සොබාදහම් නිමැවුම් අතරේ ක්ෂීරපායි සත්ව ලෝකයේ මිනිසාගේ සමීපතම නැදෑයින් ගැන විමසුමක් කරන්න හිතුනේ මේ පාර අපි ලූණුගම්වෙහෙර ආශ‍්‍රිතව කරපු සංචාරය අතර තුරදි අපූරු මිතුරෙක් මුණ ගැහුණු නිසයි. මෙයා අපිටත් යම්තාක් දුරකට ඥාතීත්වයක් දරන සාමාජිකයෙක් බව මා සදහන් කළොත් ඒ සත්ත්වයාගේ රූපය දුටු කල ඔබ ඊට එකග නොවෙන්නත් පුළුවන්. මොකද යම් විරූපී බවක් තමයි මේ සත්වයා තුළින් විද්‍යාමාන වෙන්නේ.

මුහුණෙන් බාගයකටත් වැඩියි ඇස් ගෙඩි. අත පයත් කෝටුකිතයි. හැබැයි මේයාගේ චර්යා රටාවන් අධ්‍යයනය කරද්දියි වැටහෙන්නේ මිනිසුන් වන අපටත් මේ තිරිසන් සතාගේ ජීවිතයෙන් ඉගෙන ගන්න බොහෝමත් දෑ ඇති බව. අපේ ජනවහරේ කියනවානේ උනහපුළුවාට උගේ පැටියත් මැණිකක්ය කියලා. සැබැවින්ම එහි ව්‍යංගාර්ථය වෙන්නේ කෙතරම් අවලස්සන වුණත් උණහපුළු මවට තමන්ගේ පැටවා වටින බවයි. ඒකනේ පැටවා තමන්ගේ ළයට තුරුළු කර ගත්තු ගමන් ඉන්නේ. මටත් මේකියන උණහපුළුවා හමු වෙද්දි එයත් උන්නේ මොකක්දෝ දෙයක් ළයට තුරුළු කර ගෙනයි. හරියට ඒ දෙය අපි ඩැහැගනියි කියන බයෙන් වගේ තමයි මෙයා උන්නේ. තව තවත් ළයට තුරුළු කර ගත්තු ගමන් අපිට දත නියෙව්වේ අනතුරු අගවමින්. ඒ ළයේ උණුහුමින් සැතපෙමින් උන්නේ පුංචිම පුංචි පැටවෙක්. අම්මා නම් උන්නේ බල්ලන්ගේ සපා කෑම් හේතුවෙන් අසාධ්‍ය තුවාල ලබා දැඩි වේදනාවකිනුයි. බල්ලෝ වටකරගෙන හපද්දීත්, පස්සේ ඒ බල්ලන්ගෙන් මේ සතාව බේර ගත්තු ගැමියා විසින් ඒ සතාව වනජීවී භාරයට පත් කරන තුරුත් තමන්ගේ අත් දෙක ළයට තුරුළු කර ගත්තු ගමන්ම තමයි මෙයා උන්නේ. තමන්ගේ තුවාල ගැන වත් නෙමේ මෙයා ලතැවුණේ. හිතේ තිබුණේ තමන්ගේ කිරිකැටි බිළිදාගේ සුරක්ෂිතතාවය පිළිබ`දව බව එයාගේ හැසිරීම් අධ්‍යයනය කරද්දි අපිට වැටහුණා. තුවාල ලැබූ සත්ත්වයාට අවශ්‍ය මූලික ප‍්‍රතිකාර ලබා දුන්නත් එයාගේ තුවාල වල බරපතළ තත්ත්වය හේතුවෙන් ජීවිතයෙන් සමු ගන්න සිදු වුණත්, ඒ වෙද්දීත් තමන්ගේ පැටවා ළයට තුරුළු කර ගත්තු ගමන්ම තමයි මෙයා පසු වුණේ. දසමාසයක් කුසේ හොවාගෙන ඉදලා තමන් මේ ලෝකෙට බිහිකළ කිරිකැටියන් මහමග අතැර යන, හුස්ම හිර කොට ජීවිතය තොර කරන්නට වුවද පසුබට නොවන මිනිස් මව්වරුන්ට යළිත් සිහිපත් කළ යුතුව ඇත්තේ උණහපුළුවාට උගේ පැටියත් මැණිකක් බවයි. හිතන්න මිනිස් සිතකට හිතන්නට බොහෝ දේ ඒ තුළ ගැබ් වෙලා තියෙනවා.

මම ඉස්සෙල්ලත් කිව්වානේ උණහපුළුවා කියන්නෙත් අපිට බන්ධුවර වන කෙනෙක් කියලා. කොතෙකුත් නම් බුද්ධියෙන් ඉහළ නිමැවුම් සිදු කළත් මිනිසුන් පැවත එන්නේ වානරයින්ගෙන් බව මිනිසාටම අමතක වී ඇති බවත් සිහිකටයුතුයි. තමන්ගේ ආදිතමයින් වන වානර පරපුරට මිනිසුන් අතින් සිදු වන අකටයුතුකම් නම් අමානුෂිකයි. ඒ ගැන අහද්දි , සිත ප‍්‍රශ්න කරන්නේ මිනිසා සැබැවින්ම මනසින් උසස්ද? යන පැනයයි.

ප‍්‍රිමාටාවෝ. උණහපුළුවා Lorises කියන්නේත් ප‍්‍රිමාටා ගෝත‍්‍රයේ සාමාජිකයෙක්. ප‍්‍රිමාටා කියන්නේ ක්ෂිරපායි සත්ත්ව වර්ගයේ එක් ගෝත‍්‍රයක්. ඒ ගෝත‍්‍රය නියෝජනය කරනා සත්වයින්ගේ දේහයේ රෝම පිහිටා තියෙනවා. කළල බන්ධධාරියි. සාපේක්ෂව දීර්ඝ ගැබ් කාලයක් තම කළලය ගර්භාෂය තුළ දරා ගෙන ඉන්නවා. අනතුරුව ගැබ තුළ හො`දින් විකසනය වුණු අංගසම්පූර්ණ දරුවෙක් බිහි කිරීමට සමත් වෙනවා. කලාතුරකින් විකලාංග දරුවනුත් බිහි වෙනවා. ඒ දරුවන් මවගේ ක්ෂිර ග‍්‍රන්ථි මගින් කිරි උරා බොමින් වැඩෙනවා. මුඛයේ පැහැදිලි ලෙස හ`දුනාගත හැකි දත් වර්ග හතරක් පිහිටලා තියෙනවා. මේ අයට තමන්ගේ සිරුරේ නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන්. මොළය යමක් වටහා ගත හැකි ආකාරයට හොදින් වර්ධනය වෙලයි තියෙන්නේ. ඉතින් මේ අයගේ හැටි සොබාවන් මිනිසුන් වෙන අපිටත් ගැළපෙනවා නේද? ඔව් මිනිසා කියන්නේත් ප‍්‍රිමාටා ග්‍රෝත‍්‍ර යේ සාමාජිකයෙක්. ප‍්‍රිමාටා ග්‍රෝත‍්‍ර යේ අනෙක් සාමාජිකයින් වෙන්නේ ලීමරයන් Lemurs , පුරාතන ලෝකයේ වදුරන් Old World Monkeys, නූතන ලෝකයේ වදුරන් New World Monkeys සහ වානරයින් Apes

අපේ රටේ දී හමු වන ප‍්‍රිමාටා ගෝත‍්‍ර යේ සාමජිකයින් වන්නේ රිළවුන්, උණහපුළුවන්, ව`දුරන්. උණහපුළුවන් පිළිබඳව කරුණු – කාරණා දන්නේ ටික දෙනයි. එ්කට හේතුව වෙන්නේ මේ සත්තු රාත‍්‍රි කාලයේදී විතරයි එළි බහින්නේ. රාත‍්‍රියේ හැංගුනු ඔවුන් ගේ වතගොතත් අපූර්වත්වයෙන් අනූනයි.

Slender loris කියන ඉංග‍්‍රීසි නමින් හඳුන්වන මෙයාලගේ විද්‍යාත්මක නම වෙන්නේ Loris tardigradas ඇත්තටම සොබාදහමේ අමුතු ම නිමැවුමක්. රාත‍්‍රිය පුරාවට ම වනපෙත් තුළ සරනා මෙයාලා දක්ෂ දඩයක්කාරයෝ. දිනයේ උදෑසන සහ දහවල් සමයේ අලස ලෙස නිදිය ගැනීම ජන්ම පුරුද්දක් වුණත් රාත‍්‍රියේදී තමයි සක‍්‍රීය වෙන්නේ. රාත‍්‍රියේදී අලස බව පරයා සැඟවගත් කඩිසර ගති ස්වභාවය ඉස්මතු වෙනවා.

උණහපුළුවා තමන්ට වඩා විසි තිස් ගණනකින් විශාල සිරුරකට හිමිකම් කියන මොනරා ගේ ගෙල තමාගේ ඉඳි කටු වගේ පිහිටලා තියෙන සිහින්, ඒත් සවිමත් උල් දත්වලින් හපා කාලා මරා දැමීමට වුණත් හැකියාවක් ඇති සතෙක් හැටියට  කැලෑ බද ගැමියෝ විශ්වාස කරනවා.

රාත‍්‍රියේදී ගොදුරු සොයමින් යන උණහපුළුවකුට සුදුසු ගොදුරකට ඉවක් දැණුනොත් එතැන ඉදන් ගොදුර ඩැහැගන්නා තුරුම ඌ ගොදුර කරා සමීප වෙන්නේ හීන් සීරුවේමයි. ගොදුර ඇත්තේ ගසක් මත යැයි සිතන්න. එබව දකිනා අපේ වනමිතුරා පළමුව ඒ ගස කරා නිශ්ශබ්දව ළං වෙනවා. හොඳින් ගොදුර නිරීක්ෂණය කරනවා.

අනතුරුව හීන් සැරේ ගසට නැගීම අරඹනවා. එසේ නගිනා අතරතුර දී ගසේ පොත්තක් හරි කොළයක් හරි ඌ අතින් ගැලවුණොත්, ඒක බිමට පතිත වීමෙන් නැගෙන හඬ ගොදුරු සතාගේ කන වැටෙතැයි බියෙන් ඌ, ඒ ගස් පොත්ත කටින් ඩැහැගෙන ආයිත් ගහෙන් බිමට බහිනවා. හඬක් නොනැගෙන සේ ඒක බිම තියනවා, ආයිත් ගසට නගිනවා.
මේ ආකාරයට නිහඬව, නමුදු ක‍්‍රමානුකූලවම ගොදුරට සමීප වන උණහපුළුවා විදුලි වේගයෙන් ඩැහැ ගන්නා ගොදුර ක්ෂණිකවම පපුවට තද කරගන්නවා. අනතුරුව සුස්ම සිරවී ගොදුරු සතා මිය යන තෙක් ම ග‍්‍රහණය තද කරමින් ම හිස සපා කනවා. මේ ආකාරයට ගොදුරු කර ගන්නා සතුන් අතරට කුඩා ප‍්‍රමාණයේ කොඳු ඇට පෙළ සහිත සත්ත්ව වර්ගයන් අයිති වෙනවා. ඒ වගේම මාංශ ආහාර වලට අමතරව පලතුරු – මල් සහ කුඩා කෘමීන් ආහාර වශයෙන් ගන්නවා. මේ සත්තු ඉගිලෙන මෙරුන් අල්ලාගෙන කෑමට බොහෝමත්ම ආසයි.

උණහපුළුවන් එයාලගේ දඩයම් උපක‍්‍රම අතින් ගොදුරු සත්වයින් අතරේ වෙසෙස් තැනක තියන්න පුළුවන් සත්ව විශේෂයක්. ඒ කියන්නේ දඩයමක් ඩැහැ ගන්න කෙතරම් දක්ෂතාවයක් ප‍්‍රකට කරන්නේද කියනවා නම්, මොනරා කරා ළං වී, උගේ ඇඟට ගොඩ වී බෙල්ල සපනා තුරුම ඒ බවක් මොනරාට නොදැනෙන බවට ගම්වැසියන් අතර පිළිගත් විශ්වාසයක් තියෙනවා. ගොදුරු කර ගන්නා සතා ගේ එකදු කොටසක් හෝ ඉතිරි නොකර, පළමුව හිසෙන් පටන් ගෙන, පක්ෂියකු ගේ නම් පෙඳය තෙක් ම වන සිරුරේ සියලූ ම කොටස් (පිහාටු ද හා සමග* ආහාර වශයෙන් ගැනීම උණහපුළුවන් ගොදුරු බුදින අපූරු ක‍්‍රමයක් හැටියටත් හ`දුන්වන්න පුළුවන්.

උණහපුළුවාගේ ඇස් බකමූණු ඇස් මෙන් ම වටකුරු යි. දීප්තිමත්. විශාලයි. ඒ නිසාවෙන් දෝ සිංහල ගැමියන් ගේ මිත්‍යා විශ්වාසයන්ට අනුව උණහපුළුවාගේ කඳුළු එකතු කර, මතුරා කෙම් ක‍්‍රමයකට අනුව බෙහෙත් තනා, ඒ බෙහෙත තමන් ගේ ඇස්වල ආලේප කර ගැනීමෙන් පෙනීමේ තීව‍්‍රතාවක් ඇති වෙතැයි මතයක් ද ගොඩනැගී තියෙනවා. ආන්න ඒ බෙහෙත් වට්ටෝරුව තැනීමට අවශ්‍ය මූලිකම දෙය වෙන උණහපුළුවාගේ කඳුළු ලබා ගන්නේ ඉතාමත් ම්ලේච්ඡු ආකාරයකටයි. එය මනසින් උසස් යැයි පාරම්බා ගන්නා මිනිසුන් විසින් තම තමන් විසින් අන්ධ විශ්වාසයන් පසු පස දිව යමින් සිදු කරනු ලබන මේලේච්ඡු සත්ව ඝාතන අවිචාර බව යළි යළිත් සිහිපත් කරවන්නක්.

පළමුව ගිනිමැලයක් ගහනවා. දෙවනුව ඒකට අමු කොළ අතු ඉති දමා දුම් ගස්සවනවා. අනතුරුව උණහපුළුවා ලීයක පහතට එල්ලෙන සේ පසු පස ගාත් යුගළයෙන් බැඳලා ඒ දුම ඌගේ මුහුණට වදින විදිහට දුම්මැලයට අල්ලනවා. දුමෙන් පීඩා විඳීම නිසාවෙන් ඌගේ ඇස්වලින් කඳුළු ගැලීමට පටන් ගන්නවා. කඳුළු අවශ්‍ය ප‍්‍රමාණයට ලැබෙනා තෙක්ම මේ අසරණ සතා ඒ පීඩාවට ලක් කරනවා. ඒ කියන්නේ අනුවණ මිනිසුන්ගේ දෙනෙත් පෑදීමට අවැසි කෙම් බෙහෙත සඳහා කඳුළු පරිත්‍යාග කරන උණහපුළුවා අවසානයේ දස විද දුක් පීඩා විඳ මිය යනවා. ඒ නොමිනිසුන් සැබැවින් ම අන්ධයෝය යන්න මිනිසාට පසක් කර දෙමිනුයි.

උණහපුළුවා සලකන්නේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිනා ක්ෂීරපායි සත්වයකු හැටියටයි. මොවුන් ඉතාමත් දුර්ලභයි. එනිසාවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් උණහපුළුවා දැඩි ලෙස ආරක්ෂිත සත්ත්වයෙක් වශයෙන් නම් කරීමට පියවර අරන් තියෙනවා. ඒ හින්දා උණහපුළුවකු සුරතලයට හෝ ළඟ තබා ගැනීම, ප‍්‍රදර්ශනය කිරීම, විකිණීම, මැරීම ආදී කුමන කාර්යයක හෝ නියැළීම දඬුවම් ලැබිය හැකි වරදක් බව තරයේ ම සිහි තබා ගත යුතු යි. වන ජීවීන් හට ඔවුන් ගේ නිජබිම් වලවත් නිදහසේ ජීවත්වීමේ අයිතිය පැහැර නොහැරීම අපි සතු වගකීමක් සහ යුතුකමක් බව ත් තරයේම සිහි පත් කළ යුතුයි.

සඳමල් රශ්මි ශ‍්‍රී බුද්ධික
සේයා රූ සෂික ශ‍්‍රී සංජීව


Untitled-9 Untitled-8