඩුගන්නාව නගරය පිහිටලා තියෙන්නේ කොළඹ ඉ`දන් කිලෝමීටර් 100 දුරින්. ඒවාගේම අඩි 1690 ක් උසින්. අද අපි ඉතා පහසුවෙන් කොළඹ – නුවර පාරේ ආවාට – ගියාට බි‍්‍රතාන්‍යයන් කොළඹ – නුවර පාර හදන්න ඉස්සෙල්ලා බොහෝම අමාරුවෙන් තමයි කොළඹ ඉ`දලා නුවරට ඇවිල්ලා තියෙන්නේ. 1815 දී විතර බි‍්‍රතාන්‍යයන් මහනුවර සහ මුලූ ලංකාවම බි‍්‍රතාන්‍ය කිරිටියට නතුකර ගත්තායින් පස්සේ, මහනුවර හා සම්බන්ධතා පවත්වා ගැනීමට දැඩි ලෙස දුෂ්කරතා මතුවෙලා තියෙනවා. එම අවධිය වන විට, කැලණි ගං නිම්නයෙන් රුවන්වැල්ල සහ මා ඔය හරහා ගම්පොළට ඇවිල්ලා එතැනින් පේරාදෙණියට ඇවිල්ලා තමයි මහනුවරට ඇවිල්ලා තියෙන්නේ. ඒක ටිකක් අමාරු මාර්ගයක්.

ඒ කාලයේ ලංකාවේ හිටපු බ‍්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සර් එඞ්වඞ් බාන්ස් විසින් කපිතාන් විලියම් ෆැන්සිස් ඩෝසන්ට කොළඹ ඉ`දලා කෙටිම දුරකින් මාර්ගයක් ඉදිකිරිම සදහා උපදෙස් ලබා දීලා තියෙනවා.  කපිතාන් ඩෝසන් එවකට යුධහමුදාව ආශ‍්‍රීත ඉංජිනේරු සේවයේ යේදී සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්. ඔහු 1820 දී කොළඹ සිට මහනුවර දක්වා මාර්ගයක් ඉදි කිරිම ආරම්භ කරනවා. මහත් අසීරුවෙන් ගිරිදුර්ග, වන දුර්ග, වන සිව්පාවුන්, සර්පයින්, වැස්ස පින්න අව්ව නොතකා මාර්ගය ඉදි කිරිම ඉදිරියටම කරගෙන යනවා.

1820 වර්ෂය වන විට වරකාපොළ හරහා අඹන්පිටිය දක්වා මාර්ගයක් මේජර් තෝමස් ස්කිනර් විසින් ආරම්භ කර තිබුණත් එහි වැඩ අවසන් කර තිබුණේ නැති නිසා කපිතාන් ඩෝසන් එම මාර්ගයම ඉදිකිරිම නැවත ආරම්භ කළා. මෙම මාර්ගයේ වැඩකටයුතු 1831 දී අවසන් කරලා ප‍්‍රථම තැපැල් කරත්තයද 1831 දී මහනුවරට පැමිණිම ආරම්භ කරලා තියෙනවා.

මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන අතරතුර ලංකාවේ සිටි ආණ්ඩුකාරයා වූ සර් එඞ්වඞ් බාන්ස් ඔහුගේ සේවා කාලය අවසන් කර නැවත මහා බි‍්‍රතාන්‍යයට ගියා. ඒ වෙනුවට සර් රොබට් හොර්ටන්, ආණ්ඩුකාරවරයා වශයෙන් මෙහි පැමිණියා. ඒ අතර 1829 මාර්තු මස 28 දින කැප්ටන් ඩෝසන් හදිසියේම මිය යනවා. ඒ කොළඹ – නුවර මාර්ගයේ කොටසක් අවසන් කීරිමට ඉතිරිව තිබියදී. හි`ගුල සිට කඩුගන්නාව දක්වා මාර්ගය ඉතාම අලංකාරවත් දර්ශනයක් තියෙන මාර්ග කොටසක් ඒ වාගේම කැප්ටන් ඩෝසන් විසින් පහළ කඩුගන්නාවේ මාර්ගය ඉදිකිරීම අපහසු තැනක ගලක් විද බිං ගයක්ද සාදා ඔහු මිය යන විට, කඩුගන්නාව තෙක් මාර්ගය හදලා නිමා කරලයි තිබුණේ.

කැප්ටන් විලියම් ෆැන්සිස් ඩෝසන් සිහිවීම පිණිස බි‍්‍රතාන්‍ය රජයේ තීරණයක් අනුව මීටර් 38 (අඩි 125* ක් උස ඩෝසන් කුලූන ගොඩ නැගීමට තීරණය කරනවා. මෙම කුලූන මැද හිඩසක් සහිතව සිලින්ඩරාකාරව නිර්මාණය කර ඇති අතර එහි මැද විශාල දැවමය ක`දකින් පඩි 110 සිට 112 දක්වා ලී පඩි පෙළක් එමගින් දරා සිටිමට සලස්වා තියෙනවා.  ඕනැම අයෙකුට අවසර ලබා ගෙන ඩෝසන් කුලූන මුදුනට යන්න පුළුවන්. ඒ වාගේම ඇතුළට වාතාශ‍්‍රය ලැබෙන්න වා කවුළුත් එහි නිර්මාණය කරලා තියෙනවා.

මෙම ඩෝසන් කුලූනට මුල් ගල තබන දිනයේම මහා බි‍්‍රතාන්‍යයේ වෙලිංටන් ආදිපාදිවරයා වෙනුවෙන් ඉදිවෙන වෙලින්ටන් ආදිපාදිවරයාගේ කුලූනටද මුල්ගල් තබලා තියෙනවා. එම කුලූන හා කඩුගන්නාවේ ඇති ඩෝසන් කුලූන සෑම අතින්ම, උසෙන්ද සමාන බව පැවසෙනවා. 1832 දී ඩෝසන් කුලූනේ වැඩ නිම කරලා තියෙන්නේ.

ඉන්දක කරුණාදාස
Untitled-15 Untitled-14